YouVersion Logo
Search Icon

සාලමොන්ගේ ගීතය 4

4
ප්‍රේමවන්තයා
1අහෝ ඔබ කොතරම් ප්‍රියංකර ද!
මා ප්‍රියාවිය, ඈ! කොතරම් අලංකාර ද!
මුහුණු වැස්මට ඔබ්බෙන් ඔබේ නෙත් පරෙවියන් වගෙයි.
ඔබගේ වරලස ගිලියාද් කන්දෙන්
බැස එන එළු රෑනක් වගෙයි.
2ඔබගේ දත් පෙළ ලොම් කපනු ලැබ, සේදී පවිත්‍ර ව,
දියෙන් ගොඩට එන බැටළු රෑනක් වගෙයි.
එකකුවත් තනි ව නො සිට,
නිඹුලුන් සහිත වේ.
3ඔබගේ දෙතොල් රත් පැහැති පීත්ත පටයක් වගෙයි;
ඔබගේ මුව සුන්දර ය.
ඔබගේ මුහුණු වැස්මට ඇතුළින් දෙකොපුල්
දෙළුම් ගෙඩියක පළු දෙකක් වගෙයි.
4ඔබේ ගෙල පෙදෙස,
හැමකක් ම රණවිරු පලිස් වූ
පලිහ දහසක් එල්ලා තබන දැකුම්කළු ව ගොඩ නැගූ
දාවිත්ගේ කුලුන වගෙයි.
5ඔබේ පියයුරු මානෙල් මල් අතරේ
තෘණ බුදින මුව දෙනකගේ
නිවුන් පැටවුන් යුගලයක් වගේ ය.
6දවස උදා වන තුරු,
සෙවණැලි පලා යන තුරු
මම සුවඳලාටු කන්දටත්,
සුවඳ දුම් හෙලටත් නැගෙන්නෙමි.
7ඔබ මුළුමනින් ම සුන්දර ය, මා ප්‍රියාවිය,
කැළලක් නැත්තී ය.
8එන්න, මා සමඟ ලෙබනොන් වෙතින්, මගේ මනාලිය,
එන්න, මා සමඟ ලෙබනොන් වෙතින්,
අමානා කඳු මුඳුන වෙතින් බැස එන්න;
සෙනීර් කූටය වෙතින්, හෙර්මොන් ශිඛරය වෙතින්,
සිංහ ගුහාව වෙතින්,
දිවියන්ගේ කඳු තිප්පොළවල් වෙතින් බැස එන්න.
9ඔබ මගේ හද සොරාගෙන, මගේ නගේ; මගේ මනාලියේ,
එක ම එක නෙතු බැල්මකින්,
ඔබේ ගෙල මාලයේ එක් මැණිකකින්
මගේ හද ඔබ සොරාගෙන.
10කොතරම් ප්‍රමෝද ජනක ද ඔබේ ආදරය මගේ නගේ; මගේ මනාලියේ,
ඔබගේ ප්‍රේමය මිදි යුෂවලටත් වඩා කොතරම් ප්‍රිය ජනක ද!
ඔබගේ විලවුන් සුවඳ
ඕනෑ ම සුවඳ ද්‍රව්‍යකටත් වඩා කෙතරම් අගනේ ද!
11මී වදයකින් මෙන් ඔබේ දෙතොලින් මිහිර වැගිරෙයි;
මගේ මනාලිය, කිරිත්, පැණිත් ඔබේ දිව යට ඇත.
ඔබේ ඇඳුම්වල සුගන්ධය
ලෙබනොන්හි සුගන්ධය වගෙයි.
12ඔබ, අගුළු ලා වැසූ උයනක් ය, මගේ නගේ; මගේ මනාලියේ,
ඔබ, වට කරන ලද දිය උල්පතක් ය; මුද්‍රා තැබූ ජලාශයක් ය.
13ඔබගේ වගාව දෙළුම් ද
අනගිතම පලතුරුවලින් ද
සේපාලිකා හා ජටාමාංස යන සුවඳ ගසින් ද සමන්විත උද්‍යානයකි;
14ජටාමාංස හා කුංකුම ද
සුවඳ දඬු හා කුරුඳු ද
සෑම වර්ගයක ම සුගන්ධවත් ගස් ද
සුවඳලාටු හා අගිල් හා
අනගි කුළු බඩු ගස් ද එහි වෙයි.
15ඔබ උයනක දිය උල්පතක් ය;
ජීවන දිය ඇති ළිඳක් ය;
ලෙබනොන් සිට ගලා බසින දිය දහරක් ය.
ප්‍රේමවන්තිය
16අවදි වන්න එම්බා උතුරු සුළඟ,
එම්බා දකුණු සුළඟ එන්න!
මගේ උයන සිසාරා හමා යන්න,
එහි සුවඳ හැම තැන පැතිරී යන ලෙස.
මගේ ප්‍රේමවන්තයා ස්වකීය උයනට පැමිණ,
එහි අනර්ඝ පල භුක්ති වින්දාවේ.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in