YouVersion Logo
Search Icon

යෙරමියා 5

5
පසුතැවීමට නො කැමැත්ත
1“යෙරුසලමේ වීදිවල සැරිසරන්න.
වටපිට බලා, සිතට ගන්න.
ඇගේ පොදු පිට්ටනිවල සොයා බලන්න.
යුක්තිය කරන, විශ්වසනීයත්වය සොයන
එක් මිනිසකු සොයා ගැනීමට ඔබට හැකි නම්,
මම මේ නගරයට කමා වන්නෙමි.
2ස්වාමින්වහන්සේ ජීවත් වන්නා සේ’ යැයි ඔවුහු පවසති.
එහෙත් ඔවුන් දිවුරන්නේ බොරුවට ය.”
3අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ඇස් විශ්වසනීයත්වය විමසන්නේ නැති ද?
ඔබ ඔවුන්ට පහර දුන් සේක. එහෙත් ඔවුන්ට වේදනාවක් නැත.
ඔබ ඔවුන් තලා දැමූ සේක. එහෙත් නිවැරදි වීම ඔවුහු ප්‍රතික්ෂේප කළහ.
ගල් පර්වතයකට වඩා තම මුහුණු දැඩි කර ගත් ඔවුහු
පසුතැවිලි වීම ප්‍රතික්ෂේප කළහ.
4එවිට මා කීවේ, “මොවුන් දුප්පතුන් පමණක් ය:
මොවුන්ට හරි දැනුමක් නැත.
මන්ද ස්වාමින්වහන්සේගේ මාර්ගය වන
තම දෙවියන්වහන්සේගේ යුක්තිය ඔවුන් දන්නේ නැත” කියා ය;
5“එබැවින් මම උසස් අය වෙත ගොසින්,
ඔවුන්ට කතා කරන්නෙමි.
මන්ද ඔවුහු ස්වාමින්වහන්සේගේ මාර්ගය
තම දෙවියන්වහන්සේගේ යුක්තිය දනිති” කියා ය.
එහෙත්, ඔවුන් ද එකාවන් ව වියගහ බිඳගෙන,
බැඳුම් කඩා ගෙන තිබිණ.
6එබැවින්, කැලයේ සිංහයෙක් ඔවුන් ගසා හෙළනු ඇත.
කාන්තාරයේ වෘකයෙක් ඔවුන් වනසා දමනු ඇත.
ඔවුන්ගේ නගර අසල දිවියෙක් රැක සිටියි.
ඉන් පිටතට යන කවරකු වුව කැබලි කර, ඉරා දමනු ලැබේ.
මන්ද ඔවුන්ගේ පව්කාරකම ඉමහත් ය.
ඔවුන්ගේ පසුබට ව යෑම් අති මහත් ය.
7“මා ඔබට කමා කරන්නේ කෙසේ ද?
ඔබේ දරුවෝ මා අතැර දමා,
දෙවි නො වන දෙවිවරුන් නමින් දිවුළෝ ය.
ඔවුන්ගේ අවැසිතා මුළුමනින් මම සැපිරීමි.
එහෙත් ඔවුහු පරදාර සේවනයේ යෙදෙමින්,
ගණිකා මඩම්වලට රැස්කෑහ.
8මනාව පෝෂ්‍ය වූ තෘෂ්ණාවෙන් පිරුණු අශ්වයින් වූ,
ඔවුහු හැමකෙක් ම තම අසල්වැසියාගේ බිරිඳට හේෂාරව කළහ.
9මේ දේවලට මම ඔවුන්ට දඬුවම් නො කරන්නෙම් දැ?” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
මෙබඳු ජාතියකින්
මම පළිනොගෙන සිටිම් ද?
10“ඇගේ මිදි වැල් පේළි දිගේ ගොස්, ඒවා විනාශ කරනු.
එහෙත් ඒවා මුළුමනින් නිම නො කරනු.
ඇගේ අතු රැහැ ඉවත දමනු.
මන්ද ඔවුන් ස්වාමින්වහන්සේට අයිති නැත.
11මන්ද ඉශ්‍රායෙල් වංශයත්, යූදා වංශයත්
මුළුමනින් ම මට ද්‍රෝහි වී ඇතැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
12ඔවුන් ස්වාමින්වහන්සේ ගැන මුසා පවසා ඇත.
ඔවුන් කියා ඇත්තේ, “උන්වහන්සේ කිසිවක් කරන්නේ නැත.
අපට කිසි ව්‍යසනයක් එන්නේ නැත.
අසිපත හෝ සාගතය අප දකින්නේ නැත.
13දිවැසිවරුන් සුළඟ බවට පත් වේ.
වචනය ඔවුන් තුළ නැත;
එබැවින් ඔවුන් පවසන දේ ඔවුන්ට සිදු වේවා” කියා ය.
14එබැවින් ස්වාමින්වහන්සේ, සේනාංකවල දෙවියන්වහන්සේ මෙසේ පවසන සේක:
“ඔවුන් මෙම වචනය පවසා ඇති බැවින්,
ඔන්න, මම මගේ වචනය, නුඹගේ මුඛයෙහි ගින්නක් ද
මේ ජනයා දර ද කරන්නෙමි; ගින්න ඔවුන් දවා දමනු ඇත.
15එම්බා ඉශ්‍රායෙල් වංශය, මෙන්න,
මම නුඹට එරෙහිව දුර බැහැර ජාතියක් ගෙනෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“එය නො නැසී පවතින ජාතියකි. එය ඉපැරණි ජාතියකි;
