YouVersion Logo
Search Icon

ගණන් 3

3
පූජකවරු හා ලෙවීවරු
1 ස්වාමින්වහන්සේ සීනයි කන්දේදී මෝසෙස් හා කතා කළ කාලයේ මෝසෙස්ගේත්, ආරොන්ගේත් පවුල් පෙළපත මෙසේ ය.
2ආරොන්ගේ පුතුන්ගේ නාම: කුලුඳුල් පුත් නාදාබ්, අබීහූ, එලෙයාසර් හා ඊතාමර්. 3පූජකයින් වශයෙන් සේවාව සඳහා පූජකවරයට පත් කරන ලද, පූජක ආලේපය ලත් ආරොන්ගේ පුතුන් ඔවුහු ය. 4එහෙත් නාදාබ් හා අබීහූ සීනයි කාන්තාරයේ ස්වාමින්වහන්සේ අබියස අනවසර ගිනි පූජාවක් පිදීමේ හේතුවෙන්, උන්වහන්සේ අබියස මැරී වැටුණහ. ඔවුනට පුතුන් සිටියේ නැත. එබැවින් එලෙයාසර් හා ඊතාමර් පමණක් ඔවුන්ගේ පියා වූ ආරොන්ගේ ජීවිත කාලයේදී පූජකයින් වශයෙන් සේවය කළහ.
5 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 6“ලෙවී ගෝත්‍රය කැඳවාගෙන අවුත්, පූජක ආරොන්ට සහාය වන පිණිස ඔහු ඉදිරිපිට සිටුවන්න. 7මණ්ඩපයේ සේවයේ යෙදෙමින්, ඔවුන් ආරොන් හා මුළු ජන සමාජය සඳහා හමුවීමේ කූඩාරම අබියස තේවා කටයුතු කළ යුතු ය. 8මෙසේ මණ්ඩප සේවා ඉටු කිරීමෙන්, ඉශ්‍රායෙල්වරුන් උදෙසා නියමයන් ඉටු කරමින්, ඔවුන් හමුවීමේ කූඩාරමෙහි ඇති සියලු බඩු භාණ්ඩවල භාරකාරත්වය දැරිය යුතු ය. 9ලෙවීවරුන් ආරොන්ටත්, ඔහුගේ පුතුන්ටත් භාර දෙන්න; මුළුමනින් ම ඔහුට භාර කරන ලද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔවුහු ය. 10ආරොන් ද ඔහුගේ පුතුන් ද පූජකවරුන් වශයෙන් පත් කරන්න. ශුද්ධස්ථානය වෙත ළඟා වන අන් කවරකු වුව මරණයට පත් කළ යුතු යැ” යි කී සේක.
11 ස්වාමින්වහන්සේ මෝසෙස්ට මෙසේ ද කී සේක: 12“හැම ඉශ්‍රායෙල් ස්ත්‍රියකගේ ම කුලුඳුල් පිරිමි දරුවා වෙනුවට ඉශ්‍රායෙල් ජනයා අතරින් මම ලෙවී ගෝත්‍රය තෝරා ගතිමි. එබැවින්, ලෙවීවරුන් මගේ ය. 13මන්ද සියලු කුලුඳුලන් අයිති මට ය. මම ඊජිප්තුවේ සියලු කුලුඳුලන් ගසා හෙළූ කල, ඉශ්‍රායෙල්හි මිනිසුන් අතරේත්, සතුන් අතරේත් සියලු කුලුඳුලන් මට ම වෙන් කර ගතිමි. ඔවුන් අයිති විය යුත්තේ මට ය. මම ස්වාමින්වහන්සේ ය.”
14 ස්වාමින්වහන්සේ සීනයි කාන්තාරයේදී මෝසෙස් ඇමතූ සේක්, 15“ලෙවී පුත්‍රයින් ඔවුන්ගේ පියවංශ හා පෙළපත් අනුව ගණන් කරන්න. මාසයක් හා ඊට වැඩි වයස් වූ සියලු පිරිමි ගණන් කරන්නැ” යි පැවසූ සේක. 16මෙසේ ස්වාමින්වහන්සේගේ වචනයෙන් ලද අණ පරිදි, මෝසෙස් ලෙවීවරුන් ගණන් කළේ ය.
17ලෙවීගේ පුත්‍රයින් නාම වශයෙන්:
ගෙර්ෂොන්, කොහාත් හා මෙරාරී ය.
18ගෙර්ෂොන් පුත්‍රයන්ගේ පෙළපත්, නාම වශයෙන්:
ලිබ්නි හා ෂිමෙයි වෙයි.
