යෙරමියා 13
13
හණ පටිය
1 ස්වාමින්වහන්සේ මට මෙසේ කී සේක: “ගොස්, හණ ඉණ කඩක් මිලට ගෙන, ඔබේ ඉඟ වටා බැඳ ගන්න. එහෙත් එය වතුරේ නො ගිල්වන්න.” 2එබැවින් ස්වාමින්වහන්සේගේ වචනය පරිදි මම ඉණ කඩක් මිලට ගෙන, මගේ ඉඟ වටා බැඳ ගතිමි.
3එකල ස්වාමින්වහන්සේගේ වචනය දෙවන වරටත් මා වෙත පැමිණ, 4“ඔබ මිලට ගත්, ඔබේ ඉඟ වටා ඇති ඉණ කඩ ගෙන, නැගිට, පෙරාත්#13:4 පෙරාත් හෙබ්‍රෙව් බසින් යුප්‍රටීස් යන ශබ්දයට සමාන ය. 5-7 යන පදවල ද එසේ ම ය. වෙත ගොස්, එහි පර්වත කුහරයක එය සඟවන්නැ” යි කී සේක. 5එබැවින් මම පෙරාත් වෙත ගොස්, ස්වාමින්වහන්සේ මට පැවසූ පරිදි එය සැඟවූවෙමි.
6බොහෝ දිනකට පසු ස්වාමින්වහන්සේ මා ඇමතූ සේක්, “දැන් නැගිට, පෙරාත් වෙත ගොස්, එහි සඟවන්නැයි මා ඔබට අණ කළ ඉණ කඩ එතැනින් ගන්නැ” යි කී සේක. 7එබැවින් මම පෙරාත් වෙත ගොස්, හාරා, මා එය සඟවා තිබූ තැනින් ඉණ කඩ ගතිමි. අපොයි! එය විනාශ වෙලා; වැඩකට ගන්න බැරි විදියට.
8එවිට ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය: 9“ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘මේ අයුරින් මම යූදාහි මානය ද යෙරුසලමෙහි අධි-මානය ද නාස්ති කර දමන්නෙමි. 10මගේ වචනවලට සවන් දීම ප්‍රතික්ෂේප කළ, තම හදවත්හි මුරණ්ඩුකම අනුව හැසුරුනු, අන් දෙවිවරුන්ට මෙහෙ කිරීමට හා නමස්කාර කිරීමට ඔවුන් පසු පස ගිය මේ දුෂ්ට ජනයා මුළුමනින් ම වැඩකට නැති මේ ඉණ කඩ මෙන් වන්නේ ය. 11මන්ද ඉණ කඩක් මිනිසකුගේ ඉඟට බැඳෙන්නා සේ, මම මුළු මහත් ඉශ්රායෙල් වංශය ද යූදා වංශය ද මට බැඳ ගතිමි’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ‘එසේ කළේ ඔවුන් මට ජනතාවක් ද නාමයක් ද ප්‍රශංසාව ද ගෞරවය ද වන පිණිස ය; එහෙත් ඔවුන් ඇහුම්කන් දුන්නේ නැත.’
මිදි යුෂ බඳුන්
12“මෙම වචනය ඔබ ඔවුන්ට පැවසිය යුතු ය: ‘හැම මිදි යුෂ බඳුනක් ම මිදි යුෂවලින් පිරවිය යුතු යැ’ යි ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කියන සේක. එවිට ඔවුන්, ‘හැම මිදි යුෂ බඳුනක් ම සැබවින් ම මිදි යුෂවලින් පිරවිය යුතු වග අප දන්නේ නැති දැ?’ යි අසනු ඇත. 13එවිට ඔවුන්ට මෙසේ කිය යුතු ය: ‘ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මෙන්න, මේ දේශයේ වෙසෙන සියල්ලන් එනම් දාවිත්ගේ සිහසුන මත හිඳින රජුන් ද පූජකයින් ද දිවැසිවරුන් හා යෙරුසලමෙහි වාසය කරන සියලු දෙනා මම වෙරි-මතින් පුරවන්නෙමි. 14පියවරුන් හා පුතුන් ද ඇතුළු ව මම ඔවුන් එකකු අනෙකා හා එකට ගසා බිඳු වන්නෙමියි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ඔවුන් විනාශ කිරීමෙන් මා වළක්වන සේ දයාව හෝ කරුණාව හෝ අනුකම්පාව හෝ මතුවන්නට මම ඉඩ නො දෙන්නෙමි.’ ”
උඩඟුව ගැන තර්ජනයක්
15අහන්න; සවන් දෙන්න;
උඩඟු නො වන්න;
මන්ද ස්වාමින්වහන්සේ කතා කළ සේක.
