YouVersion Logo
Search Icon

පිලිප්පි 1

1
1ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයින් වන පාවුල් හා තිමෝති වෙතින්,
පිලිප්පියෙහි සභා නායකයින් සහ උපස්ථායකයින් ඇතුළු ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සියලු ශුද්ධවන්තයින් වෙතයි.
2අපගේ පියාණන් වූ දෙවියන්වහන්සේගෙන් හා යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ඔබට අනුග්‍රහයත්, සාමයත් වේවා!
තුතිය හා යැදුම
3ඔබ සිහි වන හැම විට මගේ දෙවියන්වහන්සේට මම ස්තුති කරමි. 4ඔබ හැම උදෙසා මගේ හැම යාච්ඤාවකදී හැම විට මා යාච්ඤා කරන්නේ ප්‍රීතියෙනි. 5පළමු දවසේ පටන් අද දක්වා ශුභාරංචියට ඇති ඔබේ සහභාගිත්වය ඊට හේතුවයි. 6ඔබ තුළ යහපත් කාර්යයකට මුලපිරූ තැනැන්වහන්සේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දවස දක්වා එය සම්පූර්ණ කරන වග ඒකාන්තයෙන් මම විශ්වාස කර ගෙන සිටිමි.
7මා සිර-බැඳුම් ලැබ සිටියදීත්, ශුභාරංචිය ගැන වග උත්තර කියද්දීත්, එහි සත්‍යතාව සහතික කරද්දීත් දෙවියන්වහන්සේගෙන් මා ලද අනුග්‍රහයට මා හා පංගුකාර වූ ඔබ හැම, මා හදෙහි දරා සිටින බැවින්, ඔබ හැම ගැන මා එසේ සිතීම යුතු ය. 8ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ම සෙනෙහසින් යුතු ව ඔබ හැමට මා කෙතරම් ආශා වෙම් ද යන්න දෙවියන්වහන්සේ ම සාක්ෂි වන සේක.
9මගේ යාච්ඤාව මෙයයි: දැනගැන්මෙන් හා විනිවිද දක්නා මුළු නුවණින් ඔබගේ ප්‍රේමය වඩ වඩා වැඩේවා! 10ඒ, වඩා උතුම් දේ කවරේදැයි වටහා ගැනීමට ඔබට හැකි වන පිණිස ය. එවිට ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා පවිත්‍ර ව, නො කැළැල් ව සිටිමින්, 11දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය හා ප්‍රශංසාව උදෙසා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් පැමිණෙන ධර්මිෂ්ඨකමේ පලයෙන් ඔබ සපිරෙනු ඇත.
ප්‍රීතියට හේතුවක්
12සහෝදරයිනි, මට විඳින්නට සිදු වූ හැම දෙයක් ම ශුභාරංචියේ වර්ධනයට ඉවහල් වී ඇති වග ඔබට දන්වනු කැමැත්තෙමි. 13මෙසේ මා සිර-බැඳුම් ලැබ සිටින්නේ ක්‍රිස්තුස්වහන්සේ උදෙසා බව රාජකීය මුර සෙබළුන්ටත්, අන් හැමටත් පැහැදිලි වී ඇත. 14අප සහෝදරයින් වැඩි දෙනෙක්, මගේ මේ සිර-බැඳුම් නිසා දෙවියන්වහන්සේගේ වචනය වඩාත් එඩිතර ව, අභීත ව කතා කරන්නට ස්වාමින්වහන්සේ තුළ ධෛර්යය ලැබ සිටිති.
15ඇතමකු ඊර්ෂ්‍යාවෙන් ද තරඟයට ද සෙසු අය හොඳ අදහසින් ද ක්‍රිස්තුස්වහන්සේ දේශනා කරන වග සැබෑවකි. 16පසුව කී අය එසේ කරන්නේ, මෙසේ මා සිරගත ව සිටින්නේ ශුභාරංචිය ගැන වග උත්තර කියන්නට බව දැන, ප්‍රේමයෙනි. 17එහෙත් පළමු කී අය ක්‍රිස්තුස්වහන්සේ දේශනා කරන්නේ, මගේ මේ සිර-බැඳුම් වඩාත් කරදරකාරී කිරීමේ අදහසින්, ආත්මාර්ථකාමී අභිලාෂයෙනි; අවංක ව නො වේ. 18ඊට කමක් නැත; වැදගත් වන්නේ හැම අයුරකින් ම, වංක අරමුණින් වේවා, අවංක අරමුණින් වේවා ක්‍රිස්තුස්වහන්සේ දේශනා කරනු ලැබීමයි. මම ඒ ගැන ප්‍රීති වෙමි.
