YouVersion Logo
Search Icon

යෙරමියා 17

17
1“යූදාගේ පාපය, යකඩ පන්හිඳකින් ලියා තිබේ.
එය ඔවුන්ගේ හදවත් පුවරුවල ද
ඔවුන්ගේ පූජාසන අංවල ද
දියමන්ති තුඩෙකින් කොටා තිබේ.
2අතු විහිදුණු ගස් පසෙක හා උස් කඳු මත
ඔවුන්ගේ පුදසුන් හා
අෂේරා සැමරුම් කණු,
ඔවුන්ගේ දරුවෝ පවා සිහි කරති.
3විවෘත පළාතේ ඇති මගේ කන්ද ද
නුඹලාගේ වස්තුව හා නුඹලාගේ සියලු ධනය ද
නුඹලාගේ උස් පුදසුන් සමඟින්
කොල්ලයක් වන්නට මම සලස්සමි.
එසේ කරන්නේ, රට පුරා නුඹලාගේ පාපය නිසා ය.
4මම නුඹලාට දුන් උරුමය
නුඹලාගේ ම වැරදි මගින් නුඹලා නැති කර ගනු ඇත.
නුඹලා නො දන්නා දේශයකදී
නුඹලාගේ සතුරන්ට මෙහෙ කරන්නට මම නුඹලාට සලසමි.
මන්ද නුඹලා ඇවිස්සූ මගේ කෝපයෙන් ගින්නක් ඇවිළ,
සදහට ම දැවෙමින් පවතිනු ඇත.”
5 ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“මිනිසා තුළ විශ්වාසය තබන,
මාංසය තුළ තම ශක්තිය රඳන,
ස්වාමින්වහන්සේ වෙතින් හද ඉවතට හරවන මිනිසාට ශාප වේ.
6ඔහු පාළුකරයේ පඳුරක් වැන්න;
සෞභාග්‍ය එන කල, ඔහු එය දකින්නේ නැත.
කාන්තාරයේ වියළී, කරවී, ගිය තැන්හි,
කිසිවකුත් වාසය නො කරන ලුණු බිම් පෙදෙසක ඔහු වාසය කරනු ඇත.
7“ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන,
ස්වාමින්වහන්සේ තමාගේ විශ්වාසය කර ගත් මිනිසා භාග්‍යවත් ය.
8ඔහු දිය අද්දර ඉන්දවන ලද
දිය දහරකට මුල් විහිදූ ගසක් වැන්න.
ග්‍රීස්මය පැමිණිය ද එය බිය නො වේ.
මන්ද එහි කොළ-ඉති හැමදාමත් කොළ පැහැති ය.
නියං වසරකදී වුව තැවුලක් නැති එය,
පල දැරීමෙන් කිසි දිනක නවතින්නේ නැත.”
9හදවත සියල්ලට ම වඩා රැවටිලිකාරී ය.
බලාපොරොත්තු සුන් වූ තරමට රෝගී ය.
එය වටහා ගත හැක්කේ කවරකුට ද?
10 ස්වාමින්වහන්සේ වන මම හදවත සෝදිසි කරමි,
මනස පරීක්ෂා කරමි.
ඒ, එක් එක් කෙනාට ඔහුගේ හැසිරීමට අනුව ප්‍රතිවිපාක දෙන පිණිස ය.
ඒ එක් එක් කෙනාගේ ක්‍රියාවල පලවලට සුදුසු ප්‍රතිවිපාක දෙන පිණිස ය.
11යුක්තියෙන් බැහැර ව ධනය රැස් කරන්නා,
තමන් බිජු නො රැක්ක, පැටවුන් එකට එකතු කරන ඇටි-කිකිළියක වැන්න;
ඔහුගේ මැදියම් වයසේදී ඒවා ඔහු හැර යනු ඇත.
ඔහුගේ අවසානයේදී ඔහු මෝඩයකු වෙයි.
12පටන් ගැන්මේ ඉහළින් පිහිටූ තේජාන්විත සිංහාසනය,
අපගේ ශුද්ධස්ථානයයි.
13අහෝ ස්වාමින්වහන්ස, ඉශ්‍රායෙල්ගේ බලාපොරොත්තුවෙනි,
ඔබවහන්සේ අත්හරින සියල්ලෝ නින්දාවට පත් කරනු ලබති.
ඔබ වෙතින් ඉවත හැරී යන්නෝ පොළෝ මත ලියැවෙති.
මන්ද ඔවුන් නව ජීවන දිය උල්පත වන
ස්වාමින්වහන්සේ අත්හැර දැමූ බැවිනි.
14මා සුව කළ මැනව, අහෝ ස්වාමින්වහන්ස,
එවිට මා සුවවනු ඇත. මා ගැලෙවුව මැනව, එවිට මා ගැලවෙනු ඇත.
මන්ද මා ප්‍රශංසා කරන්නේ ඔබවහන්සේට ය.
15බලන්න! ඔවුහු මා අමතමින්, “කෝ!
ස්වාමින්වහන්සේගේ වචනය කොහේ ද?
