YouVersion Logo
Search Icon

යෝබ් 34

34
1එලීහු තවදුරටත් උත්තර දෙමින් මෙසේ පැවසී ය:
2“එම්බා ප්‍රඥාවන්ත මිනිසුනි, මගේ වචන අහන්න;
උගත් මිනිසුනි, මට සවන් දෙන්න.
3දිව, ආහාර රස බලන්නාක් මෙන්
කන, වචන පිරික්සා බලන්නේ ය.
4අපි යුක්ති සහගත දෑ තෝරා බේරාගෙන,
හොඳ දෑ අප අතරේ උගෙන ගනිමු.
5“යෝබ් පවසන්නේ, ‘මා නිර්දෝෂී නමුදු,
දෙවියන්වහන්සේ මට යුක්තිය අහිමි කරති;
6මා යුක්ති සහගත වුවත්,
බොරුකරුවෙකැයි මා හැඳින් වේ;
මා වරදින් තොර වුවත්,
මගේ තුවාලය සුව කළ නො හැකි ය’ කියා ය.
7අවඥාව වතුර මෙන් බී දමන
යෝබ් වගේ වෙන මනුෂ්‍යයෙක් සිටී ද?
8දුෂ්ටකම් කරන්නන් සමඟ ඇසුරු කරන
ඔහු නපුරන් සමඟ එක මග යන්නේ ය.
9මන්ද ඔහු පවසන්නේ, ‘දෙවියන්වහන්සේගේ ප්‍රසාදය ඇතුව සිටීමෙන්
මනුෂ්‍යයාට ඇති වන සෙතක් නැත’ කියා ය.
10“එබැවින් මට සවන් දෙන්න, වැටහීමෙන් යුතු මනුෂ්‍යයිනි,
දෙවියන්වහන්සේගෙන් නපුර කිරීමක් සිදු නො වේ!
සර්ව පරාක්‍රමයාණන්ගෙන් වැරදි කිරීමක් සිදු නො වේ.
11මිනිසකු විසින් කර ඇති දෑ අනුව ඔහුට ප්‍රතිවිපාක දෙන උන්වහන්සේ,
ඔහුගේ කල්ක්‍රියාවට උචිත විපාක පමුණු වන සේක.
12ඇත්ත නම්, දෙවියන්වහන්සේ කිසි සේත් දුෂ්ට ලෙස කටයුතු නො කරන වගයි;
සර්ව පරාක්‍රමයාණන් යුක්තිය නො පෙරළන වගයි.
13පොළොවේ ආධිපත්‍යය උන්වහන්සේට භාර දුන්නේ කවුරු ද?
මුළු ලෝකයේ භාරකාරත්වය උන්වහන්සේට පැවරුවේ කවුරු ද?
14ස්වකීය ආත්මය හා ස්වකීය හුස්ම ආපසු ගැනීමට
උන්වහන්සේ අදහස් කළහොත්,
15මුළු මිනිස් සංහතිය එකවිට ම විනාශයට පත් ව,
මිනිසා නැවත දූවිල්ලට හැරී යනු ඇත.
16“ඔබට වැටහීම ඇත්නම්, මේ අහන්න;
මා පවසන දෑට සවන් දෙන්න.
17යුක්තියට වෛර කරන්නකුට ආණ්ඩු කළ හැකි වේ ද?
යුක්තියේත්, පරාක්‍රමයේත් තැනැන්වහන්සේ වැරදියයි ඔබ තීන්දු කරනවා ද?
18රජවරුන් අමතා, ‘නුඹලා කමකට නැති අය ය’ කියා ද
උත්තමයන් අමතා, ‘නුඹලා දුෂ්ටයින් ය’ කියා ද පවසන්නේ උන්වහන්සේ නො වේ ද?
19අධිපතීන්ගේ තරාතිරම් නො සලකන උන්වහන්සේ,
දිළිඳාට වඩා ධනවතාට අනුග්‍රහය නො දක්වන සේක.
මන්ද ඒ සැවොම උන්වහන්සේගේ හස්ත කර්මාන්තය ය.
20මැදියම් රැයේ එක් සැණෙක ඔවුහු මැරී යති;
ජනයා කලඹවනු ලැබ, පහව යති;
මිනිස් අතක බලපෑමෙන් තොර ව බලවත්හු ඉවත් කරනු ලබති.
