YouVersion Logo
Search Icon

එළිදරවු 16

16
දේව උදහසේ පාත්‍ර
1ඉන්පසු දේව මාලිගයේ සිට උස් කටහඬකින්, දේව දූතයින් හත්දෙනා අමතා, “යන්න; දෙවියන්වහන්සේගේ උදහසේ පාත්‍ර හත පොළොව පිට වගුරන්නැ” යි කියනු මට ඇසිණි.
2එබැවින් පළමු දේව දූතයා ගොස්, තම පාත්‍රය පොළොව පිට වැගිරවී ය. එවිට මෘගයාගේ සලකුණ දැරූ, උගේ පිළිමයට නමස්කාර කළවුන් පිට පිළිකුල්, වේදනාකාරී වණ හට ගැනිණි.
3දෙවන දේව දූතයා තම පාත්‍රය මුහුද පිට වැගිරවී ය. එවිට එය මළ මිනියක ලේ මෙන් විය. මුහුදේ වූ පණ ඇති සියල්ල මළහ.
4තුන් වන දේව දූතයා තම පාත්‍රය ගංගා හා ජල උල්පත් පිට වැගිරවී ය; ඒවා ලෙයට හැරිණ. 5එවිට ජලයට අධිපති දේව දූතයා මෙසේ කියනු මට ඇසිණි:
“ඔබ සාධාරණ ය, සිටින්නා වූ, සිටියා වූ අහෝ ශුද්ධ තැනැන්වහන්ස,
මන්ද ඔබවහන්සේ මෙම විනිශ්චයන් ගෙනා සේක.
6මන්ද ඔවුන් ශුද්ධවතුන්ගේත්, දිවැසිවරුන්ගේත් ලේ හැලූ බැවින්,
ඔබ, ඔවුනට බීමට ලේ දුන් සේක. ඔවුන්ට සුදුසු එය ම ය.”
7එවිට පූජාසනයෙන් මෙසේ කියනු මට ඇසිණ:
“එසේය, සියලු බලැති දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස,
ඔබගේ විනිශ්චයන් සත්‍ය ය, සාධාරණ ය.”
8හතර වන දේව දූතයා තම පාත්‍රය හිරු පිට වැගිරවී ය. ගින්නෙන් මිනිසුන් මතු පිටින් දවාලීමට ඊට බලය දෙන ලදී. 9දැඩි තාපයෙන් දවනු ලැබූ කල, ඔවුහු එම වසංගත කෙරේ බලය තිබූ දෙවියන්වහන්සේට ශාප කළහ. ඔවුන් පසුතැවිලි වුණේ නැත; උන්වහන්සේට මහිමය දුන්නේ ද නැත.
10පස් වන දේව දූතයා තම පාත්‍රය මෘගයාගේ සිංහාසනය මත වැගිරවී ය. එවිට උගේ රාජධානිය අන්ධකාරයේ ගිල්වනු ලැබිණ. මිනිස්සු වේදනාවෙන් තම දිව් විකා ගත්හ. 11ඔවුහු තම වේදනා හා වණ නිසා ස්වර්ගයේ දෙවියන්වහන්සේට ශාප කළා මිස තම ක්‍රියා ගැන පසුතැවිලි නො වූහ.
12හය වැනි දේව දූතයා තම පාත්‍රය යුප්‍රටීස් මහ ගංගාව පිට වැගිරවී ය. එවිට පෙරදිගින් එන රජුන් සඳහා මාවත පිළියෙල වන පිණිස, ගඟේ ජලය සිඳී ගියේ ය. 13එවිට මැඩියන් සේ පෙනුමැති අපවිත්‍ර ආත්ම තුන් දෙනෙක්, මකරාගේ කටින් ද මෘගයාගේ කටින් ද බොරු දිවැසිවරයාගේ කටින් ද නික්ම එනු මම දුටිමි. 14මන්ද ඔවුහු හාස්කම් ලකුණු දක්වන යක්ෂාත්මයෝ ය; සියලු බලැති දෙවියන්වහන්සේගේ මහා දවසේ යුද්ධය සඳහා රජුන් රැස් කරන්නට මුළු ලොව පුරා ඔවුන් වෙත යන්නේ මොවුන් ය.
15“මෙන්න, මම සොරකු මෙන් එන්නෙමි! නිරුවතින් ගොසින්, ලජ්ජාව ප්‍රදර්ශන නො වන පිණිස, තම ඇඳුම් හැඳ, අවදිව සිටින්නා භාග්‍යවත් ය.”
16හෙබ්‍රෙව් බසින් හාර්මගෙද්දෝන් යයි හැඳින්වෙන ස්ථානයට ඔවුහු රජුන් එක් රැස් කළෝ ය.
17හත් වන දේව දූතයා තම පාත්‍රය අහසේ වැගිරවී ය. එවිට උස් කටහඬකින්, “එය නිම විණැ” යි සිංහාසනයේ සිට කියනු දේව මාලිගයෙන් මට ඇසිණි. 18එවිට විදුලි අකුණු ද ශබ්ද රාව ද මේඝ ගර්ජනා ද දරුණු පොළෝ කම්පාවක් ද විය. මිනිසා පොළොවෙහි වූ දා පටන් කවර කලෙකවත් එවන් පොළෝ කම්පාවක් සිදුව නැත. ඒ සා සැහැසි විණි ඒ පොළෝ කම්පාව. 19මහා පුරවරය තුන් කොටසකට පැළිණි. ජාතීන්ගේ නගර බිඳ වැටිණි. ස්වකීය දේව උදහසේ භයංකරත්වය නැමති මිදි යුෂ පිරි කුසලාන, ඇයට බොන්නට දෙන පිණිස, දෙවියන්වහන්සේ මහා බබිලෝනිය සිහි කළ සේක. 20හැම දිවයිනක් ම ඉවත පලා ගියේ ය. කඳු නො පෙනී ගියේ ය. 21මහ ගල් වැස්සක් අහසේ සිට මිනිසුන් මත පතිත විය. ඒ එක ගලක් තලෙන්තයක්#16:21 කිලෝග්‍රෑම් 40ක් පමණ පමණ බර ය. එම ගල් වැසි වසංගතය හේතු කොට ඔවුහු දෙවියන්වහන්සේට ශාප කළහ. ඒ වසංගතය ඒ සා සැහැසි විණි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in