YouVersion Logo
Search Icon

ගණන් 15

15
නොයෙකුත් පූජා
1 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 2“ඉශ්‍රායෙල්වරුනට කතා කොට, මෙසේ පවසන්න: ‘ඔබගේ පදිංචියට මා ඔබට දෙන දේශයට ඔබ පිවිසි පසු, 3ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් කොට දවන පූජා හෝ යාග හෝ විශේෂ බාරයක් වශයෙන් යාග පූජා හෝ ස්වේච්ඡා පූජා හෝ නියමිත මංගල්‍ය පූජා යන වශයෙන් ඔබේ ගව, එළු, බැටළු රංචුවලින් ස්වාමින්වහන්සේට ගින්නෙන් පුදන පූජා පිළිගන්වන කල, 4තම පූජාව ගෙනෙන අය ස්වාමින්වහන්සේට තෙල් හිනකින් හතරෙන් එකක් හා මිශ්‍ර කළ සිහින් පිටි ඒෆාවකින් දසයෙන් එකක ධාන්‍ය පූජාවක් ද 5දවන යාග පූජාවක් හෝ යාග පූජාවක් සඳහා වන එක් එක් බැටළු පැටවකු සමඟ මිදි යුෂ හිනකින් හතරෙන් එකක පාන පූජාවක් ද පිළියෙල කොට පිළිගැන්විය යුතු ය.
6“ ‘බැටළුවකු සමඟ තෙල් හිනකින් තුනෙන් එකක් හා මිශ්‍ර කළ සිහින් පිටි ඒෆාවකින් දහයෙන් දෙකක ධාන්‍ය පූජාවක් ද 7පාන පූජාවක් වශයෙන් මිදි යුෂ හිනකින් තුනෙන් එකක් ද පිළියෙල කොට, ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් වශයෙන් ඔප්පු කරන්න.
8“ ‘ස්වාමින්වහන්සේට විශේෂ බාරයක් හෝ ශාන්ති පූජාවක් හෝ වශයෙන් දවන යාග පූජාවක් හෝ යාග පූජාවක් කොට ගව නාම්බකු සූදානම් කරන කල, 9තෙල් හිනකින් භාගයක් හා මිශ්‍ර කළ සිහින් පිටි ඒෆාවකින් දහයෙන් තුනක ධාන්‍ය පූජාවක්, ගවයා සමඟ ගෙන එන්න. 10මිදි යුෂ හිනකින් භාගයක පාන පූජාවක් ද ඒ සමඟ ගෙන එන්න. එය ස්වාමින්වහන්සේ ප්‍රසන්න සුවඳක් වන ගින්නෙන් පිදූ පූජාවක් වනු ඇත. 11එක් එක් ගවයකු හෝ බැටළුවකු ද එක් එක් බැටළු පැටවකු හෝ එළු පැටවකු ද පිළියෙල කළ යුත්තේ මෙලෙසිනි. 12ඔබ පිළියෙල කරන සතුන් ගණන කොතෙක් වුව ද, හැම සතකු සඳහා ම එසේ කරන්න.
13“ ‘ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් කොට ගින්නෙන් පුදන පූජාවක් ගෙනෙන කල, හැම පුරවැසියකු ම ඒ දෑ කළ යුතු ය. 14මතු පරම්පරාහි ද විදෙස්සකු හෝ ඔබ අතරේ වෙසෙන අන් යමකු හෝ යම් විටෙක ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් කොට ගින්නෙන් පුදන පූජාවක් පිළිගන්වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ඔබ කරන අයුරින් ඔහු ද කළ යුතු ය. 15ඔබටත්, ඔබ අතරේ වෙසෙන විදෙස්සනටත් මේ ජන සමාජයේ තිබිය යුත්තේ එක ම නීති සමුදායකි. මතු පරම්පරා සඳහා ද සදාතනික නියෝගයකි. ස්වාමින්වහන්සේ අබියස ඔබත්, විදෙස්සනුත් එක හා සමාන වෙයි. 16ඔබටත්, ඔබ අතරේ වෙසෙන විදෙස්සනටත් යන දෙගොල්ලට ම අදාළ වන්නේ එක ම නීති හා නියමයන් යැ’ යි” පැවසූ සේක.
17 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 18“ඉශ්‍රායෙල්වරුන් අමතා මෙසේ පවසන්න: ‘මා, ඔබ ගෙන යන දේශයට ඔබ පිවිස, 19දේශයේ ආහාර අනුභව කරන කල, ඉන් කොටසක් ස්වාමින්වහන්සේට පුද පඬුරක් කොට පිළිගන්වන්න. 20ඔබේ ප්‍රථම ඇනූ පිටිවලින් කැවිලි සාදා, ඔබේ කමතෙන් පුද පඬුරක් වශයෙන් ඔප්පු කරන්න. 21මතු පරම්පරා මුළුල්ලෙහිත් ඔබේ ප්‍රථම ඇනූ පිටියෙන් ස්වාමින්වහන්සේටමෙම පුද පඬුර ඔබ දිය යුතු ය.
අතපසුවීමේ වරද සඳහා පාප වන්දි නිවාරණය
