ගීතාවලිය 19
19
ගීතාවලිය 19
සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත්ගේ ගීතයකි.
1අහස, දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශ කරයි;
උන්වහන්සේගේ දෑතේ වැඩ විදහා දක්වන්නේ, ගුවනයි.
2දවසක් නෑර ඊළඟ දවසට ඒ ගැන පවසයි;
රැයකින්, රැයකට නිරතුරු ඒ දැනගැන්ම බෙදයි.
3ඔවුන්ගේ කතාවට වදනක්, බසක්,
ඇසෙනා කටහඬක් නැත.
4එහෙත්, ඔවුන්ගේ පණිවුඩය, පොළොව මුළුල්ලේ පැතිරේ;
ඔවුන් පවසන වචන, ලොව එහා කෙළවරටත් දිවේ.
උන්වහන්සේ හිරුට අහසේ වාස-භවනක් තනා දුන් සේක.
5හිරු තම මඟුල් මණ්ඩපයෙන් බැස එන මනාලයකු වැන්න;
තම ඉසව්ව දිවීමට ලොල් වන ධාවන ශූරයකු වැන්න.
6ඔහු අහසේ එක් දිගන්තයකින් නැගී,
අනෙක් දිගන්තය තෙක් තම චාරිකාව අරඹයි.
ඔහුගේ තාපය නො වදින කිසිවක් නැත.
7 ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව පරිපූර්ණ ය;
ජීවය යළි පුබුදන්නේ ය.
ස්වාමින්වහන්සේගේ පනත් විශ්වසනීය ය.
එය අනුවණ ජනතාව ප්‍රඥාවත් කරයි.
8 ස්වාමින්වහන්සේගේ ශික්ෂා සෘජු ය;
හදවතට ප්‍රීතිය ගෙන දෙයි.
ස්වාමින්වහන්සේගේ ආඥා සුපැහැදිලි ය;
නෙතට එළිය ගෙන දෙයි.
9 ස්වාමින්වහන්සේට භය පක්ෂපාතවීම, පවිත්‍ර ය;
සදා පවතින්නේ ය.
ස්වාමින්වහන්සේගේ නියමයන්, සත්‍යය ය;
මුළුමනින් ම ධර්මිෂ්ඨ ය.
10ඒවා රත්රන්වලට වඩා අගනේ ය;
අමිශ්‍ර රන් රැසකටත් වඩා වටනේ ය.
ඒවා මී පැණියට වඩා මිහිරි ය;
මී වදයෙන් ම ගත් මී පැණියට වඩා මිහිරි ය.
11තවද, ඔබේ සේවකයාට අනුශාසනා ලැබෙන්නේ ද එමඟිනි.
ඒවා පිළිපැදීමෙන් ඉමහත් ඉටු විපාක අත්වෙයි.
12තමාගේ ම වරද වටහා ගත හැක්කේ කවරකුට ද?
මගේ රහස්-දෝෂවලට කමා වුව මැනව.
13උඩඟු ලෙස පව් කිරීමෙන් මා වැළැක්වුව මැනව,
ඒවායේ පාලනයට මා නතු නො වේවා.
එවිට මම නිදොස් කෙනකු වන්නෙමි.
මහත් අපරාධයෙන් නිදොස් වන්නෙමි.
14අහෝ ස්වාමින්වහන්ස, මගේ පර්වතයාණෙනි, මගේ මිදුම්කරුවාණනි,
මගේ මුවෙහි වචන ද මගේ හදෙහි භාවනා ද
ඔබට ප්‍රසන්න වේවා!
Currently Selected:
ගීතාවලිය 19: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.