YouVersion Logo
Search Icon

යෝෂුවා 24:14-24

යෝෂුවා 24:14-24 SCV

“එබැවින් දැන් ස්වාමින්වහන්සේට ගෞරව දක්වන්න. අවංක ව, හා විශ්වාසී ව උන්වහන්සේට සේවය කරන්න. ඔබේ ආදි පියවරුන් ගංගාවෙන් එතෙරදීත්, ඊජිප්තුවේදීත් සේවය කළ දෙවිවරුන් ඉවතලන්න. ස්වාමින්වහන්සේට සේවය කරන්න. එහෙත් ස්වාමින්වහන්සේට සේවය කිරීමට ඔබ නො කැමැත්තේ නම්, කවරකුට මෙහෙ කරනවා දැයි අද ම තෝරා ගන්න. ගංගාවෙන් එතෙර ඔබේ ආදි පියවරුන් මෙහෙ කළ දෙවිවරුන් හෝ ඔබ වසන දේශයේ දේශ වාසී අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ තෝරා ගන්න. එහෙත් මම සහ මගේ ගෘහ වාසීහු වූ අපි, ස්වාමින්වහන්සේට සේවය කරන්නෙමු” යි පැවසී ය. එවිට ජනයා පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ අතහැර, අන්‍ය දෙවිවරුන්ට මෙහෙ කිරීම අප කෙරෙන් දුරු වේවා! අප ද අපේ පියවරුන් ද ඊජිප්තු දේශයෙන්, වහල්කමේ නිවාසයෙන් පිටතට ගෙනාවේත්, අපගේ ඇස් හමුවේ මේ මහ ලකුණු පෑවේත් අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ම ය. අපගේ මුළු ගමනේදීත්, සියලු ජාතීන් මැදින් අප කළ සංචාරයේදීත් උන්වහන්සේ අප ආරක්ෂා කළ සේක. දේශයෙහි වාසය කළ අමෝරිවරුන් ඇතුළු සියලු ජාතීන් ස්වාමින්වහන්සේ අප ඉදිරියෙන් පන්නා දැමූ සේක. එනිසා අපිත්, ස්වාමින්වහන්සේට සේවය කරන්නෙමු; මන්ද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේ යැ” යි පැවසූහ. යෝෂුවා ජනතාව අමතමින්, “ස්වාමින්වහන්සේට සේවය කරන්නට නුඹලාට නුපුළුවන. උන්වහන්සේ ශුද්ධ දෙවියන්වහන්සේ කෙනෙක. උන්වහන්සේ ඊර්ෂ්‍යා සහගත දෙවියන්වහන්සේ කෙනෙක. උන්වහන්සේ ඔබේ අපරාධ හා ඔබේ පාප කමා කරන්නේ නැත. ඔබ ස්වාමින්වහන්සේ අත්හැර, විජාතික දෙවිවරුන්ට සේවය කළොත්, උන්වහන්සේ මින් පෙර ඔබට යහපත කළ නමුත්, උන්වහන්සේ ඔබ වෙත හැරී, විපත්ති ගෙනවුත්, ඔබ විනාශ කරන සේකැ” යි පැවසී ය. එහෙත් ජනයා යෝෂුවා අමතමින්, “නැත! අපි ස්වාමින්වහන්සේට සේවය කරන්නෙමු” යි පැවසූහ. එවිට යෝෂුවා, “ඔබ ස්වාමින්වහන්සේට සේවය කිරීම තෝරාගත් බවට ඔබ, ඔබට ම එරෙහි සාක්ෂිකරුවන් වී යැ” යි පැවසී ය. “ඔව්! අපි සාක්ෂිකරුවෝ” යි ඔවුහු පිළිතුරු දුන්හ. එවිට යෝෂුවා, “එසේ නම් දැන් ඔබ අතරේ ඇති විජාතික දෙවිවරුන් ඉවතලන්න; ඔබේ හදවත්, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත නැඹුරු කරන්නැ” යි පැවසී ය. ජනයා යෝෂුවා අමතමින්, “අපි අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට සේවය කරන්නෙමු. උන්වහන්සේට ම කීකරු වන්නෙමු” යි කීහ.

Free Reading Plans and Devotionals related to යෝෂුවා 24:14-24