උත්පත්ති 16
16
භාගර්ගේ සැඟවීයාම. ඉෂ්මායෙල්ගේ උප්පැන්නය
1ආබ්‍රම්ගේ භාර්යාවවූ සාරයි ඔහුට දාව දරුවන් බිහිනොකළාය. ඈට හාගර් නම් මිසරීය දාසියක් සිටියාය. 2සාරයි ආබ්‍රම්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මා දරුවන් බිහිකිරීමෙන් වැළැක්වූසේක; මාගේ දාසිය වෙතට පැමුණුණ මැනවි, සමහරවිට ඈ කරණකොටගෙන මට දරුවෝ ලැබෙතැයි කීවාය. ආබ්‍රම් සාරායිගේ හඬට කන්දුන්නේය. 3ආබ්‍රම් කානාන් දේශයෙහි දස අවුරුද්දක් වාසයකළ පසු ආබ්‍රම්ගේ භාර්යාවවූ සාරයි තමාගේ දාසීවූ මිසරීය හාගර් ගෙන තමාගේ පුරුෂයාවූ ආබ්‍රම්ට භාර්යාවක් කොට පාවාදුන්නාය. 4ඔහු හාගර් වෙතට පැමිණියේය, ඈ ගර්භිණීවූවාය. ඈ තමා ගර්භිණීවූ බව දැනගත් කල ඇගේ ස්වාමිදුව සුළුකොට සැලකුවාය. 5සාරයි ආබ්‍රම්ට කථාකොට: මට වූ අයුත්ත නුඹ කෙරෙහි වේවා. මාගේ දාසිය නුඹේ ළයට දුනිමි; ඈ තමා ගර්භිණීවූ බව දැනගත් කල මා සුළුකොට සැලකුවාය. ස්වාමීන්වහන්සේ මා සහ නුඹ අතරෙහි විනිශ්චයකරනසේක්වයි කීවාය. 6ආබ්‍රම්ද: බලව, නුඹේ දාසිය නුඹ යටතේය; නුඹට යහපත්ව පෙනෙන ලෙස ඈට කරන්නැයි සාරයිට කීය. සාරායි ඈට හිරිහැරකළාය, ඈ සාරයි ඉදිරියෙන් පලාගියාය. 7කාන්තාරයේ දිය උල්පතක් ළඟදී, එනම්, ෂුර්ට යන පාරේ තිබෙන දිය උල්පත ළඟදී, ඈ ස්වාමීන්වහන්සේගේ දූතයාට සම්බවුණාය. 8උන්වහන්සේ: සාරයිගේ දාසීවූ හාගර්, නුඹ කොතැන්හි සිට ආයෙහිද? කොතැනට යන්නෙහිදැයි කීසේක. ඈ: මාගේ ස්වාමිදුවවූ සාරයි ඉදිරියෙන් පලායමියි කීවාය. 9එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා: නුඹේ ස්වාමිදුව වෙතට හැරී ගොස් ඈට යටත්ව සිටින්නැයි කීසේක. 10තවද ස්වාමීන්වහන්සේගේ දූතයා: නුඹේ වංශය ගණන්කළ නොහැකි තරම් සමූහයක් වන පිණිස බොහෝසෙයින් වැඩිකරන්නෙමියි ඈට කීසේක. 11ස්වාමීන්වහන්සේගේ දූතයා: බලව, නුඹ ගර්භිණීව සිටියි, පුත්‍රයෙකු වදන්නීය; ස්වාමීන්වහන්සේ නුඹේ පීඩාව ඇසූ හෙයින් ඔහුට ඉෂ්මායෙල් යන නාමය තබන්න. 12ඔහු වල් කොටළුවෙකු වැනි මනුෂ්‍යයෙක් වන්නේය; ඔහුගේ අත කාහටත් විරුද්ධවන්නේය, කාගේ අතත් ඔහුට විරුද්ධවන්නේය; ඔහු තමාගේ සියලු සහෝදරයන් ඉදිරියෙහි වාසයකරන්නේයයි කීසේක. 13ඈ තමාට කථාකළාවූ ස්වාමීන්වහන්සේට: එල්#16:13 එනම් සියල්ල දකින දෙවියන්වහන්සේය. රොයි යන නාමය කීවාය. මක්නිසාද: මා දක්නාවූ උන්වහන්සේ දෙස මෙහිදී බැලුවායින් පසු පවා ජීවත් වුණා නොවේදැයි ඈ කීවාය. 14එබැවින් ඒ ළිඳට බෙයෙර්-ලහයි-රොයි#16:14 එනම්, මා දක්නාවූ ජීවමාන තැනන්වහන්සේගේ ළිඳය. යන නම තබනලද්දේය. බලව, එය කාදෙෂ් සහ බෙරෙද් අතරෙහි තිබේ. 15භාගර් ආබ්‍රම් නිසා පුත්‍රයෙකු බිහිකළාය. ආබ්‍රම් වනාහි හාගර් බිහිකළාවූ තමාගේ පුත්‍රයාට ඉෂ්මායෙල් යන නම තැබීය. 16හාගර් ආබ්‍රම් නිසා ඉෂ්මායෙල් බිහිකළ විට ආබ්‍රම්ගේ වයස අසූ සාවුරුද්දක් විය.
اکنون انتخاب شده:
උත්පත්ති 16: SROV
هایلایت
کپی
مقایسه
به اشتراک گذاشتن
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Ceylon Bible Society