උත්පත්ති 20

20
ආබ්‍රහම් සහ අබිමෙලෙක් ගෙරාර්හි සිටීම
1ආබ්‍රහම් එතැනින් දකුණු දේශයට ගමන්කර කාදෙෂ්ද ෂූර්ද අතරේ වාසය කෙළේය; ඔහු ගෙරාර්හිද පොරොත්තුවුණේය. 2ආබ්‍රහම් තම භාර්යාවවූ සාරා ගැන: ඈ මගේ සහෝදරීයයි කීවේය. එවිට ගෙරාර්හි රජවූ අබිමෙලෙක් මිනිසුන් යවා සාරා ගෙන්වා ගත්තේය. 3නුමුත් දෙවියන්වහන්සේ රාත්‍රියේ හීනයකින් අබිමෙලෙක් වෙතට පැමිණ: බලව, නුඹ ගෙන්වාගත් ස්ත්‍රිය නිසා නුඹ මළ කෙනෙක්ය, මක්නිසාද ඈ මනුෂ්‍යයෙකුගේ භාර්යාවයයි ඔහුට කීසේක. 4නුමුත් අබිමෙලෙක් ඈ කරා නොපැමිණ සිටියේය. ඔහු කියනුයේ: ස්වාමීන්වහන්ස, ඔබ ධර්මිෂ්ඨ ජාතියක් පවා නසනසේක්ද? 5ඈ මාගේ සහෝදරීයයි ඔහුම මට නොකීයේද? ඈ පවා: ඔහු මාගේ සහෝදරයායයි කීවාය; මාගේ සිතේ අවංකකමින්ද මාගේ අත්වල නිදොස්කමෙන්ද මේක කෙළෙමියි කීවේය. 6දෙවියන්වහන්සේ ස්වප්නයෙන් ඔහුට කථාකොට: එසේය, නුඹේ සිතේ අවංකකමින් මේක කළ බව දනිමි, මට විරුද්ධව පව්කිරීමෙන් නුඹ වැළැක්කුවේ මමය. එබැවින් ඈට ස්පර්ශකරන්ට නුඹට ඉඩනෑරියෙමි. 7එහෙයින් දැන් ඒ මනුෂ්‍යයාගේ භාර්යාව ආපසු දෙන්න; මක්නිසාද ඔහු අනාගතවක්තෘ කෙනෙක්ය, ඔහු නුඹ ජීවත්වෙන පිණිස නුඹ උදෙසා යාච්ඤා කරන්නේය. එහෙත් ඈ ආපසු නොදෙන්නෙහි නම් නුඹද නුඹ සන්තක සියල්ලන්ද ඒකාන්තයෙන් නසින බව දැනගන්නැයි කීසේක. 8අබිමෙලෙක් අලුයම් වේලෙහි නැගිට තමාගේ සියලු මෙහෙකරුවන් කැඳවා මේ සියල්ල ඔවුන් ඉදිරියෙහි කීවේය. ඒ මනුෂ්‍යයෝ බොහෝසෙයින් භයවුණෝය. 9එකල අබිමෙලෙක් ආබ්‍රහම් කැඳවා ඔහුට කථාකොට: නුඹ අපට කළේ මොකද? මා සහ මාගේ රාජ්‍යය කෙරෙහි නුඹ මහත් පාපයක් පැමිණෙවුවේ මා විසින් නුඹට විරුද්ධව කුමන පාපයක් කළ නිසාද? නුඹ මට නොකටයුතු ක්‍රියාවල් කෙළෙහියයි කීය. 10තවද අබිමෙලෙක්: නුඹ මේ දෙය කළේ කුමක් දුටු නිසාදැයි ආබ්‍රහම්ට කීය. 11ආබ්‍රහම්: සැබවින්ම මේ ස්ථානයෙහි දේව භය නැත්තේය කියාත් ඔවුන් මාගේ භාර්යාව නිසා මා මරනවා ඇත කියාත් මට සිතුණු නිසාය. 12ඇරත් ඈ ඇත්තෙන්ම මාගේ සහෝදරීය, මාගේ පියාගේ දුවය; නුමුත් මාගේ මවුගේ දුව නොවේය; ඈ මාගේ භාර්යාව වූවාය. 13තවද දෙවියන්වහන්සේ මාගේ පියාගේ ගෙයින් යන්ට මට සැලැස්සූ කල මම ඈට කථාකර: නුඹ මට පෙන්විය යුතු කරුණාව මේය, අප පැමිණෙන්නාවූ සියලු තැන්හිදීම-ඔහු මාගේ සහෝදරයායයි මා ගැන කියන්නැයි කීමියි කීයේය. 14අබිමෙලෙක් බැටළුවන්ද ගවයන්ද දාසයන්ද දාසීන්ද රැගෙන ආබ්‍රහම්ට දී ඔහුගේ භාර්යාවවූ සාරාද ඔහුට ආපසු දුන්නේය. 15අබිමෙලෙක්: බලව, මාගේ දේශය නුඹ ඉදිරියෙහිය, කැමති තැනක වාසය කරන්නැයි කීවේය. 16ඔහු සාරාට කථාකොට: බලව, මම නුඹේ සහෝදරයාට රිදී දහසක් දුනිමි. එය නුඹ සමඟ සිටින සියල්ලන් ඉදිරියෙහි නුඹට ඇස් වැස්මක් පිණිසය; සියල්ලන් ඉදිරියෙහි නුඹට යුක්තිය සිදුකරනලද්දේයයි කීවේය. 17ආබ්‍රහම් දෙවියන්වහන්සේට යාච්ඤාකෙළේය. දෙවියන්වහන්සේ අබිමෙලෙක් සහ ඔහුගේ භාර්යාවද ඔහුගේ දාසීන්ද සුවපත් කළසේක; එවිට ඔව්හු දරුවන් බිහිකළෝය. 18මක්නිසාද ස්වාමීන්වහන්සේ විසින් ආබ්‍රහම්ගේ භාර්යාවවූ සාරා නිසා අබිමෙලෙක්ගේ ගෙයි සියල්ලන්ගේ ගර්භ තදින් පියා තිබුණේය.

اکنون انتخاب شده:

උත්පත්ති 20: SROV

های‌لایت

کپی

مقایسه

به اشتراک گذاشتن

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید