YouVersion Logo
Search Icon

යෙරමියා 4

4
1“එම්බා ඉශ්‍රායෙල්, නුඹ හැරී එන්නේ නම්,
නුඹ හැරී ආ යුත්තේ මා වෙතට යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“නුඹේ පිළිකුල් සහගත දෑ මගේ ඇස් හමුවෙන් නුඹ පහ කර දමන්නේ නම් හා
තවදුරටත් මුළාව නො යන්නේ නම්,
2සත්‍යවාදී ව, යුක්ති සහගත ව හා දමිටුකමින් යුතු ව
ස්වාමින්වහන්සේ ජීවමාන වග සැබෑ සේ ම’ යනුවෙන් ඔබ දිවුරන්නේ නම්,
උන්වහන්සේ මගින් ජාතීන් තමුන්ට ම ආශිර්වාද කර ගනු ඇත.
උන්වහන්සේ තුළෙහි ඔවුන් උදම්වනු ඇත.”
3මන්ද ස්වාමින්වහන්සේ යූදාහි හා යෙරුසලමෙහි මිනිසුන්ට, මෙසේ කියන සේක:
“නුඹලාගේ පුරන් වූ බිම කොටා,
වපුරන්න. කටු අතරේ නො වේ.
4 ස්වාමින්වහන්සේ උදෙසා ඔබ ම චර්මඡේද වන්න.
ඔබගේ හදවත්වල චර්මාග්‍රය පහ කරන්න.
එම්බා යූදාහි මිනිසුනි, යෙරුසලමෙහි ජනයිනි,
එසේ කර නොගතහොත්, ඔබගේ දුෂ්ට ක්‍රියා නිසා,
මගේ උදහස ගින්නක් සේ පිට ව ගොස්,
නිවාලන්නට කෙනකු නැති වන පරිදි දවා දමනු ඇත.
උතුරින් පැමිණෙන විපත්තිය
5“යූදාහි නිවේදන කරමින් හා යෙරුසලමේ ප්‍රකාශ කරමින් මෙසේ පවසන්න:
‘දේශය ඔස්සේ හොරණෑව හඬවන්න!’
මහ හඬින් කෑ ගසා මෙසේ පවසන්න:
‘එකට රැස්වෙමු.
අපි ආරක්ෂිත පුරවරවලට පලා යමු!’
6සියොන දෙසට සංඥාවක් ඔසවන්න!
ආරක්ෂාවට පලා යන්න! නැවතී නො සිටින්න!
මන්ද මම උතුරු දෙසින් ව්‍යසනය ද
මහ විනාශය ද ගෙනෙන්නෙමි.”
7සිංහයෙක් තම තිප්පොළෙන් පිටත් ව ගියේ ය.
ජාතීන්ගේ විනාශකයෙක් නික්ම ගියේ ය.
තමාගේ ස්ථානයෙන් ඔහු පිටත් ව ගියේ,
ඔබේ දේශය නැති නාස්ති කරන්නට ය.
පදිංචිකරුවෙක් නොමැතිව
ඔබේ නගර නටබුන් බවට පත් වන්නේ ය.
8එබැවින් ගෝණි රෙදි හැඳ,
ලතෝනි දී, විලාප නගන්න;
මන්ද ස්වාමින්වහන්සේගේ රුදුරු කෝපය
අප වෙතින් ඉවත හැරී නැත.
9“ඒ දවසේ රජුගේ ද නිලධාරීන්ගේ ද දිරිය සිඳී යන්නේ ය.
පූජකයෝ තැති ගන්නෝ ය.
දිවැසිවරු අරුමයට පත් වන්නෝ යැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
10එවිට මම, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, කඩුව අපේ ගෙලට ම තද වී තිබියදී, ‘නුඹලාට සාමය ඇති වන්නේ ය’ කියමින් ඔබවහන්සේ මේ ජනයාත්, යෙරුසලමත් මුළුමනින් ම රැවටූ සේකැ” යි කීවෙමි.
11එකල්හි දී මෙම ජනයාටත්, යෙරුසලමටත් මෙසේ කියනු ලැබේ: “කාන්තාරයේ මුඩු කඳු වෙතින් දැඩි පීඩාකාරී සුළඟක් මගේ ජනයා වන දියණිය දෙසට හමයි. එහෙත් ඒ පොළන්නට හෝ සුද්ද කරන්නට හෝ නො වේ. 12ඊට වඩා තද සුළඟක් මා උදෙසා එන්නේ ය. දැන්, ඔවුනට එරෙහිව මගේ තීන්දුව මම ප්‍රකාශයට පත් කරමි.”
13අන්න! ඔහු වලාකුළු මෙන් පෙරට ඇදෙයි.
ඔහුගේ යුද්ධ රථ, සුළි සුළඟක් වැන්න.
ඔහුගේ අශ්වයින් රාජාලීන්ට වඩා වේගවත් ය.
අපට වන විපතක මහත! අපි විනාශයි!
14අහෝ යෙරුසලම, නුඹ ගලවනු ලබන පිණිස නුඹේ හදෙහි දුෂ්ටකම සෝදා හරින්න.
තව කොතෙක් කල් නුඹේ හදෙහි දුෂ්ට සිතුවිලි රඳා සිටී ද?
15මන්ද කටහඬක් දාන්හි සිට නිවේදන කෙරේ.
එප්‍රායිම් කඳුකරයේ සිට විපත්තිය ප්‍රකාශ කෙරේ.
