YouVersion Logo
Search Icon

විලාප ගී 1

1
1අහෝ! ජනී ජනයාගෙන් ඒ සා පිරී තිබූ පුරය,
අද හුදකලාව වැතිර හිඳින හැටි!
ජාතීන් අතරේ ශ්‍රේෂ්ඨ ව සිටි ඇය,
කණවැන්දුමියක් වැනි බවට පත් ව සිටින හැටි!
ප්‍රාන්ත අතරේ රැජිනක වූ ඇය
බැල මෙහෙවරට වැටී සිටින හැටි!
2රැයෙහි ඈ මහත් සොවින් හඬන්නී,
දෙකොපල රූරා කඳුළු සලන්නී ය.
ඇගේ ආදරවන්තයින් හැම අතරින්
ඇය සනසන්නට එක් කෙනකුදු නැත.
ඇගේ මිතුරු සියල්ලෝ ඇය පාවා දුන්නෝ,
ඇයට ම සතුරන් වී සිටිති.
3තාඩන පීඩන ද කටුක වහල් භාවය ද යටතේ
යූදා විප්‍රවාසයට ගියා ය.
ජාතීන් අතරේ ඈ වාසය කළ ද,
සැනසිල්ලේ ඉන්නට තැනක් ඇයට නැත.
ඇය ලුහුබැඳ ගිය සැවොම
ඇගේ විපත්තියේදී ඇය කොටු කර ගත්තෝ ය.
4සම්මත මංගල්‍යවලට කිසිවකුත් නො එන නිසා,
සියොන බලා දිවෙන පාරවල් වැලපේ.
පුර දොරටු පෙදෙස් පාළුවට ගොසිනි;
එපුර පූජකයෝ හූල්ලති,
ඇගේ කන්‍යාවියෝ ශෝක වෙති.
ඇය තුළ බලවත් සංතාපයෙකි.
5ඇගේ හාම්පුතුන් ව පත් ව ඇත්තේ, ඇගේ එදිරිවාදීන් ය;
ඇගේ සතුරෝ සැප සේ වෙසෙති.
ස්වාමින්වහන්සේ මේ දුක් පීඩා ඇයට ගෙන දී ඇත්තේ
අපමණ වූ ඇගේ පාප නිසා ය.
ඇගේ දූ දරුවෝ එදිරිවාදීන් විසින් අල්ලා ගන්නා ලදුව,
වහල්කමට ගියෝ ය.
6සියොන් දියණිය වෙතින්
ඇගේ මුළු ප්‍රභා සම්පත්තිය බැහැර ව ගොසිනි.
ඇගේ අධිපතීන්, තණ බිම් නො ලද
මුවන්-ගෝනුන් වැන්න.
සවිබල බිඳුණු ඔවුහු,
තමන් ලුහුබැඳ එන්නා වෙතින් පලා දිව්වෝ ය.
7ඉහත පටන් තමන් සතු ව තිබූ
සියලු යස ඉසුර ගැන, පීඩාවේ හා මංමුළාවේ දවස්හි දී
යෙරුසලම සිහිකරන්නට වන්නී ය.
ඇගේ ජනයා සතුරු අත්වලට හසු වූ කල,
ඇයට පිහිට වන්නට කෙනකු සිටියේ නැත.
ඇගේ සතුරෝ ඇය දෙස බලා,
ඇගේ විනාශයේදී ඇයට සමච්චල් කළහ.
8යෙරුසලම බරපතළ ලෙස පව් කළා ය;
එසේ ඇය අපවිත්‍ර ව ඇත.
ඇයට ගෞරව කළ සියල්ලෝ,
ඇගේ නග්නත්වය දුටු නිසා දැන් ඇය හෙළා දකිති.
ඈ හුදකලාව හූල්ලමින්,
මුහුණ සඟවාගන්නී ය.
9ඇගේ අපවිත්‍රතාව, ඇගේ වස්ත්‍රයට ඇලී ඇත;
තම ඉරණම ගැන ඇය සිතා බලා නැත.
එබැවින් ඇගේ ඇද වැටීම, ඇදහිය නො හැකි තරම් ය;
ඇය සනසන්නට කිසි කෙනකු නැත.
“අහෝ ස්වාමින්වහන්සේ, බැලුව මැනව මගේ දුක් පීඩා,
මගේ සතුරා ජය ගත්තා නො වේ ද?”
10ඇගේ සියලු ධන සම්පත් පිට
සතුරා අත් දිගු කළේ ය;
ඔබගේ එක්රැස්වීම්වලට ඇතුළු වීමට
අවසර නැති අන්‍ය-ජාතීන්,
ඇගේ ශුද්ධස්ථානයට පිවිසියේ
ඇගේ ඇස් ඉදිරිපිටදී ම ය.
11කෑමට යමක් සොයා යන අතරේ
ඇගේ සියලු ජනතාවෝ හූල්ලති.
ඔවුහු පණ රැක ගන්නට තමන් ප්‍රියත ම වස්තුව,
ආහාරවලට හුවමාරු කර ගනිති.
“බැලුව මැනව, අහෝ ස්වාමින්වහන්ස,
මා කෙතරම් නීච ව ඇද්දැයි සැලකිල්ලට ගත මැනව.”
