YouVersion Logo
Search Icon

යෝබ් 37

37
1“එතැනදී මගේ හද ගැහෙන්නට වී,
පිහිටි තැනින් ඉවත පනින්නට වෙයි.
2සවන් දෙන්න! උන්වහන්සේගේ කටහඬේ ගිගුරුමට,
උන්වහන්සේගේ මුවින් නික්ම එන ගර්ජනාවට සවන් දෙන්න.
3උන්වහන්සේ අහස යට හැම තැන තම විදුලිය මුදා හරින සේක්,
පොළෝ සීමා දක්වා ම ඒවා යවන සේක.
4ඉන්පසුව උන්වහන්සේගේ ගිගුරුම් හඬ පැමිණේ;
උන්වහන්සේ තම මහානුභා කටහඬින් ගර්ජනා කරන්නාහ.
උන්වහන්සේගේ කටහඬ දෝංකාර දෙන කල,
උන්වහන්සේ කිසිවක් නවතාලන්නේ නැත.
5දෙවියන්වහන්සේගේ කටහඬ පුදුමාකාර ව ගර්ජනා කරයි;
උන්වහන්සේ අපට තේරුම් ගැනීමට නො හැකි විශිෂ්ට දෑ සිදු කරන සේක.
6‘පොළොව පිට පතිත වනු’ යි හිම අමතා පවසන උන්වහන්සේ,
‘මහ වැහි ඇද හැලෙනු’ යි වර්ෂාවට පවසන සේක.
7උන්වහන්සේ මැවූ සියලු මිනිසුන් දැනගන්නා පිණිස,
උන්වහන්සේ හැම කෙනකුගේ ම දෑතේ වැඩ නවතන සේක.
8සතා සීපාවෝ ආවරණ ලැබ,
තම ගුහා තුළට වී සිටිති.
9චණ්ඩ මාරුතය තම මණ්ඩපයෙන් ද
ශීතලය හමා යන සුළඟින් ද නික්ම එන්නේ ය.
10දෙවියන්වහන්සේගේ හුස්මෙන් අයිස් සෑදෙයි;
පුළුල් ජලාශ මිදෙන්නට වෙයි.
11උන්වහන්සේ වලාකුළු තෙතමනයෙන් බර කරන සේක්;
තම විදිලි ධාරා ඒවා ඔස්සේ විහිදුවන සේක.
12ඒවා, උන්වහන්සේ අණ කරන කවරක් වුව ඉටු කරමින්,
මුළු පොළෝ තලයට ඉහළින් කැරකි කැරකී යන්නේ,
උන්වහන්සේගේ මෙහෙයවීමෙනි.
13මිනිසුනට දඬුවම් දීමට හෝ තම පොළෝ තලයට ජලය සැපයීමට හෝ
ස්වකීය ප්‍රේමය පෙන්වමින් උන්වහන්සේ වලා ගෙනෙන සේක.
14“එම්බා යෝබ්, මේ අහන්න; මදක් නැවතී,
දෙවියන්වහන්සේගේ ආශ්චර්යයන් කල්පනාවට ගන්න.
15දෙවියන්වහන්සේ වලාකුළු පාලනය කරන්නේ කෙසේ ද,
ස්වකීය විදිලිය සැණෙක විහිදුවා යවන්නේ කෙසේදැයි ඔබ දන්නවා ද?
16සර්ව ඥානයෙන් හෙබි තැනැන්වහන්සේගේ විස්මිත ක්‍රියා ලෙස
වලාකුළු ගුවනේ රැඳී සිටින්නේ කෙසේදැයි ඔබ දන්නවා ද?
17දකුණු දිග සුළඟට දේශය මැදි වූ කල,
හැඳිවත් උණුසුම් වන තැනැත්තෙනි,
18ලෝකඩයෙන් වාත්තු කළ කැඩපතක් සේ දැඩි ව
අහස අතුරන්නට උන්වහන්සේ සමඟ හවුල්වීමට ඔබට පුළුවන් ද?
19“උන්වහන්සේට අප කිය යුත්තේ මොනවාදැයි අපට කියා දෙන්න;
අප අන්ධකාරයේ බැවින් අපගේ කාරණය සූදානම් කිරීමට අපට නො හැකි ය.
20මා කතා කරන්නට එන වග උන්වහන්සේට දැනුම් දිය යුතු ද?
තමා ගිල දමන්නැයි යම් මිනිසකු ඉල්ලා සිටීවි ද?
21සුළඟ හමා, අහස පැහැදිලි වූ විට,
අහසේ දීප්තියෙන් බබළන ආලෝකය දෙස
කිසිවකුටත් බලන්නට බැරි ය.
22උතුරු දිග සිට උන්වහන්සේ ස්වර්ණමය ශෝභාලංකාරයෙන් යුතු ව එන සේක;
දෙවියන්වහන්සේ භයංකර මහානුභාවයෙන් යුතු ව එන සේක.
23සර්ව පරාක්‍රමයාණන් අපට ළඟා විය නො හැකි තරම් ඉහළ ය.
බලයෙන් උත්තරීතර ය. ස්වකීය යුක්තියෙන් හා විශිෂ්ට ධර්මිෂ්ඨකමින් උන්වහන්සේ පීඩා නො කරන සේක.
24එබැවින්, මනුෂ්‍යයෝ උන්වහන්සේට ගෞරව කරති;
තමන්ගේ ම මිම්මෙන් තමන් ප්‍රඥාවත් ය කියාගන්නවුන් උන්වහන්සේ නො සලකා හරින සේක.”

Currently Selected:

යෝබ් 37: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in