ගීතාවලිය 22:2-8
ගීතාවලිය 22:2-8 SCV
අහෝ මගේ දෙවියන්වහන්ස, දහවලේ මම මොර ගසමි; එහෙත් ඔබ පිළිතුරු දෙන්නේ නැත. රාත්‍රියේ ද මම මොර ගසමි; එහෙත් කිසි සැනසිල්ලක් නැත. එහෙත් ඔබ ශුද්ධ තැනැන්වහන්සේ ය, ඉශ්‍රායෙල්ගේ ප්‍රශංසාව මධ්‍යයේ සිංහාසනාරූඪ තැනැන්වහන්සේ ය. අපගේ පියවරුන් විශ්වාසය තැබුවේ ඔබ තුළ ය; ඔවුහු ඔබ විශ්වාස කළහ; ඔබ ඔවුන් මිදූ සේක. ඔවුහු ඔබවහන්සේට මොර ගැසුවෝ, ගලවනු ලැබුවෝ ය; ඔබවහන්සේ වෙත විශ්වාසය තැබූ ඔවුන් ලජ්ජාවට පත් වූයේ නැත. එහෙත් මම මිනිසකු නො ව පණුවෙක්මි; මිනිසුන් විසින් අවමන් කරනු ලද්දෙක්මි; ජනයා විසින් නීච කරනු ලැබූවෙක්මි. මා දකින සියල්ලෝ මට සමච්චල් කරති; කට ඇද කරමින්, හිස වනමින්, “ඔහු විශ්වාසය තැබුවේ, ස්වාමින්වහන්සේ තුළ ය; උන්වහන්සේ ම ඔහු ගලවත්දෙන්, ඔහු උන්වහන්සේ තුළ ම සොම්නස් වූ නිසා, උන්වහන්සේ ම ඔහු ගලවත්දෙන්” යැයි කියති.