12“මෙතැන පසු කර යන සියල්ලෙනි, නුඹලාට ගාණක් නැද්ද?
අවට සිසාරා බලන්න, මා පිට පැමිණ තිබෙන්නා වූ,
ස්වාමින්වහන්සේ
තම උග්‍ර කෝප දවසේ
මා පිට පැමිණ වූ,
මගේ දුක් පීඩා හා සමාන දුක් පීඩා තවත් වේ ද?
13“උන්වහන්සේ ඉහළ අහසේ සිට ගින්නක් එවා,
මගේ ඇටකටු තුළට ම බැස්ස වූ සේක.
උන්වහන්සේ මගේ පාදවලට දැලක් එළූ සේක්,
මා ආපස්සට හැරවූ සේක.
උන්වහන්සේ මා පාළු කළ සේක්,
දවස මුළුල්ලේ මා මුර්ඡා කළ සේක.
14“උන්වහන්සේගේ අතින් එක් කොට බඳින ලද
මගේ අයුතුකම් වියගහක් කොට බැඳ,
මගේ කර මත බර ව තිබේ.
මෙසේ සමිඳාණෝ මගේ ශක්තිය හීන කළ සේක්,
මට වඩා බලවත් සතුරා අතට
මා හසුකර දුන් සේක.
15“මා මධ්‍යයේ සිටි සියලු රණවිරුවන්
ස්වාමියාණන් එපාකර දැමූ සේක්;
මගේ තරුණ කැල පොඩිපට්ටන් කර දමන පිණිස,
එතුමාණෝ මට එරෙහිව හමුදාවක් කැඳවූ සේක.
මිදි මෝලෙහි හෙළා, මිදි මඩින්නා සේ
ස්වාමියාණන් යූදා කන්‍යාවිය පාගා දැමූ සේක.
16“මා හඬා වැලපෙන්නේ එබැවිනි.
මගේ දෑසින් කඳුළු කඩා හැලේ.
මා සනසන්නට කෙනකු ළඟ පාතක නැත.
මා දිරිගන්වන්නට කිසි කෙනකු නැත.
සතුරා ජය ගෙන ඇති බැවින්,
මගේ දරුවෝ අනාථ ව ගොසිනි.”
17සියොන, පිහිට පතා තම අත පාන්නී ය;
එහෙත් ඇය සනසන්නට කිසිවකු නැත.
අසල්වාසීන්, එදිරිවාදීන් වන ලෙසට
ස්වාමින්වහන්සේ යාකොබ් ගැන නියමයක් කළ සේක.
යෙරුසලම ඔවුන් අතරේ
අපවිත්‍රතාවක් බවට පත් ව ඇත.
18ස්වාමින්වහන්සේ ධර්මිෂ්ඨ ය;
එහෙත් මම, උන්වහන්සේගේ වචනයට එරෙහිව කැරලි ගැසීමි.
සියලු ජනයිනි, සවන් දෙන්න;
මගේ විඳවීම් දෙස බලන්න;
මගේ යෞවන යෞවනියෝ
අල්ලාගෙන යනු ලැබුවෝ ය.
19“මගේ ආදරවන්තයින්ට මම හඬ ගැසීමි,
එහෙත්, ඔවුහු මා පාවා දුන්හ.
මගේ පූජකයින් හා මගේ වැඩිහිටියන්
පුරවරය තුළ ම වැනසී ගියේ,
පණ රැක ගන්නට
කෑම සොයා යන අතරේ ය.
20“බැලුව මැනව අහෝ ස්වාමින්වහන්ස, මා කොතරම් දුකින් පීඩිත ද!
මගේ ආමාශය කැලඹෙයි.
මගේ හදවත තුවාල වී ඇත;
මන්ද මම වඩාත් ම කැරලිකාරී වුණෙමි.
ගෙයින් පිටතදී කඩුව දිවි තොර කරයි;
ගේ ඇතුළත ඇත්තේ ද මරණය පමණි.
21“මගේ සුසුම් ලෑම ඔවුනට ඇසුණි;
එහෙත් මා අස්වසන්නට කෙනකු නැත;
මගේ විපත්තිය මගේ සතුරු සියල්ලනට අසන්නට ලැබිණ;
එය ඔබවහන්සේගෙන් පැමිණි නිසා, ඔවුහු ප්‍රමෝද වෙති.
ඔබ ප්‍රකාශයට පත් කළ ඒ දවස ඔබ විසින් පමුණුවා,
ඔවුන්ට ද මට වාගේ සිදු වේවා.
22“ඔවුන්ගේ සියලු දුෂ්ටකම් ඔබ ඉදිරියේ දිගහැරේවා;
මගේ අයුතුකම් සියල්ල හේතුවෙන්
මා ගැන ක්‍රියා කළ පරිද්දෙන්,
ඔවුන්ටත් කළ මැනව.
මගේ සුසුම් ලෑම අපමණ ය;
මගේ හදවත ක්ලාන්ත වී යයි.”

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for විලාප ගී 1