YouVersion Logo
Search Icon

යෝෂුවා 24

24
ෂෙකෙම්හි දී ගිවිසුම අලුත් කිරීම
1ඉන්පසු යෝෂුවා, ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ සියල්ල ෂෙකෙම්ට එක් රැස් කරවී ය. ඔහු වැඩිහිටියන් ද නායකයින් ද විනිසුරුවන් ද ඉශ්‍රායෙල් නිලධාරීන් ද කැඳවී ය. ඔවුහු දෙවියන්වහන්සේ අබියස පෙනී සිටියහ.
2යෝෂුවා මුළු ජනතාව අමතමින්, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ඈත අතීතයේ ආබ්‍රහම්ගේ හා නාහෝර්ගේ පියා වූ තේරා ඇතුළු ඔබේ ආදි පියවරු, ගංගාවෙන්#24:2 එනම් යුප්‍රටීස් 3, 14 සහ 15 යන පදවල ද එසේ ම ය. එතෙර වාසය කළෝ, අන් දෙවිවරුන්ට සේවය කළෝ ය. 3එහෙත් මම ගඟ එතෙරින් ඔබේ පිය ආබ්‍රහම් ගෙන, කානාන් දේශය පුරා ඔහු ගෙන ගොස්, ඔහුට මහත් දරු පරපුරක් දුන්නෙමි; මම ඔහුට ඊසාක් දුන්නෙමි; 4ඊසාක්ට මම යාකොබ් හා ඒසව් දුන්නෙමි. ඒසව්ට සේයිර් කඳුරට අයිති කර ගන්නට දුන්නෙමි. එහෙත් යාකොබ් සහ ඔහුගේ පුත්තු ඊජිප්තුවට ගියහ.
5“ ‘ඉන්පසු මම මෝසෙස් හා ආරොන් යැවුවෙමි. ඒ මධ්‍යයේ මා කළ දෙයින් ඊජිප්තුවට වසංගත පැමිණ වීමි. පසුව මම නුඹලා පිටතට ගෙනාවෙමි. 6මා ඔබේ පියවරුන් ඊජිප්තුවෙන් පිටතට ගෙනා කල, නුඹලා මුහුද ළඟට ආහ. එවිට ඊජිප්තුවරු යුද්ධ රථ හා අසරුවන් ගෙන, රතු මුහුද දක්වා ඔබේ පියවරුන් ලුහුබැඳ ආහ. 7එතැනදී ඔවුහු ස්වාමින්වහන්සේට මොර ගැසූ කල, උන්වහන්සේ නුඹලා සහ ඊජිප්තුවරුන් අතර අන්ධකාරය තැබූ සේක; උන්වහන්සේ මුහුද, ඔවුන් පිටට ගෙනවුත්, ඔවුන් වසා ගන්නට සැලසූ සේක. මා ඊජිප්තුවරුනට කළ දෑ ඔබගේ ඇස්වලින් ම ඔබ දුටුවහ. එයින් පසු ඔබ පාළුකරයේ දිගු කලක් ගත කළහ.
8“ ‘ඉන්පසු මම යොර්දානෙන් අනෙක් පැත්තේ විසූ අමෝරිවරුන්ගේ දේශයට නුඹලා ගෙනාවෙමි. ඔවුහු ඔබ සමඟ සටන් කළහ. මම ඔවුන් ඔබේ අතට දුන්නෙමි. ඔබ ඔවුන්ගේ දේශය අත්කර ගත්හ. මම ඔවුන් ඔබ ඉදිරිපිටින් වනසා දැමීමි. 9පසුව සිප්පෝර්ගේ පුත්, මෝවබ් රජු වූ බාලාක්, ඉශ්‍රායෙල්ට එරෙහිව සටනට සැරසුණේ ය. ඔහු බෙයෝර්ගේ පුත් බාලාම් වෙත පණිවුඩ යවා, ඔහුට ඇරියුම් කළේ, ඔබ පිට ශාපයක් තබන පිණිසයි. 10එහෙත් මා බාලාම්ට සවන් දුන්නේ නැත. එබැවින් ඔහු ඔබට ආශිර්වාද කළේ ය. මෙසේ මම ඔහුගේ අතින් ඔබ මිදු වෙමි.
11“ ‘ඉන්පසු ඔබ යොර්දානෙන් එතෙර වී, යෙරිකෝවට පැමිණියහ. එවිට යෙරිකෝ පුරවාසීහු ඔබට එරෙහිව සටන් වැදුණහ. තවද අමෝරිවරුන්, පෙරිස්සිවරුන්, කානානිවරුන්, හිත්තිවරුන්, ගිර්ගාෂිවරුන්, හිවීවරුන් හා යෙබූසිවරුන් ද ඒ දේ ම කළහ. එහෙත් මම ඔබ අතට ඔවුන් හසුකර දුන්නෙමි. 12මම ඔබට පෙරටුව දෙබරුන් යැවීමි. උන් ඔබ ඉදිරියෙන් අමෝරි රජවරුන් දෙදෙනා පන්නා දැමූහ. එය ඔබේ කඩුවෙන්වත්, දුන්නෙන්වත් කළ දෙයක් නො වේ. 13මෙසේ ඔබ වෙහෙස නො වූ දේශයක් ද ඔබ ගොඩ නැගුවේ නැති පුරවර ද මම ඔබට දුන්නෙමි. ඔබ වාසය කරන්නේ ඒවායේ ය. ඔබ අනුභව කරන්නේ ඔබ වගා කළේ නැති මිදි වතුවලින් හා ඔලීව අරඹවලින් වූ පලදාව ය.’
14“එබැවින් දැන් ස්වාමින්වහන්සේට ගෞරව දක්වන්න. අවංක ව, හා විශ්වාසී ව උන්වහන්සේට සේවය කරන්න. ඔබේ ආදි පියවරුන් ගංගාවෙන් එතෙරදීත්, ඊජිප්තුවේදීත් සේවය කළ දෙවිවරුන් ඉවතලන්න. ස්වාමින්වහන්සේට සේවය කරන්න. 15එහෙත් ස්වාමින්වහන්සේට සේවය කිරීමට ඔබ නො කැමැත්තේ නම්, කවරකුට මෙහෙ කරනවා දැයි අද ම තෝරා ගන්න. ගංගාවෙන් එතෙර ඔබේ ආදි පියවරුන් මෙහෙ කළ දෙවිවරුන් හෝ ඔබ වසන දේශයේ දේශ වාසී අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ තෝරා ගන්න. එහෙත් මම සහ මගේ ගෘහ වාසීහු වූ අපි, ස්වාමින්වහන්සේට සේවය කරන්නෙමු” යි පැවසී ය.
16එවිට ජනයා පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ අතහැර, අන්‍ය දෙවිවරුන්ට මෙහෙ කිරීම අප කෙරෙන් දුරු වේවා! 17අප ද අපේ පියවරුන් ද ඊජිප්තු දේශයෙන්, වහල්කමේ නිවාසයෙන් පිටතට ගෙනාවේත්, අපගේ ඇස් හමුවේ මේ මහ ලකුණු පෑවේත් අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ම ය. අපගේ මුළු ගමනේදීත්, සියලු ජාතීන් මැදින් අප කළ සංචාරයේදීත් උන්වහන්සේ අප ආරක්ෂා කළ සේක. 18දේශයෙහි වාසය කළ අමෝරිවරුන් ඇතුළු සියලු ජාතීන් ස්වාමින්වහන්සේ අප ඉදිරියෙන් පන්නා දැමූ සේක. එනිසා අපිත්, ස්වාමින්වහන්සේට සේවය කරන්නෙමු; මන්ද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේ යැ” යි පැවසූහ.
19යෝෂුවා ජනතාව අමතමින්, “ස්වාමින්වහන්සේට සේවය කරන්නට නුඹලාට නුපුළුවන. උන්වහන්සේ ශුද්ධ දෙවියන්වහන්සේ කෙනෙක. උන්වහන්සේ ඊර්ෂ්‍යා සහගත දෙවියන්වහන්සේ කෙනෙක. උන්වහන්සේ ඔබේ අපරාධ හා ඔබේ පාප කමා කරන්නේ නැත. 20ඔබ ස්වාමින්වහන්සේ අත්හැර, විජාතික දෙවිවරුන්ට සේවය කළොත්, උන්වහන්සේ මින් පෙර ඔබට යහපත කළ නමුත්, උන්වහන්සේ ඔබ වෙත හැරී, විපත්ති ගෙනවුත්, ඔබ විනාශ කරන සේකැ” යි පැවසී ය.
21එහෙත් ජනයා යෝෂුවා අමතමින්, “නැත! අපි ස්වාමින්වහන්සේට සේවය කරන්නෙමු” යි පැවසූහ.
22එවිට යෝෂුවා, “ඔබ ස්වාමින්වහන්සේට සේවය කිරීම තෝරාගත් බවට ඔබ, ඔබට ම එරෙහි සාක්ෂිකරුවන් වී යැ” යි පැවසී ය.
“ඔව්! අපි සාක්ෂිකරුවෝ” යි ඔවුහු පිළිතුරු දුන්හ.
23එවිට යෝෂුවා, “එසේ නම් දැන් ඔබ අතරේ ඇති විජාතික දෙවිවරුන් ඉවතලන්න; ඔබේ හදවත්, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත නැඹුරු කරන්නැ” යි පැවසී ය.
24ජනයා යෝෂුවා අමතමින්, “අපි අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට සේවය කරන්නෙමු. උන්වහන්සේට ම කීකරු වන්නෙමු” යි කීහ.
25ඒ දවසේ යෝෂුවා ජනතාව උදෙසා ගිවිසුමක් කළේ ය. ෂෙකෙම්හි දී ඔහු ඔවුන්ට නියෝග ද නියමයන් ද ස්ථාපිත කළේ ය. 26යෝෂුවා මේ දෑ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථා පොතෙහි ලිව්වේ ය. ඉන්පසු ඔහු විශාල ගලක් ගෙන, ස්වාමින්වහන්සේගේ ශුද්ධස්ථානය අසල ආලෝන් ගස යට එය පිහිටුවී ය.
27ඔහු මුළු ජනතාව අමතමින්, “බලන්න, මේ ගල අපට එරෙහි සාක්ෂියක් වනු ඇත. ස්වාමින්වහන්සේ අපට පැවසූ සියලු වචන මේ ගලට ඇසිණි. එබැවින් ඔබේ දෙවියන්වහන්සේට ඔබ වංක වූවොත්, එය ඔබට එරෙහිව සාක්ෂියක් වනු ඇතැ” යි පැවසී ය.
28අනතුරුව යෝෂුවා, ජනයා ඔවුනොවුන්ගේ උරුම කොටසට පිටත් කර යැවී ය.
පොරොන්දු දේශයේදී භූමදාන කරනු ලැබීම
29මේ දේවලට පසු ස්වාමින්වහන්සේගේ සේවක වූ නූන්ගේ පුත්‍ර වූ යෝෂුවා එකසිය දස වන වියේදී මිය ගියේ ය. 30ඔහුගේ උරුම කොටස වන එප්‍රායිම් කඳු රටේ ගාෂ් කන්දට උතුරින් තිම්නත්-සෙරාහි ඔවුහු, ඔහු භූමදාන කළහ.
31ඉශ්‍රායෙල්වරු යෝෂුවාගේ ජීවිත කාලය පුරාත්, ඉශ්‍රායෙල් උදෙසා ස්වාමින්වහන්සේ කළ සියල්ල පිළිබඳ අත්දැකීම් ලද ඔහුට වඩා වැඩි කලක් ජීවත් වූ වැඩිහිටියන්ගේ කාලය පුරාත් ස්වාමින්වහන්සේට සේවය කළහ.
32ඉශ්‍රායෙල් ජනයා විසින් ඊජිප්තුවේ සිට ගෙනෙන ලද යෝසෙප්ගේ ඇටකටු, ෂෙකෙම්හි යාකොබ් විසින් ෂෙකෙම්ගේ පියා වූ හාමොර්ගේ පුතුන්ගෙන් රිදී කැබලි සියයකට මිල දී ගෙන තිබූ බිම් කැබැල්ලෙහි ඔවුහු භූමදාන කළහ. එබිම යෝසෙප්ගෙන් පැවත එන්නන්ගේ උරුමය බවට පත් විණි.
33තවද ආරොන්ගේ පුත් එලෙයාසර් ද මිය ගියේ ය; ඔවුහු ඔහු එප්‍රායිම් කඳු රටේ ගිබෙයාහි, එනම් ඔහුගේ පුත් පීනෙහාස්ට වෙන් කර දෙන ලද කොටසේ, භූමදාන කළහ.

Currently Selected:

යෝෂුවා 24: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in