ඔව්, මතු මතුත් ප්‍රීති වන්නෙමි. 19මන්ද ඔබගේ යාච්ඤා ද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් දෙන ලද උපකාර ද නිසා, ඒ දෑ මගේ නිදහසට හේතු වන බැව් මා දන්නා බැවිනි. 20මගේ ජීවත් වීමෙන් වේවා, මරණයෙන් වේවා අන් හැම විට මෙන් දැනුත්, මගේ ශරීරයෙන් ක්‍රිස්තුස්වහන්සේ ගෞරවයට පමුණු වන පිණිස, කිසි සේත් ලජ්ජාවට පත්වීමේ හේතුවක් නො වී, හැම අයුරින් ම එඩිතර ව සිටීම මගේ දැඩි අපේක්ෂාවත්, බලාපොරොත්තුවත් ය. 21මට, ජීවත් වීම ක්‍රිස්තුස්වහන්සේ ය. මරණය මට ලාභයකි. 22තවදුරටත් මේ ශරීරයේ මගේ විසීම පලදායි සේවයකට හේතු වනු ඇත. එහෙත් මා තෝරා ගත යුත්තේ කුමක් ද? මා දන්නේ නැත. 23ඒ දෙක අතර දෙපැත්තට අදිනු ලබමි: මගේ ආශාව මේ ජීවිතයෙන් ඉවත් වී, ක්‍රිස්තුස්වහන්සේ සමඟ සිටීම ය. මන්ද එය බෙහෙවින් ම හොඳ ය. 24එහෙත් ඔබ උදෙසා වැඩි අවශ්‍යතාව, මේ ශරීරයේ මගේ රැඳී සිටීමයි. 25ඒ වග මට සහතික බැවින් මේ ජීවිතයේ ම රැඳෙමින්, ඔබගේ ඇදහිල්ලේ වර්ධනයත්, ප්‍රීතියත් උදෙසා මා ඔබ හැම අතර දිගට ම කටයුතු කරන වග මම දනිමි. 26මෙසේ, යළිත් මා ඔබ අතරට පැමිණීමෙන්, මා නිසා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ වඩා උදම් ඇනීමට හේතුවක් ඔබට ලැබේ.
ශුභාරංචියට ඔබින ජීවිතය
27කුමක් වෙතත්, ඔබගේ ජීවන රටාව ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට ඔබින අයුරින් හසුරුවා ගන්න. එවිට මා අවුත්, ඔබ හමුවෙතත්, නෑවිත් ඔබ ගැන තොරතුරු අසනවා පමණක් වුවත්, ඔබ එක ම ආත්මයෙන් තිරසර ව සිටින බවත්, ශුභාරංචියේ ඇදහිල්ල උදෙසා එකාවන් ව සටන් වදින බවත්, 28විරුද්ධවාදීන් හමුවේ හැම අයුරින් ම අභීත ව සිටින බවත් දැන ගන්නෙමි. ඔබගේ අභීත භාවය ඒ විරුද්ධවාදීනට ඔවුන්ගේ විනාශයත්, ඔබගේ ගැලවීමත් පිළිබඳව දෙවියන්වහන්සේගෙන් වූ නිසැක ලකුණකි. 29මන්ද ක්‍රිස්තුස්වහන්සේ උදෙසා උන්වහන්සේ අදහාගැනීමේ පමණක් නො ව, උන්වහන්සේ උදෙසා දුක් විඳීමේ වරප්‍රසාදයත් ඔබට ප්‍රදාන කරනු ලැබ ඇත. 30මෙසේ, කලින් මා සටන් වැද සිටිනු ඔබ දුටු අරගලයෙහි දැන් ඔබත් යෙදී සිටිති. ඔබට අසන්නට ලැබෙන පරිදි තවමත් මම එහිම යෙදී සිටිමි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in