උත්පත්ති 44

44
යෝසෙප් තම සහෝදරයන් පරීක්ෂාකිරීම
1තවද ඔහු තමාගේ ගෙයි ගබඩාකාරයාට අණකොට: ගෙනගිය හැකි පමණ ආහාරයෙන් ඒ මනුෂ්‍යයන්ගේ ගෝණි පුරවා එක් එක්කෙනාගේ මුදල ඒ ඒ තැනැත්තාගේ ගෝණි කටේ තබන්න. 2තවද බාලයාගේ ගෝණි කටේ මගේ කුසලාන එනම් රිදී කුසලානද ඔහුගේ ධාන්‍ය මුදලද තබන්නැයි කීවේය. ඔහු යෝසෙප් කී ලෙස කෙළේය. 3උදය එළිවූ වහාම ඒ මනුෂ්‍යයෝද ඔවුන් සමඟ ඔවුන්ගේ කොටළුවෝද පිටත් කරනලද්දෝය. 4ඔවුන් නුවරින් පිටත වැඩිදුර යන්ට ප්‍රථම යෝසෙප් තමන් ගබඩාකාරයාට කථාකොට: නැගිට ඒ මනුෂ්‍යයන් පසුපස්සේ යන්න; නුඹ ඔවුන් කිට්ටුකළාම: නුඹලා යහපතට අයහපත කළේ මක්නිසාද? 5මාගේ ස්වාමියා බොන්නෙත් ශාස්ත්‍ර කියන්නෙත් මේකෙන් නොවේද? නුඹලා කළේ නපුරු ක්‍රියාවකැයි කියන්නැයි කීවේය. 6ඔහු ඔවුන් කිට්ටුකර මේ වචන ඔවුන්ට කීවේය. 7ඔව්හුද: අපේ ස්වාමියා මෙයාකාර වචන කියන්නේ මක්නිසාද? එබඳු දෙයක් කිරීම ඔබගේ මෙහෙකරුවන්ගෙන් දුරුවේවා. 8බැලුව මැනවි, අපේ ගෝණි කටවල තිබී අපට සම්බවූ මුදල් අපි කානාන් දේශයේ සිට නැවත ඔබ වෙතට ගෙනාවෙමු. එසේවී නම් අප විසින් ඔබගේ ස්වාමියාගේ ගෙයින් රන්වත් රිදීවත් සොරකම්කරන්නේ කොහොමද? 9ඔබගේ මෙහෙකරුවන්ගෙන් යමෙකු වෙත ඒක තිබී සම්බවුණොත් ඔහු නසීවා, අපිද මාගේ ස්වාමියාට දාසයෝ වන්නෙමුයයි කීවෝය. 10ඔහුද: දැනුදු නුඹලාගේ වචන ලෙසම වේවා. ඒක යමෙකු වෙත තිබී සම්බවන්නේද ඔහු මාගේ දාසයා වන්නේය; නුඹලා නිර්දෝෂවන්නහුයයි කීවේය. 11එවිට ඔව්හු ඉක්මන් කොට සියල්ලෝ තම තමාගේ ගෝණි බිමට බා තම තමාගේ ගෝණි ලිහුවෝය. 12ඔහු වැඩිමහල්ලාගෙන් පටන්ගෙන බාලයා දක්වා, සෙවු කල කුසලාන බෙන්යමින්ගේ ගෝණියෙහි තිබී සම්බවිය. 13එවිට ඔව්හු තමන් වස්ත්‍ර ඉරාගෙන තම තමන්ගේ කොටළුවන් පිට බඩු පටවා නුවරට හැරීගියෝය. 14යූදාද ඔහුගේ සහෝදරයෝද යෝසෙප්ගේ ගෙට පැමුණුණෝය. ඔහු ඒ වනතෙක් එහි සිටියේය. ඔව්හු වනාහි ඔහු ඉදිරියෙහි බිම වැටුණෝය; 15යෝසෙප්: නුඹලා කළාවූ මේ ක්‍රියාව කිමෙක්ද? මා වැනි මනුෂ්‍යයෙකුට ශාස්ත්‍ර කියන්ට සැබවින්ම පුළුවන් බව නොදනිවුදැයි ඔවුන්ට කීවේය. 16යූදා කියනුයේ: මාගේ ස්වාමියාට අපි කුමක් කියමුද? කුමක් කථාකරමුද? අපි කෙසේ අපම නිර්දෝෂකරගනිමුද? දෙවියන්වහන්සේ ඔබගේ මෙහෙකරුවන්ගේ අපරාධය සොයාගත්සේක. බැලුව මැනවි, කුසලාන යමෙකු අත තිබී සම්බවීද ඔහුත් අපිත් මාගේ ස්වාමියාගේ දාසයෝ යයි කීය. 17ඔහු: එසේ කිරීම මාගෙන් දුරුවේවා. කුසලාන යමෙකු අතේ තිබී සම්බවීද ඔහු මාගේ දාසයා වන්නේය; නුඹලා නුඹලාගේ පියා වෙතට සමාදානයෙන් යන්නැයි කීවේය.
