යෙසායා 65
65
විනිශ්චය හා ගැලවීම
1“මා ගැන නො විමසූ අයට මම එළිදරවු වීමි.
මා නො සෙවූ අයට මම සම්භ වීමි.
මගේ නාමයෙන් නො ඇමතූ ජාතියකට
‘මෙන්න මම, මෙන්න මම’ යි කීවෙමි.
2හිතුවක්කාර ජනතාවක් වෙත
දවස මුළුල්ලේ මම මගේ දෑත් දිගු කර ගෙන සිටියෙමි.
තමන්ගේ ම කල්පිත උපායයන්හි ගමන් කරමින්
ඔවුහු අයහපත් මාර්ගවල ගමන් කරති.
3ඔවුහු, උයන්වල පූජා ඔප්පු කරමින් හා
ගඩොල් පුදසුන් මත සුවඳ දුම් දවමින්,
මගේ මුහුණ ඉදිරිපිට ම
දිගින් දිගට ම මා කුපිත කරවති.
4ඔවුහු සොහොන් කොත් අතර ගැවසෙමින්,
නිදි වරමින්, රහස් තැන්හි රැය ගත කරති.
ඔවුහු ඌරන්ගේ මස් කති.
ඔවුන්ගේ හැළිවල ඇත්තේ කුණු මස් හොදි ය.
5‘ඈත් ව සිටින්න. මට ළං නො වන්න.
මා ඔබට ශුද්ධ වැඩි යැ’ යි ඔවුහු කියති.
එබඳු ජනයා මගේ නාස් පුඩු තුළට දුමකි.
දවස පුරා ඇවිළෙන ගින්නකි.
6“මෙන්න! මා ඉදිරියේ එය ලියා තබා ඇත.
මා නිහඬ ව සිටින්නේ නැත; මම පළිගන්නෙමි.
මම සත්තකින් ම ඔවුන්ගේ උකුළට ම ඒවා ආපසු එවන්නෙමි.
7නුඹලාගේ පාප හා නුඹලාගේ පියවරුන්ගේ පාප යන දෙකට ම මම ආපහු ගෙවන්නෙමි” යි
ස්වාමින්වහන්සේ පවසන සේක.
“මන්ද ඔවුන් කඳු මත පූජා දවා,
කඳු ගැට පිට මට නිගරු කළ බැවින්,
ඔවුන්ගේ පළමු ක්‍රියාවලට සම්පූර්ණයෙන් ගෙවිය යුත්ත,
මම ඔවුන්ගේ උකුළට ම මැන දෙන්නෙමි.”
8 ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“මිදි පොකුරක අලුත් මිදි යුෂ ඇති වග දුටු කල,
‘එය විනාශ කරන්න එපා;
එහි ආශිර්වාදයක් තියෙනවා’ යි මිනිසුන් කියන්නා සේ,
මගේ සේවකයින් උදෙසා මමත් එසේ කරමි.
මම ඔවුන් සියල්ලන් විනාශ නො කරමි.
9දරු-පෙළපත් මම යාකොබ් වෙතින් ද
මගේ කