ගණන් 16
16
කෝරා, දාතාන් හා අබිරාම්
1ලෙවීගේ පුත්‍ර කොහාත්ගේ පුත්‍රයා වූ ඉස්හාර්ගේ පුත්‍රයා වන කෝරා, රූබෙන් වංශික එලියාබ්ගේ පුතුන් වූ දාතාන් හා අබිරාම් ද පෙලෙත්ගේ පුත්‍ර ඕන් ද යන අය සමඟ මිනිසුන් කැටුව 2මෝසෙස්ට එරෙහිව, නැගී සිටියේ ය. සමාජයෙන් තෝරා පත් කෙරුණු සභිකයින් වූ ද ජනතාව අතර ප්‍රසිද්ධ වූ ද ඉශ්රායෙල් ප්‍රජා නායකයින් දෙසිය පනස් දෙනෙක් ද ඔවුන් සමඟ වූහ. 3මෝසෙස්ට හා ආරොන්ට එරෙහිව කණ්ඩායමක් සේ පැමිණි ඔවුහු, ඔවුන් අමතමින්, “නුඹලා ගානට වැඩියි. මේ මුළු සමාජය ම ශුද්ධයි; මේ හැම කෙනෙක් ම; ස්වාමින්වහන්සේත් ඔවුන් සමඟයි. එසේ තිබියදී ස්වාමින්වහන්සේගේ සභාවට ඉහළින් නුඹලා, නුඹලා ම උසස් කර ගන්නේ මන්දැ?” යි ඇසූහ.
4මෝසෙස් මෙය ඇසූ කල, මුණින් තලා වැටුණේ ය. 5ඉන් අනතුරුව කෝරා හා ඔහුගේ අනුගාමික සියල්ලන් ඇමතූ මෝසෙස්, “තමන්වහන්සේට අයිති කවුරු ද, ශුද්ධ අය කවුරු ද කියා ස්වාමින්වහන්සේ හෙට උදෑසන පෙන්වා දී, ඒ තැනැත්තාට තමන් සමීපයට ඒමට උන්වහන්සේ සලසන සේක. උන්වහන්සේ තෝරාගත් මනුෂ්‍යයාට තමන්වහන්සේ සමීපයට ඒමට උන්වහන්සේ සලසන සේක. 6කෝරා, නුඹත්, නුඹේ සියලු සගයිනුත් මෙසේ කළ යුතුයි. නුඹලා ධූම පාත්‍ර ගෙන, 7හෙට ඒවායේ ගිනි බහා, ස්වාමින්වහන්සේ ඉදිරියෙහි ඒවාට සුවඳ ද්‍රව්‍ය දමන්න. එවිට ස්වාමින්වහන්සේ තෝරා ගන්න මනුෂ්‍යයා, ශුද්ධ තැනැත්තා වනු ඇත. ලෙවී පුත්‍රයිනි, නුඹලා ඕනෑවට වඩා ගානට වැඩි යැ” යි පැවසී ය.
8මෝසෙස්, කෝරා අමතමින්, මෙසේ ද කීවේ ය. “ලෙවී පුත්‍රයිනි, සවන් දෙන්න! 9ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේ සෙසු ඉශ්රායෙල් සමාජය වෙතින් නුඹලා වෙන් කර ගෙන, ස්වාමින්වහන්සේගේ මණ්ඩපයේ සේවයටත්, ජනයාට සේවය කිරීම පිණිස සමාජය ඉදිරියේ සිටීමටත්, උන්වහන්සේ වෙත නුඹලා ළං කර ගැනීම නුඹලාට මදි ද? 10උන්වහන්සේ නුඹත්, නුඹේ සහෝදර ලෙවී පුත්‍රයින් සියලු දෙනාත් තමන්වහන්සේට ළං කර ගත් සේක. දැන් නුඹලා පූජකත්වයත් ගන්නට මාන බලනවා ද! 11නුඹත්, නුඹේ සියලු සගයිනුත් එක් වී ඇත්තේ ස්වාමින්වහන්සේට එරෙහිවයි. ආරොන්ට එරෙහිව මැසිවිලි නගන්නට ඔහු කවුරු ද?”
