YouVersion Logo
Search Icon

යෝෂුවා 14

14
බටහිරින් වූ දේශය බෙදීම
1උරුමය වශයෙන් ඉශ්‍රායෙල් ජනයාට කානාන් දේශය තුළ ලැබුණු පළාත් මේවා ය. ඔවුන්ට ඒවා බෙදා, උරුම කර දුන්නේ පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් යෝෂුවා හා ඉශ්‍රායෙල් ගෝත්‍රවල පෙළපත් ප්‍රධානීන් ද විසිනි. 2ඔවුන්ගේ උරුමය පස ඇට දැමීමෙනි. ගෝත්‍ර වංශ නවය හා ගෝත්‍ර වංශ අර්ධය සඳහා ස්වාමින්වහන්සේ මෝසෙස් මගින් අණ කර තිබූ පරිද්දෙනි. 3මන්ද ගෝත්‍ර දෙකට හා ගෝත්‍ර අර්ධයකට යොර්දානයට එපිටින් මෝසෙස් උරුමයක් දී තිබිණ. එහෙත් ඔහු ඔවුන් අතරේ ලෙවීවරුන්ට උරුමයක් ලබා දුන්නේ නැත. 4මන්ද යෝසෙප් පුත්‍රයින්, මනස්සේ හා එප්‍රායිම් වශයෙන් ගෝත්‍ර දෙකකි. ලෙවීවරුන්ට පංගු කොටසක් දෙනු ලැබුවේ නැත. එහෙත් ජීවත් වන්නට නගර ද ඔවුන්ගේ සත්ව සම්පත් සඳහා තණ බිම් ද පමණක් ඔවුන්ට ලැබිණි. 5මෙසේ ඉශ්‍රායෙල් ජනයා, ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කර තිබූ පරිදි කරමින්, දේශය බෙදූහ.
කාලෙබ්ගේ කොටස
6ඉන්පසු යූදා ජනයා යෝෂුවා වෙත ගිල්ගාල්ට ආහ. එවිට කෙනිස්සීය යෙෆුන්නෙගේ පුත් කාලෙබ් ඔහු අමතා, “කාදෙෂ්-බර්නේයහි දී දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ මෝසෙස්ට ඔබත්, මාත් පිළිබඳව ස්වාමින්වහන්සේ පැවසූ දෑ ඔබ දනී. 7දේශයේ ඔත්තු බලන පිණිස ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් කාදෙෂ්-බර්නේය සිට මා යැවූ කල, මම හතළිස් වියැති වීමි. මම ඔහු වෙත මගේ හදවතේ වූ වචනය ගෙනාවෙමි. 8එහෙත් මා සමඟ ගිය මගේ සහෝදරයෝ, ජනතාවගේ හදවත්, දියවී යන්නට සැලැස්වූහ. එසේ වුව ද, මම මගේ මුළු හෘදයෙන් ම මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අනුව ගියෙමි. 9එබැවින් ඒ දවසේ මෝසෙස් දිවුරා පැවසුවේ, ‘ඔබ, ඔබේ මුළු හෘදයෙන් ම මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අනුව ගිය බැවින්, ඔබ පා පය ගසන ලද දේශය සදහට ම ඔබේ ද ඔබේ දරු පරපුරේ ද උරුමය වනු ඇත’ කියා ය.
10“බලන්න! පාළුකරය ඔස්සේ ඉශ්‍රායෙල්, ගමන් කරමින් සිටියදී ස්වාමින්වහන්සේ මෝසෙස්ට එසේ කී කාලයේ සිට උන්වහන්සේ පොරොන්දු වූ පරිදි හතළිස්පස් වසරක් ම ජීවත් ව සිටින්නට මට සලසා ඇති වග ඔබට පෙනේ. එබැවින් මෙන්න, මම අද අසූපස් වැනි වියේ සිටිමි. 11මෝසෙස් මා පිටත් කර යැවූ දවසේ මෙන්, අද තවමත් මා ශක්තිමත් ය; යුද්ධයට යෑමට සහ ඊමටත් මගේ කාය බලය අදත් එදා වගේ ම ය. 12එබැවින් ස්වාමින්වහන්සේ ඒ දවසේ පැවසූ මේ කඳුරට දැන් මට දෙන්න. මන්ද මහ බළකොටු පුරවරවල අනාක්වරු සිටින හැටි ඔබටත් ඒ දවසේ ඇසුණි. එහෙත් ස්වාමින්වහන්සේ මා සමඟ වන සේක් නම්, උන්වහන්සේ පැවසූ පරිදි මම ඔවුන් පන්නා දමන්නෙමි” යි පැවසී ය.
13එවිට යෝෂුවා ඔහුට ආශිර්වාද කළේ ය. තවද ඔහු යෙෆුන්නෙගේ පුත් කාලෙබ්ට උරුමයක් වශයෙන් හෙබ්‍රොන් දුන්නේ ය. 14එබැවින් හෙබ්‍රොන්, අද දවස දක්වා කෙනිස්සීය යෙෆුන්නෙගේ පුත් කාලෙබ්ගේ උරුමයට පත් විය. මන්ද ඔහු මුළු හෘදයෙන් ම ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අනුව ගිය බැවිනි. 15හෙබ්‍රොන් නාමය පෙරදී කිර්යත්-අර්බා ය. මෙම අර්බා, අනාක්වරුන් අතරේ ශ්‍රේෂ්ඨතම මිනිසා විය.
ඉන්පසු දේශය යුද්ධයෙන් විශ්‍රාමය ලැබී ය.

Currently Selected:

යෝෂුවා 14: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in