YouVersion Logo
Search Icon

ගීතාවලිය 108

108
ගීතාවලිය 108
ගීයකි. දාවිත්ගේ ගීතයකි.
1මගේ හද ස්ථිර ය, අහෝ දෙවියන්වහන්ස,
මගේ මුළු හදින් ම මම ගී ගයන්නෙමි; සංගීත නගන්නෙමි.
2එම්බා වීණාවනි, මහා වීණාවනි, අවදි වන්න!
මම හිමිදිරිය ද අවදි කරන්නෙමි.
3ජාතීන් අතරෙහි මම ඔබට ප්‍රශංසා කරන්නෙමි, අහෝ ස්වාමින්වහන්ස,
ජනතාවන් අතරේ මම ඔබ ගැන ගීත ගයන්නෙමි.
4මන්ද ඔබගේ නොමියෙන මහා පෙම ස්වර්ගය දක්වා ම නැගෙන්නේ ය;
ඔබගේ විශ්වාසවන්තභාවය අහස උසට ළඟා වන්නේ ය;
5අහස් කුසට වඩා උසස් වුව මැනව අහෝ දෙවියන්වහන්ස,
ඔබගේ තේජෝ මහිමය මුළු පොළොවට ඉහළින් වේවා!
6ඔබට ප්‍රේම කරන්නන්ට ගැලවීගත හැකි වන පිණිස
ඔබගේ දකුණතින් අප ගලවා, අපට පිහිට වුව මැනව.
7දෙවියන්වහන්සේ ස්වකීය ශුද්ධස්ථානයේ සිට මෙසේ පැවසූ සේක:
“ජයග්‍රාහී ව මම ෂෙකෙම් පෙදෙස බෙදා දෙන්නෙමි;
සුක්කොත් මිටියාවත මැන දෙන්නෙමි.
8ගිලියාද් මගේ ය; මනස්සේ මගේ ය.
එප්‍රායිම් මගේ ආරක්ෂක හිස් වැස්ම ය;
යූදා මගේ ජයකොන්තය ය.
9මෝවබ් මගේ පා සෝදන ජල බඳුන ය;
ඒදොම් පිට මම මගේ පාවහන් හෙළන්නෙමි.
පිලිස්තියාවට ඉහළින් මම ජය ගොස පතුරමි.”
10බළකොටු පුරවරයට මා ගෙන යන්නේ කවුරු ද?
ඒදොම් දේශයට මට පෙරටුවෙන් යන්නේ කවුරු ද?
11ඔබ නො වේ ද, අහෝ දෙවියන්වහන්ස අප ප්‍රතික්ෂේප කළේ?
තවදුරටත් ඔබ අපේ සේනාංක සමඟ ඉදිරියට යන්නේ නැත, අහෝ දෙවියන්වහන්ස.
12අපේ සතුරනට එරෙහිව අපට ආධාර දුන මැනව;
මන්ද මිනිසාගේ පිහිට නිෂ්ඵල ය.
13දෙවියන්වහන්සේ සමඟින් අපි ජය අත්කර ගන්නෙමු;
උන්වහන්සේ අපගේ සතුරන් පාගා බිම දමන සේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in