දැන් එය ඉෂ්ට වුණා වේ!” යි කියති.
16ඔබගේ එඬේරකු ව සිටීමේ කාරියෙන් මම පැන නො දිව්වෙමි.
ඛේදජනක දවස ගැන ද මම ආශාවෙන් බලා නො සිටියෙමි.
මගේ දෙතොලතරින් පිට වූ දෑ ගැන ඔබ දන්නා සේක. ඒවා ඔබ ඉදිරියෙහි ය.
17ඔබවහන්සේ මට භීතියක් නො වුව මැනවි.
විපත්ති දවසේ මගේ සරණය ඔබ ම ය.
18මගේ පීඩකයින් ලජ්ජාවට පමුණුවනු ලැබේවා.
එහෙත් මා ලජ්ජාවට නො පැමිණෙවුව මැනවි.
ඔවුහු මහත් භයට පැමිණෙත්වා.
එහෙත් මා භයට නොපැමිණවුව මැනවි.
ඔවුන් පිට විපත්ති දවස ගෙනෙනු මැනවි.
දෙගුණ විනාශයකින් ඔවුන් විනාශ කළ මැනවි.
සබත ශුද්ධ ව පැවැත්වීම
19 ස්වාමින්වහන්සේ මට මෙසේ කී සේක: “ජනතා දොරටුව වෙත ගොස් සිටගන්න; යූදාහි රජුන් ඇතුළට එන, පිටතට යන දොරටුව සහ යෙරුසලමේ අනෙකුත් දොරටු ළඟදී 20ඔවුන්ට මෙසේ කියන්න: ‘මෙම දොරටු තුළින් ඇතුළු වන එම්බා යූදාහි රජ්ජුරුවනි, යූදා වාසී සියල්ලෙනි, යෙරුසලමේ වෙසෙන සෙසු සියල්ලෙනි, ස්වාමින්වහන්සේගේ වචනය අසන්න. 21ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: නුඹලාගේ ජීවිත ගැන සලකා, සබත් දවසේ කිසි බරක් උසුලාගෙන නො යන්නට හෝ යෙරුසලම් දොරටු තුළින් ඒවා නො ගෙනෙන්නට වග බලා ගත යුතු ය. 22සබත් දවසේ ඔබගේ නිවෙස්වලින් කිසි බරක් පිටතට ගෙන යෑමත්, කිසි වැඩක් කිරීමත් නො කළ යුතු ය. එහෙත් සබත් දවස ශුද්ධ ව පැවැත් විය යුත්තේ, ඔබගේ පියවරුනට මා අණ කළ පරිද්දෙනි. 23එහෙත් ඔවුන් සවන් දුන්නේවත්, සවන් යොමු කළේවත් නැත. තද මුරණ්ඩුකමින් යුතු වූ ඔවුන් සවන් දුන්නේ නැත. හික්මවීම පිළිගත්තේ නැත. 24ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: එහෙත් නුඹලා මට සවන් දී සබත් දවසේ නගර දොරටු තුළින් කිසි බරක් ගෙන නෑවිත්, එදින කිසි වැඩක් නො කරමින්, සබත් දවස ශුද්ධ ව පැවැත්වුවහොත්, 25දාවිත්ගේ සිහසුනේ හිඳ ගන්නා රජුන් සහ අධිපතීන් ද ඔවුන්ගේ නිලධාරීන් ද අශ්ව-රථ හා අශ්වයින් පිට නැගී, මේ නගර දොරටු තුළින් පැමිණෙනු ඇත. ඔවුන් ද යූදාහි ජනයා ද යෙරුසලමෙහි වාසය කරන්නවුන් ද කැටිව එනු ඇත. මෙම නගරය සදහට ම ජනාවාස වනු ඇත. 26යූදාහි පුරවරවලින් හා යෙරුසලම අවට ගම්වලින්, බෙන්යමින් පළාත්වලින් හා බටහිර කඳු බෑවුම්වලින් ද කඳුකරයෙන් හා නෙගෙබ්වලින්#17:26 නෙගෙබ්වලින් එනම් දකුණු දිශාව ද ජනයා ස්වාමින්වහන්සේගේ ගෘහය වෙත දවන යාග පූජා ද පුද පූජා ද ධාන්‍ය පූජා ද සුවඳ දුම් ද්‍රව්‍ය ද ස්තුති පූජා ද ගෙන එන්නාහ. 27එහෙත් සබත් දවස ශුද්ධ ව ගත කිරීමට නුඹ මට සවන් නුදුන්නහොත්, සබතේ යෙරුසලම් දොරටු තුළින් යම් බරක් උසුලාගෙන ගියහොත් මම යෙරුසලම් දොරටු ඇතුළත ගින්නක් අවුළු වන්නෙමි. එයින් ඇගේ බළකොටු දැවී යනු ඇත. එය නිවී යන්නේ නැත.’ ”

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in