YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 7

7
ගිඩියොන් විසින් මිදියන්වරු පැරදවීම
1එවිට යෙරුබ්බාල් එනම් ගිඩියොන් හා ඔහු සමඟ වූ මුළු ජනයා අලුයම් උදෙන් පිබිද, හරොද් උල්පත පසෙක කඳවුරු බැන්දහ. මිදියන්වරුන්ගේ කඳවුර වූයේ ඔවුනට උතුරින් මෝරේ කන්ද පහළ තැනිතලාවේ ය. 2ස්වාමින්වහන්සේ ගිඩියොන්ට කතා කළ සේක්, “මවිසින් මිදියන්වරුන් මොවුන් අතට හසුකර දීමට ඔබ ළඟ සිටින මිනිසුන් මට ඕනෑවටත් වැඩියි. ‘මගේ අත මා ගැලවී ය’ කියමින්, ඉශ්‍රායෙල් මට ඉහළින් උදාරම් විය හැකියි. 3එබැවින් දැන් ජනයාට ඇසෙන්නට කතා කොට, ‘යම් කෙනෙක් භයෙන් හා වෙවුලුමෙන් සිටී නම් ඒ අය ආපසු හැරී, ගිලියාද් කන්දෙන් පිට ව යත්වා!’ යි නිවේදන කරන්නැ” යි පැවසූ සේක. එවිට මිනිසුන්ගෙන් විසිදෙදහසක් නික්ම ගියහ. දස දහසක් ඉතිරි වූහ.
4 ස්වාමින්වහන්සේ යළි ගිඩියොන් අමතමින්, “මිනිසුන් තවමත් බොහොම වැඩියි. වතුර ළඟට ඔවුන් ගෙන යන්න. ඔබ වෙනුවෙන් මම එහිදී ඔවුන් පිරික්සන්නෙමි. ‘මොහු, ඔබ සමඟ යන්නේ යැ’ යි යමකු ගැන මම කියම් ද, ඔහු, ඔබ සමඟ යන්නේ ය. එහෙත්, ‘මොහු ඔබ සමඟ යන්නේ නැතැ’ යි යමකු ගැන මම කියම් ද, ඔහු, ඔබ සමඟ යන්නේ නැතැ” යි පැවසූ සේක.
5එබැවින් ගිඩියොන් වතුර ළඟට මිනිසුන් ගෙනාවේ ය. ස්වාමින්වහන්සේ එහිදී ඔහු අමතමින්, “බල්ලකු ලෙව කා බොන්නා සේ තම දිවෙන් වතුර ලෙව කා, බොන අය, එක් පැත්තක ද වතුර බොන්නට දණ ගසන අය අනෙක් පැත්තේ ද සිටුවන්නැ” යි පැවසූ සේක. 6තම අත තම මුවට තබා, ලෙව කා බිවූ ගණන තුන්සීයකි. සෙසු සියල්ලෝ දිය බොන පිණිස බිම දණ ගැසූහ.
7එවිට ස්වාමින්වහන්සේ ගිඩියොන්ට කතා කොට, “ලෙව කා බිවූ මිනිසුන් තුන්සිය දෙනා මගින් මම ඔබ ගලවා, මිදියන්වරුන් ඔබේ අත්වලට දෙන්නෙමි. සෙස්සනට තම තමන්ගේ ගෙවලට යන්න හරින්නැ” යි කී සේක. 8එබැවින් සෙසු අයගේ ආහාර පාන හා හොරණෑ ඔවුන්ගේ අත්වලින් ගත් ඒ තුන්සිය දෙනා පමණක් තමා හා රඳවා ගත් ගිඩියොන්, සෙසු ඉශ්‍රායෙල් සියල්ලන් ඔවුන්ගේ කූඩාරම්වලට පිටත් කළේ ය.
මිදියන්වරුන්ගේ කඳවුර ඔහුට පහළින් තැන්නේ විය. 9ඒ රැයේ ම ස්වාමින්වහන්සේ ඔහුට කතා කොට, “නැගී සිටින්න; පහළට බැස ගොස්, කඳවුරට පහර දෙන්න. මන්ද ඔබේ අතට මම එය දී ඇත්තෙමි. 10එහෙත් ඔබ එසේ යෑමට භය නම්, ඔබේ සේවක පූරා සමඟ ඒ කඳවුරට ගොස්, 11ඔවුන්ගේ කතා බහට සවන් දෙන්න. කඳවුරට පහර දීමට එවිට ඔබ ධෛර්යවත් වනු ඇතැ” යි පැවසූ සේක. එබැවින් ගිඩියොන් තම සේවක පූරා සමඟ කඳවුරේ අවි දැරූ ආරක්ෂක මුරපොළ වෙත ගියේ ය. 12මිදියන්වරුන් ද අමලෙක්වරුන් ද පෙරදිග ජනයා සියල්ලන් ද තැන්නෙහි පැතිර සිටියේ ගණන් නැති පළඟැටි සේනා පරිද්දෙනි. ඔවුන්ගේ ඔටුවෝ ද මුහුදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නො හැකි තරම් වූහ.