21“උන්වහන්සේගේ ඇස් මිනිසුන්ගේ මාර්ග දෙස යොමු ව ඇත;
ඔවුන්ගේ හැම පියවරක් ම උන්වහන්සේ දකින සේක.
22දුෂ්ටකම් කරන්නන්ට සැඟවී ගත හැකි අන්ධකාරයක්,
හෝ ඝන දුමාරයක් හෝ නැත.
23විනිශ්චය සඳහා මිනිසුන් උන්වහන්සේ ඉදිරියෙහි පෙනී සිටිය යුතු බැවින්,
ඔවුන් ගැන වැඩිදුර සොයා බැලීමක අවැසිතාවක් දෙවියන්වහන්සේට නැත.
24වග විභාගයකින් තොර ව උන්වහන්සේ බලවතුන් සුන් කර දමා,
ඔවුන්ගේ තැනට අන් අය පත් කරන සේක.
25ඔවුන්ගේ ක්‍රියා කලාපය ගැන දන්නා බැවින් උන්වහන්සේ රැයෙහි ඔවුන් බිඳ හෙළන සේක;
ඔවුහු තළා පොඩිකරනු ලබති.
26හැම දෙනාට ම පෙනෙන තැනකදී
උන්වහන්සේ ඔවුන්ගේ දුෂ්ටකම්වලට ඔවුනට දඬුවම් දෙන සේක.
27එසේ කරන්නේ, ඔවුන් උන්වහන්සේ අනුව යෑමෙන් ඉවත හැරී,
උන්වහන්සේගේ මාර්ග එකකුදු නො සැලකූ බැවිනි.
28දුගියන්ගේ අඳෝනාව උන්වහන්සේට ඇසෙන පිණිස,
ඔවුහු දුප්පතුන්ගේ අඳෝනාව උන්වහන්සේ වෙත නැගෙන්නට හේතු සැලසූහ.
29උන්වහන්සේ කිසිත් නො කර, නිහඬ ව සිටියත් උන්වහන්සේට වරදකරුයයි කිව හැක්කේ කවරකුට ද?
උන්වහන්සේ තම මුහුණ සඟවා ගනිතොත්, උන්වහන්සේ දැකිය හැක්කේ කවරකුට ද?
උන්වහන්සේ මිනිසාට ද ජාතියකට ද වඩා ඉහළින් සිටින්නේ,
30ජනයාට මලපත් අ‍ට වන
අභක්තික පාලකයකු පත්වීම වැළැක්වීමට ය.
31“ඇතැම් විට යමකු දෙවියන්වහන්සේ අමතමින්,
‘මම දඬුවම් වින්දෙමි; මින් මතු තවත් වැරදි නො කරමි.
32මට දැකිය නො හැකි දේ මට ඉගැන්නුව මැනව;
මම වැරදි කළෙම් නම් මම එය යළිත් නො කරන්නෙමි’ යි කීවොත්,
33ඔබ එය ප්‍රතික්ෂේප කළ විට
දෙවියන්වහන්සේ ඔබේ කොන්දේසි අනුව නුඹට ප්‍රතිවිපාක දිය යුතු ද?
තීරණ කළ යුත්තේ ඔබ ම ය; මා නො වේ;
ඔබ දන්නා දේ දැන් මට කියන්න.
34“දැන උගත් මිනිසුන් හා
මට සවන් දෙන ප්‍රඥාවතුන් මට පවසනු ඇත්තේ,
35‘යෝබ් කතා කරන්නේ දැනීමක් නැතිව ය;
ඔහු පවසන වචනවල හරයක් නැත’ කියා ය.
36අහෝ, දුෂ්ට මිනිසකු ලෙස උත්තර දෙන බැවින්,
යෝබ් සහමුලින් ම පරීක්ෂාවට ලක් කළ යුතු ව ඇත.
37තමාගේ පාපයට ඔහු කැරලිකාරකම ද එකතු කර ගනී.
අප අතරේ සිට සරදමට අත්පොඩි ගසමින්,
ඔහු දෙවියන්වහන්සේට විරුද්ධ ව ඔහුගේ වචන වැඩි කර ගනියි.”

Currently Selected:

යෝබ් 34: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in