16“ඔහු පැමිණෙන බවට ජාතීන්ට අනතුරු අඟවන්න.
මෙන්න, යෙරුසලමට එරෙහිව මෙය ප්‍රකාශ කරන්න:
‘නගර වටලන්නෝ ඈත දේශයකින් පැමිණේ.
යූදාහි පුරවරවලට එරෙහිව ඔවුහු කෑ මොර දෙති.
17කෙතක් රැකවල් කරන්නන් පරිදි ඇයට එරෙහිව ඔවුහු ඇය වටලා සිටිති.
මන්ද ඇය මට එරෙහිව කැරලි ගැසූ බැවිනි’ ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
18“නුඹේ ම ගති පැවතුම් හා ක්‍රියා කලාපය
මෙය නුඹ පිටට ගෙනාවේ ය.
මේ නුඹේ ඛේදවාචකයයි.
එය එතරම් දරුණු ය!
එය නුඹේ හදවතට ම කා-වැදී ඇත.”
19අහෝ මගේ සන්තාපය, මගේ සන්තාපය!
මම වේදනාවෙන් ඇඹරෙමි!
අහෝ මගේ හදවතේ සන්තාපය!
මගේ හදවත වේගයෙන් ස්පන්දනය වෙයි.
මට නිහඬ ව සිටිය නො හැක.
මන්ද යුද්ධයට අනතුරු ඇඟවීමේ
හොරණෑ නාදය මට ඇසේ.
20විනාශය පිට විනාශයකි;
මුළු මහත් දේශය ම නාස්තියට හැර තිබේ.
එක් සැණෙකින් මගේ කූඩාරම් වනසා දැමිණ.
මගේ ආවරණ එක් මොහොතකිනි.
21තව කොතෙක් කල් මා යුද්ධ ධජ දැකිය යුතු ද?
හොරණෑ නාද ඇසිය යුතු ද?
22“මන්ද මගේ ජනයා අනුවණයෝ ය.
ඔවුන් මා හඳුනන්නේ නැත.
ඔවුහු අඥාන දරුවෝ ය.
ඔවුනට වැටහීමක් නැත.
නපුර කරන්නට ඔවුහු රුසියෝ ය.
යහපත කරන්නේ කෙසේදැයි ඔවුහු නො දනිති.”
23මම පොළොව මතු පිට බැලුවෙමි.
මෙන්න! එය අරූපී ව, ශූන්‍ය ව තිබිණි.
අහස් තල දෙස බැලීමි.
ඒවායේ එළියක් නො විණි.
24මම කඳු මත බැලුවෙමි.
ඔන්න! ඒවා සැලෙමින් තිබිණි.
තවද සියලු හෙල් එහෙ මෙහෙ වැනෙමින් තිබිණි.
25මම බැලුවෙමි, මෙන්න! කිසි මිනිසකු එහි නො වී ය.
අහසේ හැම පක්ෂියකු ද ඉවත ඉගිළී ගොසිනි.
26මම බැලුවෙමි. එවිට මෙන්න! ස්වාමින්වහන්සේ ඉදිරියෙහි, උන්වහන්සේගේ රුදුරු කෝපය ඉදිරියෙහි,
පලබර දේශය කාන්තාරයක් ව තිබිණ.
එහි නගර සියල්ල නටබුන් වී තිබිණ.
27 ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“මුළු මහත් දේශය ම පාළුවට යැවේ.
එසේ වුව ද, මම එය සහමුලින් ම නිම නො කරන්නෙමි.
28මෙනිසා පොළොව ශෝක වනු ඇත.
ඉහළ අහස් කළුවර වනු ඇත.
මන්ද මම පැවසුවෙමි, මම අරමුණු කළෙමි.
මම තීරණය වෙනස් නො කරන්නෙමි. ආපසු නො හැරෙන්නෙමි.”
29අසරුවන්ගේ හා දුනුවායින්ගේ හඬට
හැම නගරයක් ම පලා දුවති.
ඔවුහු වන-ලැහැබ් තුළට යති;
පර්වත අතරට නගිති.
සියලු නගර අතහැර දැමේ.
කිසිවෙක් හෝ ඒවායේ නො වසති.
30එම්බා පාළු කර දමනු ලැබූ තැනැත්තිය,
නුඹ තද රත් පැහැයෙන් සැරසෙමින්,
නුඹේ රන් අබරණ පැලඳගන්නේ කුමට ද?
නුඹේ ඇස් පාට තවරා ලොකු කර ගන්නේ මොන අදහසින් ද?
නුඹ හැඩවැඩ වන්නේ නිෂ්ඵල ව ය.
නුඹේ පෙම්වත්හු නුඹට ගර්හා කරති.
නුඹේ දිවි තොර කරන්නට සොයති.
31මන්ද ප්‍රසව වේදනාවෙන් යුතු ස්ත්‍රියකගේ හැඬීම බඳු හඬක්,
තම කුලුඳුල් දරුවා බිහිකරන්නියකගේ කෙඳිරිය බඳු හඬක්
සියොන් දියණිය හුස්ම ගැනීමට ආයාස දරමින්,
තම දෑත් විදහා,
“අහෝ මට වූ විපත්තිය!
මගේ ජීවිතය මිනී මරුවන් අතේ යැ” යි කියනු මට ඇසේ.

Currently Selected:

යෙරමියා 4: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for යෙරමියා 4