YouVersion Logo
Search Icon

එළිදරවු 15

15
හත් වසංගත
1මහ විස්මිත තවත් ලකුණක් අහසේ මම දුටුවෙමි: ඒ, වසංගත හතක් රැගත් දේව දූතයින් හත් දෙනෙකි; ඒවා අවසන් ඒවා ය; මන්ද ඒවායින් දෙවියන්වහන්සේගේ උදහස සම්පූර්ණ වන්නේ ය. 2ගින්දර මිශ්‍ර වීදුරු සාගරයක පෙනුම වැනි වූවක් ද මෘගයාත්, උගේ පිළිමයත්, උගේ නමේ අංකයත් පරදා ජය ගත් අය දෙවියන්වහන්සේගේ වීණා අතැතිව, ඒ සයුර පසෙක සිටගෙන සිටිනු ද මම දුටුවෙමි. 3ඔවුහු දෙවියන්වහන්සේගේ සේවක මෝසෙස්ගේ ගීතය හා බැටළු පැටවාණන්ගේ ගීතය ගයමින් මෙසේ පැවසූහ:
“සියලු බලැති දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස,
හරි උදාර ය, විස්මිත ය, ක්‍රියා ඔබගේ.
ජාතීන්ගේ රජ්ජුරුවනි, යුක්තිය ය,
සත්‍යය ය, මාර්ග ඔබගේ.
4කවුරු ඔබට භය නො වෙත් ද?
ඔබේ නමට මහිමය නො දේ ද?
අහෝ ස්වාමින්වහන්ස, මන්ද ඔබවහන්සේ පමණක් ශුද්ධ ය;
සියලු ජාතීන් පැමිණ,
ඔබට නමස්කාර කරනු ඇත;
මන්ද ඔබගේ ධර්මිෂ්ඨ ක්‍රියා, එළිදරවු කරනු ලැබ ඇත.”#15:4 ගීතා 111:2,3; ද්වි 32;4; යෙරමි 10;7; ගීතා 86;9;98;2
5මෙයින් පසු මම බැලුවෙමි; එවිට ස්වර්ගයේ සාක්ෂි මණ්ඩපයේ ශුද්ධස්ථානය ඇරී තිබිණි. 6පවිත්‍ර, දිළිසෙන හණ ඇඳුම් හැඳ, තම ළය වටා රන් පටි බැඳ, වසංගත හත රැගත් දේව දූතයින් හත්දෙනා ශුද්ධස්ථානයෙන් පිටතට ආහ. 7එවිට ජීවමාන සත්වයින් හතර දෙනාගෙන් කෙනෙක්, සදාතනයෙන් සදාතනයට ජීවත් වන දෙවියන්වහන්සේගේ උදහසින් පිරුණු රන් පාත්‍ර හතක් දේව දූතයින් හත් දෙනාට දුන්නේ ය. 8දෙවියන්වහන්සේගේ තේජෝ මහිමයෙන් හා උන්වහන්සේගේ බලය වෙතින් ආ දුමාරයෙන් ශුද්ධස්ථානය පිරී ගියේ ය. දේව දූතයින් හත්දෙනාගේ වසංගත හත සම්පූර්ණ කරන තෙක් කිසිවකුටත් ශුද්ධස්ථානයට ඇතුළු වීමට නුපුළුවන් විය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in