YouVersion Logo
Search Icon

ගීතාවලිය 107

107
පස් වන කාණ්ඩය
ගීතාවලිය 107–150
ගීතාවලිය 107
1 ස්වාමින්වහන්සේට තුති පුදන්න; මන්ද උන්වහන්සේ යහපත් ය;
උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදා පවතින්නේ ය.
2 ස්වාමින්වහන්සේගෙන් මිදීම ලද්දෝ,
සතුරු අතින් උන්වහන්සේ මිදූ අය එසේ කියත්වා!
3උන්වහන්සේ දේශ-දේශාන්තර වෙතින්,
එනම්, නැගෙනහිරින් හා බටහිරින් ද උතුරින් හා දකුණින් ද ඔවුන් එක් රැස් කළ සේක.
4ඇතැම්හු පදිංචියට සුදුසු නගරයක් සොයාගත නො හැකි ව
කාන්තාර මුඩුබිම්හි මංමුළා ව ගියහ.
5ඔවුහු සාගින්නෙන් ද පිපාසයෙන් ද යුතු වූවෝ,
ශක්තිය පිරිහී බෙලහීන ව සිටියෝ ය.
6එවිට ඔවුහු තම විපත්තියේදී ස්වාමින්වහන්සේට මොර ගැසූහ;
උන්වහන්සේ ඔවුන්ගේ ඒ පීඩාවෙන් ඔවුන් ගැලවූ සේක.
7ඔවුනට පදිංචියට සුදුසු නගරයක් වෙතට
උන්වහන්සේ ඍජු මාර්ගයකින් ඔවුනට මග පෙන් වූ සේක.
8ඔවුහු උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැනත්,
මිනිසුන් උදෙසා වූ උන්වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැනත් ස්වාමින්වහන්සේට ස්තුති කරත්වා!
9මන්ද උන්වහන්සේ පිපාසිතවූවන් තෘප්තියට පමුණුවා,
සාගිනි වූවන් යහ දෙයින් පුරවන සේක.
10ඇතැම්හු අන්ධකාරයේ හා මරණාන්ධකාර ගැඹුරේ ද
සිරකොට යදමින් බඳිනු ලැබ පීඩිත ව ද සිටියහ.
11මන්ද ඔවුන් දෙවියන්වහන්සේගේ වචනයට එරෙහිව කැරලි ගැසූ අතර,
මහෝත්තමයාණන්ගේ උපදෙස් නීච කොට සලකා තිබුණි.
12එබැවින් උන්වහන්සේ ඔවුන් දැඩි අසීරුතාවට පත් කළ සේක;
පිහිට වන්නට කිසිවකු නැතිව, ඔවුහු පැකිළී වැටුණහ.
13එවිට ඔවුහු තම විපත්තියේදී ස්වාමින්වහන්සේට මොර ගැසූහ;
උන්වහන්සේ ඔවුන්ගේ ඒ පීඩාවෙන් ඔවුන් ගැලවූ සේක.
14උන්වහන්සේ අන්ධකාරයේ හා මරණාන්ධකාර ගැඹුරින් ඔවුන් ඉවතට ගත් සේක;
ඔවුන් බැඳි බැඳුම්, බිඳ දැමූ සේක.
15ඔවුහු උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැනත්,
මිනිසුන් උදෙසා වූ උන්වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැනත් ස්වාමින්වහන්සේට ස්තුති කරත්වා!
16මන්ද උන්වහන්සේ ලෝකඩ දොරටු බිඳ දැමූ සේක්,
යකඩ හරස් පොලු කපා හෙළූ සේක.
17ඇතැම්හු තම කැරලිකාරී මාර්ග නිසා, අඥාන බවට පැමිණියෝ,
තම අයුතුකම් හේතු කොට හිංසා-පීඩා වින්දෝ ය.
18සියලු ආහාර ඔවුනට අප්පිරියා වී,
ඔවුහු මරණයේ දොරටුවට ම ළං වූහ.
19එවිට ඔවුහු තම විපත්තියේදී ස්වාමින්වහන්සේට මොර ගැසූහ;
උන්වහන්සේ ඔවුන්ගේ ඒ පීඩාවෙන් ඔවුන් ගැලවූ සේක.
20උන්වහන්සේ ස්වකීය වචනය එවා, ඔවුන් සුව කළ සේක්,
විනාශයෙන් ඔවුන් බේරා ගත් සේක.
21ඔවුහු උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැනත්,