22“ ‘ස්වාමින්වහන්සේ මෝසෙස්ට දුන් මේ ආඥාවලින් කිසිවක් පිළිපැදීමට අතපසුවීමකින් ඔබ අපොහොසත් වුවහොත්, 23ස්වාමින්වහන්සේ ඒ ආඥා දුන් දවසේ සිට නොකඩවා මතු පරම්පරාවන්හි ද ස්වාමින්වහන්සේ මෝසෙස්ට දුන් ආඥාවලින් කවරක් හෝ කඩ වුවහොත්, 24එය සිදු වූයේ මුළු සමූහයා ම නො දැනුවත් ව, අතපසුවීමකින් නම්, මුළු ජන සමාජය ම ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් වශයෙන් දවන යාග පූජාවක් කොට ගව නාම්බකු ඔප්පු කළ යුතු ය. ඒ සමඟ, ඊට නියමිත ධාන්‍ය පූජාව හා පාන පූජාව ද පාප පූජාවක් සඳහා එළු වස්සකු ද ඔප්පු කළ යුතු ය. 25ඉශ්‍රායෙල් මුළු සමූහයා උදෙසා පූජකයා පාප වන්දි නිවාරණය ඉටු කළ යුතු ය. එවිට ඔවුන්ට කමා කරනු ලැබේ. මන්ද එය අතපසුවීමක් බැවිනි. ඒ හැරත්, ඔවුන්ගේ වරද උදෙසා ගින්නෙන් පිදූ පූජාවක් හා පාප පූජාවක් ස්වාමින්වහන්සේ වෙත ඔවුන් ගෙන ආ බැවිනි. 26මුළු ඉශ්‍රායෙල් ජන සමාජයට හා ඔවුන් මධ්‍යයේ වෙසෙන විදෙස්සන්ට ද කමා කරනු ලැබේ. මන්ද අතපසුවීමේ වරදට මුළු ජනතාව ම සම්බන්ධ බැවිනි.
27“ ‘එහෙත් එක් පුද්ගලයකු පමණක් අතපසුවීමකින් පව් කළොත්, ඔහු පාප පූජාවක් සඳහා එක් අවුරුදු එළු වැස්සියක ගෙන ආ යුතු ය. 28එසේ අතපසුවීමකින් පව් කරමින්, වරද කළ අය උදෙසා පූජකයා ස්වාමින්වහන්සේ ඉදිරියේ පාප වන්දි නිවාරණය ඉටු කළ යුතු ය. මෙසේ ඔහු උදෙසා පාප වන්දි නිවාරණය කළ පසු, ඔහුට සමාව ලැබේ. 29ඉශ්‍රායෙල් පුරවැසියකු හෝ එහි වෙසෙන විදෙස්සකු යන කවරකු වුව අතපසුවීමකින් පව් කරන ඔබ හැම කෙනකුට ම බල පැවැත්වෙන්නේ එක ම නීතියකි.
30“ ‘එහෙත් පුරවැසියකු හෝ විදෙස්සකු හෝ යන කවරකු වුව කැරලිකාරී ව පව් කළොත්, ඔහු ස්වාමින්වහන්සේට අපහාස කරයි. තම ජනයා වෙතින් ඔහු සිඳ දැමිය යුතු ය. 31ඔහු ස්වාමින්වහන්සේගේ වචනය සුළු කොට තකා, උන්වහන්සේගේ ආඥා කඩ කළ බැවින්, නියතයෙන් ම ඔහු සිඳ දැමිය යුතු ය. ඔහුගේ පාපය ඔහු මත ම වේ යැ’ යි” පැවසූ සේක.
සබත් නීතිය කඩකරන්නන්ට මරණ දණ්ඩනය
32ඉශ්‍රායෙල්වරුන් පාළුකරයේ සිටියදී, එක් මිනිසෙක් සබත් දවසේ දර එකතු කරනු දක්නට ලැබිණ. 33ඔහු දර එකතු කරනු දුටුවෝ, මෝසෙස් හා ආරොන් වෙතටත්, මුළු සභාව වෙතටත් ඔහු ගෙන ආහ. 34ඔහුට කුමක් කළ යුතුදැයි යන්න හරි හැටි නො දත් බැවින් ඔවුහු ඔහු අත්අඩංගුවේ තැබූහ. 35එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඒ මිනිසා මිය යා යුතු ය. කඳවුරෙන් පිටතදී මුළු සභාව ම ඔහුට ගල් ගැසිය යුතු යැ” යි පැවසූ සේක. 36එබැවින්, කඳවුරෙන් පිටතට ඔහු ගෙන ගිය ඉශ්‍රායෙල් සමූහයා ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු මැරෙන තුරා ගල් ගැසූහ.
වස්ත්‍ර සඳහා ටසල
37 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 38“ඉශ්‍රායෙල්වරුනට කතා කොට මෙසේ කියන්න: ‘මතු පරම්පරා මුළුල්ලේ ඔබේ වස්ත්‍ර වාටිවල කෙළවර, ටසල සාදාගත යුතු ය. හැම ටසලයක ම නිල්පාට පටියක් තිබිය යුතු ය. 39මෙම ටසල ඔබට ඇත්තේ, මගේ ආඥාවලට ඔබ කීකරු වන පිණිසත්, ඔබේ ම සිත්වල හා ඇස්වල තෘෂ්ණා අනුව යෑමෙන් අනාචාරකම් නො කරන පිණිසත්, ඒ ටසල දෙස බලා, එමඟින් ස්වාමින්වහන්සේගේ සියලු ආඥා ඔබට සිහිගන්වන්නට ය. 40එවිට මගේ සියලු ආඥාවලට කීකරු වීමට ඔබට සිහිවනු ඇත. මෙසේ ඔබ, ඔබේ දෙවියන්වහන්සේට ශුද්ධ ව, කැප වනු ඇත. 41ඔබේ දෙවියන්වහන්සේ වන පිණිස ඊජිප්තුවෙන් පිටතට ඔබ ගෙන ආ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම වෙමි’ යි” පැවසූ සේක.

Currently Selected:

ගණන් 15: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in