නුඹලා නො දන්නා භාෂාවක් කතා කරන ජාතියකි;
ඔවුන්ගේ කතාව නුඹලාට වැටහෙන්නේ ද නැත.
16ඔවුන්ගේ හී-කොපු, ඇරී තියෙන මිනී වළක් බඳු ය;
ඔවුන් සියල්ලෝ බලවත් රණකාමීහු ය.
17ඔවුන් නුඹේ අස්වනු හා නුඹේ ආහාර කා දමනු ඇත.
ඔවුන් නුඹේ පුතුන් හා නුඹේ දූවරුන් කා දමනු ඇත.
ඔවුන් නුඹේ එළු බැටළු රංචු හා නුඹේ ගව රංචු කා දමනු ඇත.
ඔවුන් නුඹේ මිදි වැල් හා නුඹේ අත්තික්කා ගස් කා දමනු ඇත.
නුඹ විශ්වාසය තැබූ නුඹේ බළකොටු පුරවර
ඔවුන් කඩුවෙන් යට කර දමනු ඇත.
18“එසේ වුව ද, එදවස්හි පවා මම සහමුලින් ම නුඹලා විනාශ නො කරන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 19“එකල ඔබගේ ජනයා, ‘අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපට මේ හැම දෙයක් කළේ මන්දැ?’ යි අසන කල, ඔබ ඔවුන්ට මෙසේ කිව යුතු ය. ‘නුඹලා, මා අතැර දමා, විදෙස් දෙවිවරුනට නුඹලාගේ දේශයේදී සේවය කළ සේ, දැන් නුඹලාත්, නුඹලාට අයිති නැති දේශයකදී විදෙස්සනට සේවය කරනුයි කියනු.’
20“යාකොබ් වංශයට මෙය නිවේදන කරන්න;
යූදාහි එය ප්‍රකාශ කරන්න:
21මේ අසනු! එම්බා අනුවණ, අනාවබෝධ ජනයිනි,
නුඹලාට ඇස් ඇත. නමුත්, පෙනෙන්නේ නැත.
නුඹලාට කන් ඇත. නමුත් ඇසෙන්නේ නැත.
22නුඹලා මට භය වන්නේ නැද්දැ?” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“නුඹලා මා ඉදිරියේ වෙවුලන්නේ නැද්ද?
මුහුදේ මායිම වශයෙන් මම වැල්ල තැබීමි.
එය, පසු කර යා නො හැකි සදාතනික කඩ ඉමකි.
රළ රැළි පෙරැළි පෙරැළී එනමුත්, ජය ගැනීමට නො හැකි ය.
ඒවා ඝෝෂා කරන මුත්, එය අභිබවන්නට බැරි ය.
23එහෙත් මේ ජනතාවට ඇත්තේ, මුරණ්ඩු, කැරලිකාරී හදවතෙකි.
ඔවුන් පසෙකට හැරී, ඉවත ගොසිනි.
24ඔවුන් තමන්ට ම මෙසේ කියා ගන්නේ නැත.
‘යලට, මහට, නිසි කලට වැසි වස්සන,
අස්වනු නෙළුමට නියමිත සති, අපට සලසා දෙන
අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ට අපි භය පක්ෂපාතී වෙමු.’
25නුඹලාගේ අයුතුකම් ඒවා ඉවත හරවා ඇත.
නුඹලාගේ පාප යහ දෑ නුඹලාගෙන් වළකා ඇත.
26“මන්ද මගේ ජනයා අතරේ දුෂ්ට මිනිසුන් හමු වී ඇත.
ඔවුහු කුරුලු දඩයම්කරුවන් මෙන් රැක සිටිති.
ඔවුහු උගුල් අටවති. ඔවුහු මිනිසුන් අල්ලා ගනිති.
27පක්ෂීන් පුරවන ලද කූඩු මෙන්,
ඔවුන්ගේ ගෙවල් ප්‍රයෝගයෙන් පිරී ඇත.
එයින් ඔවුහු පොහොසත් වී, බලවත් වී සිටිති.
28ඔවුහු තර ය; මටසිලුටු ය.
ඔවුන්ගේ දුෂ්ට ක්‍රියාවල සීමාව ඔවුන් දන්නේ නැත.
පියා නැති අනාථයින්ගේ නඩුවට,
සාර්ථක වීමට ඔවුහු සාධාරණත්වයෙන් විනිශ්චය නො කරති.
දුගී-දුප්පතුන්ගේ අයිතීන් ආරක්ෂා නො කරති.
29මේ දේවලට මම ඔවුන්ට දඬුවම් නො කරන්නෙම් දැ?” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“මෙබඳු ජාතියකින්
මම පළිනොගෙන සිටිම් ද?
30“සංත්‍රාසයේත්, තැතිගැන්මේත්
සිද්ධියක් දේශය තුළ සිදු වී ඇත:
31දිවැසිවරු බොරු දිවැසි වැකි පවසති.
පූජකවරු තමන්ගේ ම ආධිපත්‍යයෙන් ආණ්ඩු කරති.
මගේ ජනයා එයට ආලය කරති.
එහෙත් අවසානය පැමිණි කල ඔබ කුමක් කරන්නේ ද?

Currently Selected:

යෙරමියා 5: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for යෙරමියා 5