19කොහාත් පුත්‍රයන්ගේ පෙළපත්, නාම වශයෙන්:
අම්රාම්, ඉස්හාර්, හෙබ්‍රොන් හා උස්සියෙල් වෙයි.
20මෙරාරී පුත්‍රයන්ගේ පෙළපත්, නාම වශයෙන්:
මාලී හා මූෂී වෙයි.
ලෙවී ගෝත්‍රික පියවංශවලට අනුව වූ ඔවුන්ගේ පෙළපත් ඒවා ය.
21ලිබ්නිවරුන්ගේ ද ෂිමෙයිවරුන්ගේ ද පෙළපත් අයිති ගෙර්ෂොන්ට ය. ගෙර්ෂොන්වරුන්ගේ පෙළපත් ඒවා ය.
22ඔවුන් අතරින් ගණන් ගන්නා ලද මාසයක් හා ඊට වැඩි වයස් වූ සියලු පිරිමි, ගණනින් හත්දහස් පන්සිය දෙනෙකි.
23ගෙර්ෂොන්වරුන්ගේ පෙළපත්, මණ්ඩපයට පිටුපසින්, බටහිර දෙසට කඳවුරු ගැසිය යුතු විය.
24ගෙර්ෂොන්වරුන්ගේ පියවංශවල ප්‍රධානියා ලායෙල්ගේ පුත් එලියාසාෆ් ය.
25හමුවීමේ කූඩාරමේ ගෙර්ෂොන් පුත්‍රයන්ගේ වගකීම වූයේ, කූඩාරම හා උඩු වියන ද එහි වැස්ම ද හමුවීමේ මණ්ඩප දොරටු තිරය ද 26කූඩාරම් මළුවේ තිර ද මණ්ඩපය හා පූජාසනය වටා වූ මළුවේ දොරටුවේ තිරය ද ලණු ද ඒවායේ කාර්යයනට අදාළ හැම දෙයක් ද යනාදියෙහි භාරකාරත්වයයි.
27අම්රාම්වරුන්ගේ ද ඉස්හාර්වරුන්ගේ ද හෙබ්‍රොන්වරුන්ගේ ද උස්සියෙල්වරුන්ගේ ද පෙළපත් අයිති කොහාත්ට ය. කොහාත්වරුන්ගේ පෙළපත් ඒවා ය.
28ඔවුන් අතරින් ගණන් ගන්නා ලද මාසයක් හා ඊට වැඩි වයස් වූ සියලු පිරිමි, ගණනින් අටදහස් හයසිය දෙනෙකි.
ඔවුන්ගේ වගකීම වූයේ ශුද්ධස්ථානයේ භාරකාරත්වයයි.
29කොහාත් පුත්‍රයන්ගේ පෙළපත්, මණ්ඩපයෙන් දකුණු දෙසට කඳවුරු ගැසිය යුතු විය.
30කොහාත්වරුන්ගේ පෙළපත්වල පියවංශ ප්‍රධානියා උස්සියෙල්ගේ පුත් එලිසාෆාන් ය.
31ගිවිසුම් කරඬුව, මේසය, පහන් රුක, පූජාසන හා තේවා සඳහා ගන්නා ශුද්ධස්ථාන-උපකරණ ද තිරය ද ඒවායේ සේවාවනට අදාළ හැම දෙයක් ද යන්නෙහි භාරකාරත්වය දැරීම ඔවුන්ගේ කාර්ය භාරය විය.
32පූජක ආරොන්ගේ පුත් එලෙයාසර් ලෙවීවරුන්ගේ නායකයින්ගේ ප්‍රධානියා විය. ශුද්ධස්ථානයේ වගකීම් පිළිබඳ භාරකාරත්වය දැරූවන්ගේ අධීක්ෂණය ඔහුට පැවරිණි.
33මාලීවරුන්ගේ ද මූෂීවරුන්ගේ ද පෙළපත් අයිති මෙරාරීට ය. මෙරාරීවරුන්ගේ පෙළපත් ඒවා ය.
34ඔවුන් අතරින් ගණන් ගන්නා ලද මාසයක් හා ඊට වැඩි වයස් වූ සියලු පිරිමි ගණනින් හයදහස් දෙසීය දෙනෙකි.
35මෙරාරීවරුන්ගේ පෙළපත්වල පියවංශ නායකයා, අබිහයිල්ගේ පුත් සූරියෙල් ය.
ඔවුන් කඳවුරු ගැසිය යුතු වූයේ, මණ්ඩපයට උතුරු දෙසිනි.