18එවිට යූදා ඔහුට ළංවී: අහෝ, ස්වාමීනි, ඔබගේ දාසයාට මාගේ ස්වාමීන් ඉදිරියෙහි වචනයක් කියන්ට අවසර ලැබේවා, ඔබගේ උදහස ඔබගේ මෙහෙකරුවාට විරුද්ධව නොඇවිළේවා. මක්නිසාද ඔබ ඵාරාවෝ හා සමානය. 19නුඹලාට පියෙක්වත් සහෝදරයෙක්වත් ඇත්තේදැයි මාගේ ස්වාමියා ඔබගේ මෙහෙකරුවන්ගෙන් ඇසුවේය. 20අපට වයෝවෘද්ධයෙක්වූ පියෙක්ද ඔහුගේ මහලු වයසේදී උපන් කුඩා දරුවෙක්ද සිටිති; ඔහුගේ සහෝදරයා මළේය, ඔහුගේ මවුගෙන් ඔහු පමණක් ඉතුරුව සිටියි, ඔහුගේ පියාද ඔහුට ආදරේ ඇත්තේයයි අපි මාගේ ස්වාමීන්ට කීවෙමු. 21ඔබද: මාගේ ඇස්වලින් ඔහු දකින පිණිස ඔහු මා වෙතට ගෙනෙන්නැයි ඔබගේ දාසයන්ට කීවෙහිය. 22ළමයාට තමාගේ පියා අත් අරින්ට බැරිය. ඔහු තමාගේ පියා අත්ඇරියොත් ඔහුගේ පියා මැරේයයි අපි මාගේ ස්වාමීන්ට කීවෙමුව. 23ඔබද: නුඹලාගේ බාල සහෝදරයා නුඹලා සමඟ ආවොත් මිස නැත්නම් නුඹලා තවත් මාගේ මුහුණ දකින්නේ නැතැයි ඔබගේ මෙහෙකරුවන්ට කීයෙහිය. 24තවද අපි ඔබගේ දාසවූ මාගේ පියාණන් වෙතට පැමිණි කල්හි මාගේ ස්වාමීන්ගේ වචන ඔහුට කීවෙමුව. 25නුඹලා නැවත ගොස් අපට කෑම ටිකක් මිලේට ගන්නැයි අපේ පියා කීවේය. 26එවිට අපි–අපට යන්ට බැරිය. අපේ බාල සහෝදරයා අප සමඟ යන්නේ නම් යමුව. මක්නිසාද අපේ බාල සහෝදරයා අප සමඟ නොගියොත් ඒ මනුෂ්‍යයාගේ මුහුණ දකින්ට අපට අවසර නොලැබෙන්නේයයි කීමුව. 27ඔබගේ මෙහෙකරුවූ මාගේ පියාණෝ කථාකොට: මාගේ භාර්යාව මා නිසා පුත්‍රයන් දෙදෙනෙකු බිහිකළ බව නුඹලා දන්නහුය. 28එක්කෙනෙක් මා කෙරෙන් ගියේය, සැබවින්ම ඔහු ඉරාදමනලද්දේයයි කීමි; එදා පටන් ඔහු නුදුටිමි. 29නුඹලා මොහුත් මා කෙරෙන් ගෙන ගොස් ඔහුට නපුරක් පැමුණුණොත්, නුඹලා මාගේ පැසුණු හිසකේ ශෝකයෙන් සොහොනට පමුණුවනවා ඇතැයි කීය. 30ඉතින් ළමයා අප සමඟ නැතුව ඔබගේ මෙහෙකරුවූ මාගේ පියා වෙතට මා පැමිණි කල ඔහුගේ ප්‍රාණය ළමයාගේ ප්‍රාණයට බැඳී තිබෙන බැවින්, 31ළමයා අප සමඟ නැති බව දක්නා විට ඔහු මියයන්නේය. මෙසේ ඔබගේ මෙහෙකරුවෝ ඔබගේ මෙහෙකරුවූ අපේ පියාගේ පැසුණු හිසකේ ශෝකයෙන් සොහොනට පමුණුවන්නෝය. 32මක්නිසාද: මම ඔහු ඔබ වෙතට නොගෙනායෙම් නම් මාගේ පියාට සෑම කල්හිම දෝෂකාරයෙක් වෙන්නෙමැයි කියා ඔබගේ මෙහෙකරුවා ළමයා වෙනුවට මාගේ පියාට ඇපකාරයෙක් වුණේය. 33එබැවින් ළමයා වෙනුවට ඔබගේ මෙහෙකරුවා මාගේ ස්වාමීන්ට දාසව සිටින්ටත් ළමයාට තමාගේ සහෝදරයන් සමඟ යන්ටත් අවසර දෙන ලෙස ඉල්ලමි. 34මක්නිසාද ළමයා මා සමඟ නැතුව මාගේ පියා වෙතට මා යන්නේ කෙසේද? එසේ ගියොත් මාගේ පියාට සිද්ධවෙන විපත මට දකින්ට වෙනවා ඇතැයි කීවේය.

اکنون انتخاب شده:

උත්පත්ති 44: SROV

های‌لایت

کپی

مقایسه

به اشتراک گذاشتن

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید