යොහන් 21:3-9
යොහන් 21:3-9 SCV
සීමොන් පේතෘස් ඔවුන් අමතා, “මා මසුන් අල්ලන්නට යනවා” යි කීවේ ය. “අපත් ඔබ සමඟ එනවා” යි ඔවුහු ද ඔහුට කීහ. එබැවින් ඔවුහු පිටත් ව, ඔරුවක නැගුණහ. එහෙත්, ඒ රැයේ ඔවුන් ඇල්ලූ කිසිවක් නැත. දවස උදා වෙත් ම යේසුස්වහන්සේ වෙරළේ සිටි සේක. එහෙත් ඒ යේසුස්වහන්සේ වග ගෝලයින් හැඳින ගත්තේ නැත. යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දරුවනි, ඔබ ළඟ මසුන් තියෙනවා දැ?” යි ඇසූ සේක. “නැතැ” යි ඔවුහු පිළිතුරු දුන්හ. “ඔරුවේ දකුණු පැත්තෙන් දැල් දමන්න. එවිට හසු වේවි” යි උන්වහන්සේ ඔවුන්ට කී සේක. ඔවුහු එසේ දැල් හෙළූහ. එවිට දැල ඇදගන්නට බැරි තරමට මසුන් තොගයක් ම හසු විය. එවිට යේසුස්වහන්සේ ප්‍රේම කළ ගෝලයා පේතෘස්ට කතා කොට, “ඒ ස්වාමින්වහන්සේ යැ” යි කීවේ ය. ඒ ස්වාමින්වහන්සේ වග ඇසූ සීමොන් පේතෘස්, වැඩට ගලවා දමා තිබූ කබාය වහා හැඳ දියට පැන්නේ ය. අනෙක් ගෝලයෝ සිටියේ වෙරළට රියන් දෙසියයක් පමණ නුදුරින් බැවින්, මසුන්ගෙන් යුත් දැල ද ඇදගෙන ඔරුවෙන් ම ආහ. ගොඩට ආ කල, දැවෙමින් තිබූ අඟුරු මත මසුන් ද රොටි ද තිබෙනු ඔවුහු දුටුවහ.


![[Unboxing Psalm 23: Treasures for Every Believer] Paths of Righteousness යොහන් 21:3-9 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F35790%2F1440x810.jpg&w=3840&q=75)