12ඉන්පසු මෝසෙස් එලියාබ්ගේ පුතුන් වූ දාතාන් හා අබිරාම් කැඳවා යැවී ය. එහෙත් ඔවුහු පිළිතුරු දෙමින්, “අප එන්නේ නැත. 13මේ පාළුකරයේ අප මරා දමන්නට කිරි හා පැණි ගලා යන දේශයකින් අප ගෙන ආවා නුඹට මදි ද? දැන් අපට ස්වාමිත්වය පාන්නටත් නුඹට ඕනෑවෙලා ද? 14ඒ හැරත්, කිරි හා පැණි ගලා යන දේශයකට නුඹ, අප ගෙන ආවේ නැත; කෙත් වතු හා මිදි වතුවල උරුමයක් අපට දුන්නේ ද නැත. මේ මිනිසුන්ගේ ඇස් අන්ධ වෙලා යයි සිතනවා ද? නැහැ! අප එන්නේ ම නැහැ” යි කීහ.
15එවිට මෝසෙස් මහත් කෝපයට පත් ව, ස්වාමින්වහන්සේ අයදිමින්, “ඔවුන්ගේ පඬුර නො පිළිගත මැනවි. මා ඔවුන්ගෙන් බූරුවකු තරම් වත් ගත්තේ නැත. ඔවුන්ගෙන් කිසිවකුට මා වරදක් කළේ නැතැ” යි පැවසී ය.
16මෝසෙස් කෝරා අමතමින්, “ඔබත්, ඔබේ සගයින් සියලු දෙනාත් හෙට දවසේ ස්වාමින්වහන්සේ ඉදිරියේ පෙනී සිටිය යුතුයි. ඔබත්, ඔවුනුත්, ආරොනුත්; 17හැම කෙනෙක් ම තමාගේ ධූම පාත්‍රය ගෙන, සුවඳ ද්‍රව්‍ය දැමිය යුතුයි. මෙසේ, ධූම පාත්‍ර දෙසියපනහ ම ස්වාමින්වහන්සේ අබිමුවෙහි පිළිගැන්විය යුතු ය. ඔබත්, ආරොනුත් ඔබ දෙපලගේ ධූම පාත්‍ර පිළිගැන්විය යුතු ය” යි කීවේ ය. 18එබැවින් ඔවුන් එක් එක්කෙනා තම තමාගේ ධූම පාත්‍රය ගෙන, ගිනි බහා, සුවඳ ද්‍රව්‍ය දමා, මෝසෙස් හා ආරොන් සමඟ හමුවීමේ කූඩාරම් දොරකඩ සිටගත්හ. 19ඔවුන්ට ප්‍රති පක්ෂ ව කෝරා තම සගයින් සියලු දෙනා, හමුවීමේ කූඩාරම් දොරකඩට එක් රැස් කළ පසු, ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය රැස් ව සිටි හැමට පෙනෙන්නට විය. 20ස්වාමින්වහන්සේ මෝසෙස් හා ආරොන් අමතමින්, 21“මේ සමූහයා වෙතින් ඈත් වන්න; එක්වර ම ඔවුන් ඉවරයක් කර දමන්නට මට හැකි වන පිණිස” යි කී සේක.
22එහෙත්, මුණින් තලා වැටුණු මෝසෙස් හා ආරොන්, “අහෝ දෙවියන්වහන්ස, මුළු මිනිස් වර්ගයාගේ ආත්මවල දෙවියන්වහන්ස, එක් මිනිසකු පව් කරන කල, ඔබ මුළු සමාජය සමඟ ම කෝප වන සේක් දැ?” යි මොර ගැසුවෝ ය.
23එවිට මෝසෙස් ඇමතූ ස්වාමින්වහන්සේ, 24“කෝරාගේත්, දාතාන්ගේත්, අබිරාම්ගේත් කූඩාරම් වෙතින් ඈත්වන ලෙස රැස් වූ සමූහයාට කියන්නැ” යි කී සේක.
25මෝසෙස් එවිට නැගිට, දාතාන් හා අබිරාම් වෙත ගියේ ය. ඉශ්රායෙල් වැඩිහිටියෝ ඔහු පසුපසින් ගියහ. 26මෝසෙස්, රැස් ව සිටි සමූහයාට අවවාද කරමින්, “මේ දුෂ්ට මිනිසුන්ගේ කූඩාරම් වෙතින් ඈත් වනු. ඔවුන්ට අයිති කිසි දේකට අත නො ගසනු. එසේ කළොත් ඔවුන්ගේ සියලු පාප හේතුවෙන් ඔබත් වැනසී යනු ඇතැ” යි කීවේ ය. 27එබැවින් ඔවුහු කෝරාගේ ද දාතාන්ගේ ද අබිරාම්ගේ ද කූඩාරම් වෙතින් ඉවත් වූහ. දාතාන් හා අබිරාම් තම භාර්යාවන් ද දරුවන් සහ අත දරුවන් ද සමඟ තම කූඩාරම්වලින් පිටතට අවුත්, කූඩාරම් දොරකඩ සිටගෙන වුන්හ.
28එවිට, මෝසෙස්, “මේ සියල්ල කිරීමට මා එවුවේ ස්වාමින්වහන්සේ බවත්, එය මගේ ම අදහසක් නො වන බවත් ඔබ දැනගන්නේ මෙසේයි: 29මේ මිනිසුන් ස්වාභාවික ව මළොත්, මිනිසාට පොදු ඉරණමකට පමණක් ඔවුන් බඳුන් වුවහොත්, ස්වාමින්වහන්සේ මා එවා නැත. 30එහෙත්, ස්වාමින්වහන්සේ මුළුමනින් ම අමුතු දෙයක් කර, පොළොව එහි මුව විවර කර, ඔවුන් සන්තක සියල්ල සමඟ ඔවුන් ගිලගතහොත්, එසේ පණ පිටින් ම ඔවුන් ෂෙයෝලයට#16:30 පාතාලයට හෙවත් මළවුන්ගේ ස්ථානයට ඇදී ගියහොත්, මේ මිනිසුන් විසින් ස්වාමින්වහන්සේ සුළු කොට සලකන ලද වග ඔබ දැනගන්නවා ඇතැ” යි කීවේ ය.
31ඔහු මේ සියල්ල පවසා නිම වනවාත් සමඟ ම, ඔවුන් සිටි තැන යටින් පොළොව පැළිණි. 32පොළොව තම මුව විවර කර, ඔවුන් ද ඔවුන්ගේ ගෘහ වාසීන් ද කෝරාගේ මිනිසුන් ද ඔවුන් සන්තක සියල්ල ද ගිලගත්තේ ය. 33තමන් සන්තක සියලු දේ සමඟින් ඔවුහු පණ පිටින් ම ෂෙයෝලයට ඇදී ගියහ. ඔවුන්ට ඉහළින් පොළොව වැසී ගියේ ය. මෙසේ ඔවුහු විනාශ වී ගියහ; ජන සමාජය වෙතින් දුරු වී ගියහ. 34ඔවුන් වටා සිටි සියලු ඉශ්රායෙල්වරු ඔවුන්ගේ මොරගෑම අසා, “පොළොව අපත් ගිලගන්නට යනවෝ” යි මොර දෙමින්, පලා ගියහ.
35 ස්වාමින්වහන්සේ වෙතින් ගිනි නික්ම අවුත්, සුවඳ දුම් පුදමින් සිටි දෙසිය පනස් දෙනා දවා දැමී ය.
36ඉන්පසු මෝසෙස් ඇමතූ ස්වාමින්වහන්සේ, 37“දැවුණු සිරුරු වෙතින් ධූම පාත්‍ර අරගන්නැයි පූජක ආරොන්ගේ පුත් එලෙයාසර්ට කියන්න. ඒවායේ ගිනි අඟුරු මදක් දුරකට විසුරුවා දමන්න. මන්ද ඒ ධූම පාත්‍ර ශුද්ධ ය. 38තම ජීවිත පරදුවට තබා, පව් කළ මේ මිනිසුන්ගේ ධූම පාත්‍ර, පූජාසනය වසන්නට තහඩු බවට පත් වන සේ තලන්න. ස්වාමින්වහන්සේ අබියස ඒවා පිළිගැන් වූ බැවින්, ඒවා ශුද්ධ බවට පත් ව ඇත. ඒවා ඉශ්රායෙල්වරුන්ට ලකුණක් පිණිස වේවා” යි පැවසූ සේක.