13ගිඩියොන් එහි ළඟා වෙත් ම, මෙන්න! මිනිසෙක් තම සගයාට සිහිනයක් පවසමින් සිටියේ ය. “ඔන්න, මා සිහිනයක් දැක්කා; මෙන්න! යව රොටියක් මිදියන් කඳවුරට පෙරැළී අවුත්, කූඩාරම වෙත පැමිණ, වැටෙන්නට පහර දී, එය උඩු-යටිකුරු කොට, බිඳ හෙළී යැ” යි පැවසී ය.
14ඔහුගේ මිතුරා පිළිතුරු දෙමින්, “මේ නම් යෝවාෂ්ගේ පුත් ඉශ්‍රායෙල් මනුෂ්‍යයකු වූ ගිඩියොන්ගේ අසිපත මිස අන් කිසිවක් නො වේ. දෙවියන්වහන්සේ මිදියන්වරුන් හා මුළු කඳවුර ම ඔහුගේ අතට දී ඇතැ” යි කීවේ ය.
15ගිඩියොන් ඒ සිහිනයත්, එහි අරුත් විවරණයත් ඇසූ කල නමස්කාර කළේ ය. ඉශ්‍රායෙල් කඳවුරට ආපසු ආ ඔහු, “නැගිටිනු! මන්ද ස්වාමින්වහන්සේ මිදියන් හමුදාව නුඹලාගේ අත්වලට දී ඇතැ” යි කීවේ ය. 16ඔහු, මිනිසුන් තුන්සිය දෙනා කණ්ඩායම් තුනකට බෙදී ය. ඔවුන් හැමගේ අත්වලට හොරණෑ ද හිස් කළ ගෙඩි ද දුන්නේ ය. ඒ කළ ගෙඩි තුළ පන්දම් විණ.
17ඔහු ඔවුන් අමතමින්, “මා දිහා බලාගෙන, මා අනුගමන කරනු! කඳවුර අද්දරට මා ගිය පසු, මා කරන දේ ම කරනු! 18මාත් මා සමඟ සිටින සියලු දෙනාත් හොරණෑ පිඹින කල, ඔබත් මුළු කඳවුර වටා ඔබේ හොරණෑ පිඹ, ‘ස්වාමින්වහන්සේ හා ගිඩියොන් උදෙසා ය’ කියා මොර හඬ නගනු” යි කීවේ ය.
19ගිඩියොන් හා ඔහු සමඟ සිටි මිනිසුන් සිය දෙනා මුර මාරු වූ විගස මැදියම් යාමය පටන් ගැන්මේදී, කඳවුර අද්දරට ළඟා වූවෝ, හොරණෑ පිඹ, තමන් අත වූ කළ ගෙඩි බින්දෝ ය. 20මෙසේ කණ්ඩායම් තුන ම වමතින් පන්දම් ගෙන, පිඹින පිණිස හොරණෑ දකුණතින් ගෙන, හොරණෑ හඬවා, කළ ගෙඩි බින්දෝ, “ස්වාමින්වහන්සේට හා ගිඩියොන්ට අසිපතෙකි” යි මොර හඬ නැගුවෝ ය. 21ඔවුන් එක් එක්කෙනා කඳවුර වටා තමන් සිටිය තැන ස්ථානගත ව සිටියදී, මිදියන්වරු සැවොම මර හඬ දෙමින්, පැන දිවූහ.
22තවද හොරණෑ තුන්සියය හැඬ වූ කල, ස්වාමින්වහන්සේ කඳවුර මුළුල්ලෙහි එකිනෙකා අසිපත් දරා, එකිනෙකාට එරෙහිව නැගෙන්නට සැලසූ සේක. සේනාව ටබ්බාත් අසල ආබෙල්-මෙහෝලා සීමාව දක්වා සෙරේරා දෙසට බෙත්-ෂිට්ටා වෙත පලා ගියහ. 23නෆ්තලී ද ආෂෙර් ද මුළු මනස්සේ ද වෙතින් කැඳවනු ලැබූ ඉශ්‍රායෙල් ජනයා, මිදියන්වරුන් ලුහුබැන්දහ. 24එවිට ගිඩියොන් එප්‍රායිම් කඳුරට මුළුල්ලේ පණිවුඩකරුවන් යවමින්, “එන්න! පහළ බැස මිදියන්වරුන්ට එරෙහිව අවුත්, ඔවුන්ට එරෙහිව බෙත්-බාරා දක්වා දුරට හා යොර්දාන් ගං-තොටවල් අල්ලා ගන්නැ” යි දැන්වී ය.
මෙසේ කැඳවනු ලැබූ සියලු එප්‍රායිම්වරු බෙත්-බාරා තෙක් දුරට හා යොර්දාන් ගං-තොටවල් අල්ලා ගත්හ. 25ඔවුහු මිදියන් අධිපතීන් වූ ඔරේබ් හා ‍සෙයේබ් අල්ලා ගත්හ. ඔරේබ් පර්වතයේදී ඔරේබ් මරා දැමූ ඔවුහු සෙයේබ්-මිදි මෝලෙහි දී ‍සෙයේබ් මරා දැමූහ. මිදියන්වරුන් ලුහුබැඳ ගිය ඔවුහු ඔරේබ්ගේ හිස ද සෙයේබ්ගේ හිස ද යොර්දානෙන් එතෙර සිටි ගිඩියොන් වෙත ගෙන ආහ.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for විනිසුරුවෝ 7