YouVersion Logo
Search Icon

ගණන් 2

2
කඳවුරු ගැසීම සහ පිටත් ව යෑම
1 ස්වාමින්වහන්සේ මෙසේ පවසමින්, මෝසෙස් හා ආරොන් ඇමතූ සේක: 2“ඉශ්‍රායෙල් ජනයා, එක් එක්කෙනා, තම තමාගේ පෙළපත් ලාංඡන යටතේ, තම ගෝත්‍රික ධජයට අනුව හමුවීමේ කූඩාරමට මදක් ඈත් ව, ඒ වටා කූඩාරම් ගැසිය යුතු ය.”
3හිරු උදා වන නැගෙනහිර දෙසට:
යූදා කඳවුරේ සේනාංක, ඔවුන්ගේ ධජය යටතේ කඳවුරු ගැසිය යුතු ය. අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් යූදා ජනයාගේ නායකයා ය. 4ඔහුගේ සේනාංකය හැත්තෑහතරදහස් හයසිය දෙනකුගෙන් යුතු විණි.
5ඊළඟට ඉස්සාකර් ගෝත්‍රයයි. ඉස්සාකර් ජනයාගේ නායකයා, සූවාර්ගේ පුත් නෙතනේල් ය. 6ඔහුගේ සේනාංකය පනස්හතරදහස් හාරසිය දෙනකුගෙන් යුතු විණි.
7ඊළඟට සාබුලොන් ගෝත්‍රයයි. සාබුලොන් ජනයාගේ නායකයා, හේලොන්ගේ පුත් එලියාබ් ය. 8ඔහුගේ සේනාංකය පනස්හත්දහස් හාරසිය දෙනකුගෙන් යුතු විය.
9යූදා කඳවුරට ගැනෙන, ඔවුන්ගේ සේනාංකවලට අයත් පිරිමින්ගේ මුළු ගණන එක්ලක්ෂ අසූහය දහස් හාරසියයකි. මුලින් ම පිටත් ව යන්නෝ ඔවුහු ය.
10දකුණු දෙසට තිබිය යුත්තේ:
ඔවුන්ගේ ධජය යටතේ රූබෙන් කඳවුරේ සේනාංකය වේ. රූබෙන් ජනයාගේ නායකයා, ෂෙදෙවූර්ගේ පුත් එලිසූර් ය. 11ඔහුගේ සේනාංකය හතළිස්හයදහස් පන්සිය දෙනකුගෙන් යුතු විය.
12ඊළඟට කඳවුරු ගසන්නේ, සිමියොන් ගෝත්‍රයයි. සිමියොන් ජනයාගේ නායකයා, සූරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් ය. 13ඔහුගේ සේනාංකය පනස්නවදහස් තුන්සිය දෙනකුගෙන් යුතු විය.
14ඊළඟට ගාද් ගෝත්‍රයයි. ගාද් ජනයාගේ නායකයා, රෙවූයෙල්ගේ පුත් එලියාසාෆ් ය. 15ඔහුගේ සේනාංකය හතළිස්පන්දහස් හයසිය පනස් දෙනකුගෙන් යුතු විය.
16රූබෙන් කඳවුරට ගැණෙන, ඔවුන්ගේ සේනාංකවලට අයත් පිරිමින්ගේ මුළු ගණන, එක්ලක්ෂ පනස්එක්දහස් හාරසියපනස් දෙනෙකි. දෙවනුව පිටත් ව යන්නෝ ඔවුහු ය.
17ඉන්පසු, සෙසු කඳවුරුවලට මැදි වී, හමුවීමේ කූඩාරම හා ලෙවීවරුන්ගේ කඳවුර පිටත් ව යනු ඇත. ඔවුන් පිටත් ව යන්නේ, ඔවුන් කඳවුරු ගැසූ අනුපිළිවෙලින් තම ධජය යටතේ එකිනෙකාගේ ස්ථානය අනුව ය.
18බටහිර දෙසට තිබිය යුත්තේ:
ඔවුන්ගේ ධජය යටතේ එප්‍රායිම් කඳවුරේ සේනාංක වේ. එප්‍රායිම් ජනයාගේ නායකයා අම්මිහුද්ගේ පුත් එලිෂාමා ය. 19ඔහුගේ සේනාංකය හතළිස්දහස් පන්සිය දෙනකුගෙන් යුතු විය.
20ඔවුන් ළඟට මනස්සේ ගෝත්‍රයයි. මනස්සේ ජනයාගේ නායකයා, පෙදාසූර්ගේ පුත් ගමාලියෙල් ය. 21ඔහුගේ සේනාංකය, තිස්දෙදහස් දෙසිය දෙනකුගෙන් යුතු විය.
22ඊළඟට බෙන්යමින් ගෝත්‍රයයි. බෙන්යමින් ජනයාගේ නායකයා, ගිදෙයොනීගේ පුත් අබිදාන් ය. 23ඔහුගේ සේනාංකය, තිස්පන්දහස් හාරසිය දෙනකුගෙන් යුතු විය.
24එප්‍රායිම් කඳවුරට ගැණෙන, ඔවුන්ගේ සේනාංකවලට අයත් පිරිමින්ගේ මුළු ගණන, එක්ලක්ෂ අටදහස් සිය දෙනෙකි. තෙවනුව පිටත් ව යන්නෝ ඔවුහු ය.
25උතුරු දෙසට තිබිය යුත්තේ;
ඔවුන්ගේ ධජය යටතේ දාන්ගේ කඳවුරේ සේනාංකය වේ. දාන් ජනයාගේ නායකයා, අම්මිෂද්දයිගේ පුත් අහියේසෙර් ය. 26ඔහුගේ සේනාංකය හැටදෙදහස් හත්සිය දෙනකුගෙන් යුතු විය.
27ඔවුන්ට ළඟ කඳවුරු ගසන්නේ ආෂෙර් ගෝත්‍රයයි. ආෂෙර් ජනයාගේ නායකයා, ඔක්‍රාන්ගේ පුත් පගියෙල් ය. 28ඔහුගේ සේනාංකය, හතළිස්එක්දහස් පන්සිය දෙනකුගෙන් යුතු විය.
29ඊළඟට නෆ්තලී ගෝත්‍රයයි. නෆ්තලී ජනයාගේ නායකයා, ඒනාන්ගේ පුත් අහිරා ය. 30ඔහුගේ සේනාංකය, පනස්තුන්දහස් හාරසිය දෙනකුගෙන් යුක්ත විය.
31දාන් කඳවුරට ගැණෙන ඔවුන්ගේ සේනාංකවලට අයත් පිරිමින්ගේ මුළු ගණන, එක්ලක්ෂ පනස්හත්දහස් හයසිය දෙනෙකි. ඔවුන්ගේ ධජවලට අනුව අවසානයට නික්ම යන්නෝ ඔවුහු ය.
32තමන්ගේ පියවංශවලට අනුව ගණන් ගනු ලැබූ ඉශ්‍රායෙල්වරු ඔවුහු ය. ඔවුන්ගේ සේනාංකවලට අනුව, ඒ කඳවුරුවලට අයත් සියල්ලෝ හයලක්ෂ තුන්දහස් පන්සිය පනස් දෙනෙකි. 33එහෙත් ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, සෙසු ඉශ්‍රායෙල් ජනයා සමඟ ලෙවීවරු ගණන් ගන්නා ලද්දේ නැත.
34මෙසේ ඉශ්‍රායෙල්වරු හැම දෙයක් ම කළේ, ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිද්දෙනි. තම තමන්ගේ ධජවලට අනුව ඔවුන් කඳවුරු ගැසුවේ එපරිද්දෙනි; ඔවුන් එකිනෙකා තම තමාගේ පෙළපත හා පියවංශය සමඟ පිටත් ව ගියේ එපරිද්දෙනි.

Currently Selected:

ගණන් 2: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in