මිනිසුන් උදෙසා වූ උන්වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැනත් ස්වාමින්වහන්සේට ස්තුති කරත්වා!
22ඔවුහු ස්තුති පූජා යාග කරත්වා!
ප්‍රීති ගීතයෙන් උන්වහන්සේ කළ දෑ පවසත්වා!
23ඇතැම්හු නැව්වලින් මුහුදු ගියහ;
ඔවුහු මහ සමුදුරේ වෙළඳ ව්‍යාපාරිකයෝ ය.
24ඔවුහු ස්වාමින්වහන්සේගේ ක්‍රියා දුටුවෝ ය;
සාගර ගැඹුරෙහි උන්වහන්සේගේ අසිරිමත් වැඩ දුටුවෝ ය.
25මන්ද උන්වහන්සේ අණ කරමින්, චණ්ඩ මාරුතය කැලඹූ කල,
රළ රැළි ඉහළ පැන නැංගේ ය.
26එවිට නැව් ඉහළට අහසට විසි විණ; යළි පහළ ගැඹුරට පහත් විණ;
එම උපද්‍රවයෙන් ඔවුන්ගේ ධෛර්යය දියවී ගියේ ය.
27ඔවුහු බීමත් මිනිසුන් මෙන් වැනි වැනී, ගාට ගාටා ගියෝ,
කිසිවක් කර කියාගත නො හැකි තැනට පත් වූවෝ ය.
28එවිට ඔවුහු තම විපත්තියේදී ස්වාමින්වහන්සේට මොර ගැසූහ;
උන්වහන්සේ ඔවුන්ගේ ඒ පීඩාවෙන් ඔවුන් ගැලවූ සේක.
29උන්වහන්සේ චණ්ඩ මාරුතය, නිශ්චල කළ සේක;
මුහුදු රළ පෙළ ද නිසල විණ.
30නිසලතාව ඇති වූ බැවින් ඔවුහු ප්‍රමෝදයට පත් වූහ;
ඔවුන්ගේ අභිලාෂය වූ වරායට උන්වහන්සේ ඔවුන්ට මග පෙන් වූ සේක.
31ඔවුහු උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැනත්,
මිනිසුන් උදෙසා වූ උන්වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැනත් ස්වාමින්වහන්සේට ස්තුති කරත්වා!
32ඔවුහු ජන එකමුතුවේදී උන්වහන්සේ උසස් කරත්වා!
වැඩිහිටි සභා මඬුල්ලේදී උන්වහන්සේට ප්‍රශංසා කරත්වා!
33උන්වහන්සේ ගංගා, නිරුදක කතරක් බවට පමුණු වන සේක;
ජල උල්පත්, වියළි බිමක් බවට පමුණු වන සේක.
34උන්වහන්සේ සාර භූමිය, ලවණ මුඩු බිමක් කරන සේක;
එසේ කරන්නේ, එහි විසූ ජනයාගේ දුෂ්ටකම් නිසා ය.
35නිරුදක කතර, දිය පොකුණු බවට හරවන සේක්;
වියළි භූමිය, ජල උල්පත් තෝතැන්නක් බවට හරවන සේක.
36උන්වහන්සේ සාගිනි වූවන් එහි වාසයට කැඳවාගෙන එන සේක;
ඔවුහු පදිංචියට එහි නුවරක් පිහිටුවා ගනිති.
37ඔවුහු කුඹුරු වපුරන්නෝ ය; මිදි වතු වවන්නෝ ය;
සරු සාර අස්වැන්නක් නෙළාගන්නෝ ය.
38උන්වහන්සේ ඔවුනට ආශිර්වාද කරන සේක; ඔවුහු ගණනින් වැඩි වර්ධන වන්නාහ;
ඔවුන්ගේ සත්ව සම්පත ද අඩු වන්නට උන්වහන්සේ ඉඩ නො දෙන සේක.
39මෙයින් පසු, පීඩනය ද විපත්තිය හා දුක් කරදර ද හේතුවෙන්,
ගණනින් හීන වන්නට වන් ඔවුහු යටත් කරනු ද ලැබූහ.
40අධිපතීන් පිට අවඥාව වැගුරූ උන්වහන්සේ, ඔවුන් මග තොට නො දැන,
මංමුළා ව යන්නට සැලසූ සේක.
41එහෙත් දුගීන් ඔවුන්ගේ දුක් හිරිහැරවලින් මුදා ලූ උන්වහන්සේ,
ඔවුන්ගේ පවුල් බැටළු රංචු මෙන් බොහෝ වන්නට සැලසූ සේක.
42ධාර්මිකයෝ ඒ දැක ප්‍රීති ප්‍රමෝද වන්නාහ;
එහෙත් දුෂ්ට සියල්ලෝ කට පියා ගනිති.
43ප්‍රඥාවත්හු මේ දෑ සිතට ගෙන,
ස්වාමින්වහන්සේගේ නොමියෙන ප්‍රේමය කල්පනා කරත්වා!

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in