39එබැවින් දවා දමනු ලැබූවන් ගෙනවුත් තිබූ ලෝකඩ ධූම පාත්‍ර එකතු කළ පූජක එලෙයාසර්, පූජාසනය වසන පිණිස ඒවා තැලෙව්වේ, 40මෝසෙස් මගින් ස්වාමින්වහන්සේ තමාට පෙන්වා දුන් පරිද්දෙනි. එසේ කළේ, ආරොන්ගෙන් පැවතෙන්නකු මිස අන් කවරකු හෝ ස්වාමින්වහන්සේ අබියස සුවඳ දුම් දවන්නට ළං නො විය යුතු වග ද එසේ ළං වුවහොත්, කෝරා හා ඔහුගේ සගයිනට අත් වූ ඉරණමට පත් විය හැකි බැව් ද ඉශ්‍රායෙල්වරුනට සිහි කිරීමක් වශයෙනි.
41පසු දින, මුළු ඉශ්රායෙල් සමාජය ම මෝසෙස්ට හා ආරොන්ට එරෙහිව මැසිවිලි නගමින්, “නුඹලා, ස්වාමින්වහන්සේගේ ජනතාව මරා දැමුවා” යි කීහ.
42එහෙත්, ඔවුහු මෝසෙස් හා ආරොන්ට එරෙහිව එක් රැස් වී, හමුවීමේ කූඩාරම දෙසට හැරුණු කල, මෙන්න! එකවිට ම වලාකුළ මණ්ඩපය වසාගෙන, ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය පෙනෙන්නට විය. 43එවිට මෝසෙස් හා ආරොන් හමුවීමේ කූඩාරම ඉදිරියට ගියහ. 44ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 45“මේ සමූහයා වෙතින් ඈත් වන්න; එක්වර ම ඔවුන් ඉවරයක් කර දමන්නට මට හැකි වන පිණිස යැ” යි කී සේක. එවිට ඔවුහු මුණින් තලා වැටුණහ.
46එවිට මෝසෙස්, ආරොන් අමතමින්, “ඔබේ ධූම පාත්‍රය ගෙන, පූජාසනයෙන් ගිනි බහා, සුවඳ ද්‍රව්‍ය දමා, සමූහයා උදෙසා පාප වන්දි නිවාරණය ඉටු කරන්න වහ වහා ඔවුන් වෙත යන්න. ස්වාමින්වහන්සේ වෙතින් උදහස නික්ම ඇවිදින්; ව්‍යසනය පටන් අරගෙනැ” යි කීවේ ය. 47ආරොන් සමූහයා අතරට දිව්වේ, මෝසෙස් කී ලෙස කරමිනි. ඒ වන විටත් ජනතාව මධ්‍යයේ ව්‍යසනය ඇරඹී තිබිණි. එහෙත් ආරොන්, සුවඳ දුම් පුදමින් ඔවුන් උදෙසා පාප වන්දි නිවාරණ සමඟිකමක් කළේ ය. 48ඔහු ජීවතුන් ද මළවුන් ද අතරට මැදි වී සිට ගත්තේ ය. එකල ව්‍යසනය නැවතිණි. 49කෝරා නිසා මියැදුණු පිරිසට අමතරව දාහතරදහස් හත්සිය දෙනෙක් මෙම ව්‍යසනයෙන් මිය ගියහ. 50ව්‍යසනය නැවතුණු බැවින් ආරොන් හමුවීමේ කූඩාරම් දොරකඩ සිටි මෝසෙස් වෙත ආපසු ගියේ ය.
Currently Selected:
ගණන් 16: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.