YouVersion Logo
Search Icon

ගීතාවලිය 97

97
ගීතාවලිය 97
1 ස්වාමින්වහන්සේ රජකම් කරන සේක; පොළොව සොම්නස් වෙත්වා!
වෙරළ හා දිවයින් ප්‍රීති ප්‍රමෝද වෙත්වා!
2වලාකුළු හා අන්ධකාරය උන්වහන්සේ වටා සිටී;
දමිටුකම හා යුක්තිය, උන්වහන්සේගේ සිහසුනේ අත්තිවාරම් ය.
3ගින්න උන්වහන්සේට පෙරටුව ගමන් කර,
හැම පැත්තේ ම සිටින උන්වහන්සේගේ සතුරන් ඉන් දවා දමයි.
4උන්වහන්සේගේ විදුලිය ලෝකය ආලෝක කරයි;
පොළොව ඒ දැක වෙවුලුම් කයි.
5 ස්වාමින්වහන්සේ ඉදිරියෙහි, මුළු පොළොවේ ස්වාමියාණන් ඉදිරියෙහි
කඳු ඉටි සේ දිය ව යන්නේ ය.
6අහස උන්වහන්සේගේ ධර්මිෂ්ඨත්වය ප්‍රකාශ කරයි.
සකල ජනයා උන්වහන්සේගේ මහිමය දකිනු ඇත.
7පිළිම රූප වඳින්නෝ, පිළිම රූප ගැන පාරට්ටු කරන්නෝ,
ලජ්ජාවට පත් වන්නෝ ය.
දෙවි-දේවතා සියල්ලෝ උන්වහන්සේට නමස්කාර කරත්වා!
8අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ විනිශ්චයන් ගැන අසා,
සියොන් පුර ප්‍රීති ප්‍රමෝද වෙයි;
යූදාහි දූවරු සොම්නස් වෙති.
9ඔබවහන්සේ, අහෝ ස්වාමින්වහන්ස, මුළු පොළොවට ඉහළින් මහෝත්තමයාණන් ය;
සියලු දෙවි දේවතාවුනට වඩා ඔබ උතුම් ය.
10 ස්වාමින්වහන්සේට ප්‍රේම කරන්නෝ නපුරට වෛර කරත්වා!
මන්ද උන්වහන්සේ තම විශ්වාසිකයින්ගේ ජීවිත රක්නා සේක්,
දුෂ්ටයින්ගේ අත්වලින් ඔවුන් මුදාලන සේක.
11ධර්මිෂ්ඨයින් පිට ආලෝකය ද
හදවතින් ඍජුවූවන් පිට ප්‍රීතිය ද වගුරුවනු ලැබ ඇත.
12ධර්මිෂ්ඨයිනි, ස්වාමින්වහන්සේ තුළ ප්‍රීති වන්න,
උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට ප්‍රශංසා කරන්න.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in