YouVersion Logo
Search Icon

යෝබ් 36

36
1එලීහු තවදුරටත් කතා කරමින් මෙසේ පැවසී ය:
2“තවත් ටික වේලාවක් ඉවසා සිටින්න;
දෙවියන්වහන්සේ උදෙසා තවත් යමක් පවසන්නට ඇති බැවින්, මා ඒවා ඔබට පෙන්වා දෙන්නම්;
3මම මගේ දැනගැන්ම ඈත එපිටින් සපයා ගෙන,
මගේ මැවුම්කරුවාණන්ට ධර්මිෂ්ඨකම පවරන්නෙමි.
4මා පවසන වචන අසත්‍ය නො වන වග සැබෑ ය;
දැනගැන්මෙන් පරිපූර්ණ කෙනකු ඔබ හා සමඟ සිටී.
5“බලන්න! දෙවියන්වහන්සේ පරාක්‍රමවත් ය; එහෙත් උන්වහන්සේ මිනිසුන් සුළු කොට තකන්නේ නැත.
උන්වහන්සේ ප්‍රඥාවබෝධයෙන් බලවත් ය.
6උන්වහන්සේ දුෂ්ටයින් ජීවත් ව තබා නො ගන්න සේක;
එහෙත් පීඩිතයනට ඔවුන්ගේ අයිතීන් සලසා දෙන සේක.
7ධර්මිෂ්ඨයින් වෙතින් තම ඇස් ඉවතට නො ගන්නා උන්වහන්සේ,
රජුන් මෙන් සිහසුන් මත ඔවුන් හිඳුවා,
සදහට ම ඔවුන් උසස් කරන සේක.
8එහෙත් ඔවුහු යදමින් බඳිනු ලැබ,
පීඩාවේ රැහැනින් වෙළනු ලැබ සිටිත් නම්,
9ඔවුන් කර ඇති වරද, උඩඟුවෙන් යුතු ව ඔවුන් පව් කළ හැටි
උන්වහන්සේ, ඔවුන්ට ප්‍රකාශ කරන සේක.
10වරද හරිගස්සා ගැනීමට, ඔවුන්ගේ සවන් විවර කරන උන්වහන්සේ,
ඔවුන්ට තම අයුතුකම්වලින් හැරී, පසුතැවිලි වන්නට අණ කරන සේක.
11ඔවුහු ඊට සවන් දී, උන්වහන්සේට සේවය කරන්නෝ නම්,
තමන්ගේ ඉදිරි දවස් යස ඉසුරෙන් ගත කරන්නෝ ය;
සන්තෘෂ්ටියෙන් තම ජීවිත කාලය ගෙවන්නෝ ය.
12එහෙත් ඔවුහු සවන් නො දෙන්නෝ නම්,
කඩු මුවහතින් වැනසෙන්නෝ ය;
දැනගැන්ම හිඟකමින් මියැදෙන්නෝ ය.
13“හදවතින් දේව අභක්තිකයෝ නොරිස්සුම ගබඩා කර ගෙන සිටිති;
උන්වහන්සේ ඔවුන් බැඳ දැමුව ද, ඔවුහු උපකාර ඉල්ලා කන්නලව් නො කරති.
14ඔවුහු දේවාල සේවයේ පිරිමි වේශ්‍යාවන් අතර
යොවුන් වියේදී ම මියෙන්නෝ ය.
15එහෙත් උන්වහන්සේ පීඩා විඳින්නවුන් ඔවුන්ගේ පීඩාවෙන් මුදනා සේක.
ඔවුන්ගේ ආපදා අතරින් උන්වහන්සේ ඔවුනට කතා කරන සේක.
16“උන්වහන්සේ විපත්තිය වෙතින්,
සීමා-බාධක නැති පුළුල් තැනකට ඔබ මුදා ගෙන ගොස්,
අගනා භෝජන පුරවා ඔබේ මේසය අතුරන සේක.
17එහෙත් දැන් දුෂ්ටයින්ට නියමිත සම්පූර්ණ දඬුවම ඔබ පිට පැටවී ඇත;
විනිශ්චය හා දඬුවම විසින් ඔබ ග්‍රහණයට ගෙන ඇත.
18ධන සම්පතින් කිසිවකුත් ඔබ නො පොලඹවන ලෙසට පරෙස්සම් වන්න;
ලොකු අල්ලසකින් ඔබ ඉවත හරවන්නට ඉඩ නො දෙන්න.
19ඔබගේ ධනය හෝ ඔබගේ සියලු ප්‍රබල ක්‍රියාකාරකම්,
විපත්තියෙන් ඔබ ඈත්කර තැබීමට සමත් වේ ද?
20ජනයා තම නිවෙස්වලින් අතුරුදහන් වන
රාත්‍රියට ආශා නො වන්න.
21නපුරට නො හැරෙන්නට වග බලා ගන්න;
මන්ද පීඩාවට වඩා ඔබ එයට මනාප වග පෙනේ.
22“බලන්න! දෙවියන්වහන්සේ ස්වකීය බලයෙන් උත්කෘෂ්ට ව සිටින සේක;
උන්වහන්සේ හා සමාන ගුරුවරයා කවුරු ද?
23උන්වහන්සේගේ මාර්ග උන්වහන්සේට නියම කළේ කවුරුන් ද?
‘ඔබ වරදක් කර ඇතැ’ යි උන්වහන්සේට කිව හැක්කේ කවරකුට ද?
24මිනිසුන් විසින් ගීයෙන් පසසන ලද උන්වහන්සේගේ ක්‍රියා
ඉහළින් වර්ණනා කරන්නට මතක තබා ගන්න.
25මුළු මිනිස් වර්ගයා ඒවා දුටහ;
මිනිසුන් ඒ දෙස බලා සිටින්නේ, දුරින් හිඳගෙන ය.
26බලන්න! අපේ දැනගැනීමට හැකි තරමට වඩා දෙවියන්වහන්සේ මොන තරම් උතුම් ද!
උන්වහන්සේගේ අවුරුදු ගණන කොතෙක්දැයි සොයා දැනගත නො හැකි ය.
27“උන්වහන්සේ දිය බිංදු ඉහළට ඇදගෙන,
වැහි බිංදු ලෙසින් මී-දුම පෙරූ කල,
28වලාකුළුවලින් ඒවා වැගිරී,
මිනිසා පිට මහ වැසි වසින්නේ ය.
29උන්වහන්සේ වැහි වලාකුළු අතුරන්නේ කෙසේ ද,
ස්වකීය ආවරණයේ සිට ගිගුරුම් නගන්නේ කෙසේදැයි වටහා ගත හැක්කේ කවරකුට ද?
30බලන්න! උන්වහන්සේ මුහුදු පත්ල තෙක් ම එළියෙන් නහවමින්,
තමන් වටා විදුලිය විහිදන අයුරු.
31උන්වහන්සේ ජාතීන් ආණ්ඩු කරන්නේ ද
අධික ලෙසින් ආහාර සපයන්නේ ද එලෙසිනි;
32උන්වහන්සේ තම අත පුරා විදුලිය ගෙන,
ඉලක්කයට වදින්නට ඊට අණ කරන සේක.
33උන්වහන්සේගේ ගිගුරුම්, ළඟ එන කුණාටුව ගැන දැනුම් දෙයි;
එය ළඟ ළඟ එන වග ගවයින් පවා දැනගනී.

Currently Selected:

යෝබ් 36: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in