16උන්වහන්සේ අන්ධකාරය ගෙනෙන්නට පළමු ව,
ගොම්මනේ කඳු මත ඔබේ පාද පැකිළෙන්නට පළමු ව,
ඔබේ දෙවියන්වහන්සේ වන
ස්වාමින්වහන්සේට ගෞරව දෙන්න.
ඔබ ආලෝකය බලා සිටින අතරේ,
උන්වහන්සේ එය ඝන අන්ධකාරයකට ද
දැඩි අඳුරකට ද හරවන සේක.
17එහෙත්, ඔබ සවන් නො දේ නම්,
ඔබගේ අහංකාරය නිසා,
මම රහසේ වැලපෙන්නෙමි.
කඳුළු ගලා යවමින්,
මගේ නෙත් තදින් වැලපෙනු ඇත.
මන්ද ස්වාමින්වහන්සේගේ බැටළු රංචුව වාලට ගෙන යනු ලබති.
18රජ්ජුරුවන්ටත්, මවු රැජිනටත් මෙසේ පවසන්න:
“ඔබගේ සිහසුන්වලින් පහළට බහින්න.
මන්ද ඔබගේ ශෝබමාන කිරුළු
ඔබේ හිසින් ගිලිහී වැටී ඇත.”
19ඒවා විවර කරන්නට කිසිවකු නැතිව
නෙගෙබ්හි#13:19 නෙගෙබ්හි එනම් දකුණු දිශාව පුරවර වසා දමනු ලැබේ.
යූදාහි සියල්ලෝ, පිටුවහල් කොට ගෙන යනු ලබති.
මුළුමනින් ම පිටුවහල් කොට ගෙන යනු ලබති.
20උතුරේ සිට එන්නන් දෙස
ඔබගේ ඇස් ඔසවා, බලන්න.
ඔබට බාර දුන් බැටළු රංචුව,
ඔබගේ අලංකාර බැටළුවෝ කොහේ ද?
21ඔබගේ මිත්රයින් වන පිණිස ඔබ පුහුණු කළවුන්
ඔබට ඉහළින් පත් කරනු ලැබූ කල, ඔබ කුමක් කියන්නේ ද?
කාන්තාවකට ප්‍රසව වේදනාව වැනි
වේදනාවකට ඔබ හසු නො වන්නේ ද?
22“මේ දේවල් මා පිට පැමිණියේ මන්දැ?” යි
ඔබ ඔබේ හදවතින් අසාගන්නේ නම්,
ඔබේ යට ඇඳුම ඔසවනු ලද්දේත්,
බලාත්කාරකමට ඔබ යට කරන ලද්දේත්,
අධිකතර වූ ඔබේ පාප නිසා ය.
23කූෂ් ජාතිකයකුට ඔහුගේ හමේ පාටවත්,
දිවියකුට උගේ පුල්ලිවත් වෙනස් කර ගත හැකි ද?
හැකි නම්, දුෂ්ටකමට ඇබ්බැහි වූ
නුඹලාට ද යහපත කළ හැකි වනු ඇත.
24“කාන්තාර සුළඟින් ගසා ගෙන යන බොල් පොතු සේ,
මම ඔබ විසුරුවා දමන්නෙමි.
25ඔබගේ කොටස එයයි, මවිසින් ඔබට මැන දෙන පංගු කොටස එය ය;
මන්ද නුඹ මා අමතක කොට,
බොරුව ගැන විශ්වාසය තැබූ නිසා යැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
26“මම නුඹේ වස්ත්‍ර, නුඹේ මුහුණට ම ඔසවන්නෙමි.
එවිට නුඹේ විළිලැජ්ජාව පෙනෙනු ඇත.
27නුඹේ පරදාර සේවනය ද නුඹේ රාගික හේෂාරවය ද
ලජ්ජා නැති නුඹගේ වේශ්‍යාකම් ද යන දෑ;
කඳු මතදීත්, එළිමහනේදීත්,
නුඹ කළ පිළිකුල් ක්‍රියා මම දිටිමි.
එම්බා යෙරුසලම, අහෝ නුඹට වන විපතක මහත!
නුඹ පවිත්‍ර කරනු ලබන්නට පෙර තව කොපමණ කලක් ගත වේ ද?”
Currently Selected:
යෙරමියා 13: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.