YouVersion Logo
Search Icon

යෙරමියා 47

47
පිලිස්තිවරුන්ට එරෙහිව
1පාරාවෝ, ගාසා පුරයට ගසා හෙළීමට පෙර, පිලිස්තිවරුන් පිළිබඳව දිවැසිවර යෙරමියා වෙත පැමිණි ස්වාමින්වහන්සේගේ වචනයයි:
2 ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි:
“මෙන්න, උතුරේ සිට ජලය නැගෙයි.
එය උතුරා යන ජල ප්‍රවාහයක් බවට පත් වෙයි.
එය දේශයට ඉහළින් ද එහි ඇති සියල්ල වන
පුරවරය හා ඒවායේ වෙසෙන්නන්ට ඉහළින් ද ගලා යයි.
ජනයා කෑ මොර දෙන්නෝ ය.
දේශයේ වෙසෙන සියල්ලෝ විලාප නගන්නෝ ය.
3ඔහුගේ අසුන්ගේ කුර ගැටෙන ශබ්දයෙන්,
සතුරු යුද රථ දිවෙන ශබ්දය සහ
ඒවායේ රෝදවල නාදය නිසා
පියවරු තම දරුවන් දෙස ආපසු නො හැරෙති.
ඔවුන්ගේ අත් එතරම් බෙලහීන ව ගොසිනි.
4මන්ද සියලු පිලිස්තිවරුන් විනාශ කිරීමටත්,
තීර් හා සීදොන්ට උපකාර කළ හැකි සියලු ඉතිරි ව සිටින්නන් සිඳ දමනු ලැබීමටත් නිසි දවස පැමිණේ.
මන්ද කෆ්තොර්හි#47:4 කෆ්තොර්හි එනම් ක්‍රීට් දූපත විය හැක. මුහුදුබඩ ඉතිරි ස්වල්ප පිරිස වන
පිලිස්තිවරුන් විනාශ කිරීමට ස්වාමින්වහන්සේ සූදානම් ය.
5ගාසා පිට හිස මුඩුවීම පැමිණේ.
අෂ්කෙලොන් වනසා දැමේ.
එම්බා තැනිතලාවේ ඉතිරි ස්වල්ප ජනයිනි,
තව කොපමණ කල් නුඹලා තමන් ම කපා ගන්නවා ද?
6“ ‘අහෝ ස්වාමින්වහන්සේගේ කඩුපත!
නුඹ විශ්‍රාම ගන්නට තව කොපමණ කල් යා ද?
නුඹේ කොපුවට ආපසු ඇතුළු ව,
විවේක ගෙන, සන්සුන් වනු!’
7එහෙත් එය, කෙසේ විශ්‍රාම ගන්න ද?
ස්වාමින්වහන්සේ ඊට අණ දී තිබියදී;
අෂ්කෙලොන්ටත්, මුහුදුකරයටත් පහර දීමට
උන්වහන්සේ ඊට නියෝග කර ඇත.”

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in