36මෙරාරීවරුන්ගේ භාරකාරත්වයට පැවරුණේ, මණ්ඩප ලෑලි ද ඒවායේ හරස් පොලු ද කණු ද පාද තල හා සියලු උපකරණ ද ඒවායේ කාර්යයනට අදාළ සියලු දේ 37හා මළුව වටා වූ කණු ද ඒවායේ පාද තල, කූංඤ හා ලණු ද යනාදියයි.
38මෝසෙස් ද ආරොන් සහ ඔහුගේ පුතුන් ද කඳවුරු බැඳිය යුත්තේ, හමුවීමේ කූඩාරමට ඉදිරිපිටින්, මණ්ඩපයට පෙරදිගින් හෙවත් හිරු නැගෙන දෙසිනි.
ඉශ්‍රායෙල් ජනයා වෙනුවෙන් ඔවුන්ගේ වගකීම වූයේ ශුද්ධස්ථානයේ කාර්යභාරයයි.
ශුද්ධස්ථානය වෙත ළඟා වන අන් කවරකු වුව මරණයට පත් කළ යුතු විණි.
39 ස්වාමින්වහන්සේගේ අණ පරිදි මෝසෙස් හා ආරොන් ගණන් ගන්නා ලද ලෙවීවරුන්ගේ පෙළපත්වලට අනුව, මාසයක් හා ඊට වැඩි වයස් වූ හැම පිරිමියකු ම ඇතුළත් වූ ලෙවීවරුන්ගේ මුළු ගණන විසිදෙදහසකි.
40 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඉශ්‍රායෙල්වරුන් අතරේ මාසයක් හා ඊට වැඩි වයස් වූ සියලු පිරිමි කුලුඳුලන් ගණන් කොට ඔවුන්ගේ නාම ලේඛනයක් සකසන්න. 41ඉශ්‍රායෙල් ජනතාවගේ සියලු කුලුඳුලන් වෙනුවෙන් ලෙවීවරුන් ගන්න. ඉශ්‍රායෙල් ජනයා ඇති කරන සතුන් අතරේ වන සියලු කුලුඳුලන් වෙනුවෙන් ලෙවීවරුන්ගේ කුලුඳුල් සතුන් ගන්න. මම ස්වාමින්වහන්සේ වෙමි.”
42එබැවින් තමාට ස්වාමින්වහන්සේ අණ කළ පරිදි මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු කුලුඳුලන් ගණන් කළේ ය. 43නාම ලේඛනගත, මාසයක් හා ඊට වැඩි වයස් වූ කුලුඳුල් පිරිමින්ගේ මුළු ගණන විසිදෙදහස් දෙසිය හැත්තෑ තුනකි.
44 ස්වාමින්වහන්සේ යළි මෝසෙස් ඇමතූ සේක්, 45“ඉශ්‍රායෙල්හි සියලු කුලුඳුලන් වෙනුවට ලෙවීවරුන් ද ඉශ්‍රායෙල්හි ඇති කරන සතුන් වෙනුවට ලෙවීවරුන්ගේ සතුන් ද ගන්න. ලෙවීවරුන් මා සන්තක විය යුතු ය. මම ස්වාමින්වහන්සේ වෙමි. 46ලෙවීවරුන්ගේ ගණනට වඩා වැඩි වූ ඉශ්‍රායෙල් ජනයාගේ කුලුඳුලන් දෙසිය හැත්තෑතුන් දෙනා මුදා ගනු පිණිස, 47ඒ එක් එක්කෙනා උදෙසා ගේරා විස්සක් අඩංගු ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව ෂෙකෙල් පහ බැගින් එකතු කරන්න. 48ඉශ්‍රායෙල්වරුන් අතරේ වූ එම වැඩි ගණන සඳහා මිදීමේ මිල ආරොන්ට හා ඔහුගේ පුතුනට දෙන්නැ” යි පැවසූ සේක.
49මෙසේ එක් එක් ලෙවී ගෝත්‍රිකයා මගින් මුදනු ලැබූ ගණනට අමතරව ඉශ්‍රායෙල්වරුන් අතර වූවන් සඳහා මිදීමේ මිල මෝසෙස් එකතු කළේ ය. 50ශුද්ධස්ථානයේ සම්මත මිනුම වූ ෂෙකෙලයට අනුව ඉශ්‍රායෙල් කුලුඳුලන් වෙතින් ඔහු ෂෙකෙල් එක්දහස් තුන්සිය හැටපහක් එකතු කළේ ය. 51ස්වාමින්වහන්සේගේ වචනයෙන් ලද අණ පරිදි මෝසෙස් එම මිදීමේ මිල ආරොන්ටත්, ඔහුගේ පුතුන්ටත් දුන්නේ ය.

Currently Selected:

ගණන් 3: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for ගණන් 3