YouVersion Logo
Search Icon

යෝබ් 33

33
1“දැන් මගේ වචන අසන්න, එම්බා යෝබ්,
මා පවසන හැම කියමනකට සවන් දෙන්න.
2මෙන්න, මම මගේ මුව විවර කරන්නෙමි;
මගේ වචන මගේ දිව අගට ම ඇවිදින්.
3මගේ වචන එන්නේ සෘජු හදකිනි;
මගේ තොල් මා දන්නා දේ අවංක ව පවසයි.
4දෙවියන්වහන්සේගේ ආත්මයාණෝ මා සෑදූ සේක;
සර්ව පරාක්‍රමයාණන්ගේ හුස්ම මට ජීවනය දුන් සේක.
5ඔබට හැකි නම් මට පිළිතුරු දෙන්න;
හොඳින් සූදානම් වී, මට මුහුණ දෙන්න.
6ඇත්තෙන් ම දෙවියන්වහන්සේ ඉදිරියෙහි මා ද ඔබ වගේ ම ය;
මම ද මැටි පිඩෙකින් ගනු ලැබූවෙක්මි.
7ඇත්තෙන් ම, මා ගැන භයින් ඔබ තැති ගත යුතු නැත;
මගේ අත ද ඔබ පිට බරක් විය යුතු නැත.
8“සැබවින් ම මා අසා සිටියදී ඔබ පැවසූ දෑ,
මට ඇසුණු ඔබගේ ම වචන නම්,
9‘මා පවිත්‍ර ය; පවින් තොර ය.
මා පිරිසිදු ය; මා අත වරදක් නැත.
10එහෙත් මෙන්න! දෙවියන්වහන්සේ මගේ නැති වරදක් සොයාගෙන,
මා සතුරකු සේ ගණන් අරගෙන.
11උන්වහන්සේ මගේ පාද විලංගු ලන සේක්;
මගේ හැම මාවතක් ම විමසිල්ලෙන් බලා සිටින සේක’ යනුයි.
12“දන්නවා ද! මා ඔබට කියන්නේ මෙතැනදී ඔබ වැරදිය කියායි;
දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට වඩා උත්තම ය.
13මනුෂ්‍යයාගේ කිසි වචනයකට උන්වහන්සේ උත්තර දෙන්නේ නැත කියමින්,
උන්වහන්සේට එරෙහිව ඔබ පැමිණිලි කරන්නේ මන්ද?
14මනුෂ්‍යයා තේරුම් ගන්නේ නැති වුව ද
දෙවියන්වහන්සේ එක් විදියකින් හෝ තවත් විදියකින් හෝ කතා කරන සේක.
15ස්වප්නයකින්, රාත්‍රියේ දර්ශනයකින්,
මිනිසුන් තම යහන් මත නිදා සිටියදී,
බර නින්දට වැටුණු කල,
16උන්වහන්සේ ඔවුන්ගේ කනට ළං ව කතා කර,
අනතුරු අඟවමින් ඔවුන් බය කරන්නේ,
17වැරදි කිරීමෙන් මිනිසා ඉවත හරවන පිණිස හා
උඩඟුවීම ඔහු වෙතින් පහ කරන පිණිස ය.
18ඔහුගේ ජීවය නරාවළෙන් සුරකිනු පිණිස ය;
ඔහුගේ ජීවිතය කඩුපතින් විනාශ නො කරන පිණිස ය.
19“නැතහොත්, ඔහුගේ ඇටකටුවල නිරන්තර පීඩාවක් සමඟ
විඳවීමේ යහනක් පිට මිනිසා හික්මවනු ලබන්නේ ය.
20එවිට, ඔහුගේ ගත-සිත ආහාර අප්‍රිය කරයි;
ඔහුගේ ජීවය රස බොජුන් පිළිකුල් කරයි.
21ඔහුගේ ගත-මාංසය දියවී, මුළුමනින් වැහැරී,
කලින් නො දිස් වූ ඇටකටු පෑදී පෙනෙන්නට වෙයි.
22ඔහුගේ ජීවය නරාවළට ළං වෙයි;
ඔහුගේ ජීවිතය මරණයේ පණිවුඩකරුවන්ට ළං වෙයි.
23එහෙත් තමාට හරි දේ කවරේදැයි මනුෂ්‍යයාට කියා දෙන්නට
මැදහත්කරුවකු වන
දේව දූතයින් දහසකගෙන් එක් කෙනකු ඔහු පසෙක සිට,
24ඔහුට දයාන්විත වී, ‘නරාවළට යෑමෙන් ඔහු මුදාලන්න;
ඔහු උදෙසා මිදීමේ මිලක් මට සම්භ වී යැ’ යි
දෙවියන්වහන්සේට කියන්නේ නම්,
25එවිට, ඔහුගේ මාංසය, දරුවකුගේ මෙන් අලුත් කෙරේ;
ඔහුගේ යෞවනයේ දවස්වලදී මෙන් ඔහු ප්‍රකෘතිමත් කෙරේ.
26ඔහු දෙවියන්වහන්සේට යාච්ඤා කර, උන්වහන්සේගේ කරුණාව ලබයි.
ඔහු දෙවියන්වහන්සේගේ මුහුණ දැක, ප්‍රීතියෙන් ජය ඝෝෂා නගයි.
ඔහුගේ ධර්මිෂ්ඨකමට දෙවියන්වහන්සේ යළි ඔහු පමුණු වන සේක.
27ඉන්පසු ඔහු සෙසු මිනිසුන් ඉදිරියට අවුත්,
‘මම පව් කළෙමි; යුක්තිය, අයුක්තියට පෙරළුවෙමි;
එහෙත් ඊට නිසි දඬුවම් නො ලදිමි.
28උන්වහන්සේ මගේ ජීවය නරාවළට යෑමෙන් මිදූ සේක;
මගේ ජීවිතය ආලෝකය භුක්ති විඳිනු ඇත.’
29“දන්නවා ද! දෙවියන්වහන්සේ දෙවතාවක්, තුන් වතාවක්
මිනිසකුට මේ සියල්ල කර දෙන්නේ,
30ජීවනයේ ආලෝකය ඔහු පිට බැබළෙන පිණිස,
ඔහුගේ ජීවය නරාවළෙන් ආපසු හරවන්නට ය.
31“එම්බා යෝබ්, අවධානය යොමා, මට සවන් දෙන්න;
නිහඬ ව සිටින්න; මම කතා කරන්නෙමි.
32යමක් කීමට ඔබට ඇත්නම් මට උත්තර දෙන්න;
කතා කරන්න; මන්ද මගේ ඕනෑකම ඔබ නිදොස් වනු දැකීමයි;
33එසේ නැති නම්, මට සවන් දෙන්න;
නිහඬ ව සිටින්න; මම ඔබට ප්‍රඥාව උගන්වන්නෙමි.”

Currently Selected:

යෝබ් 33: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in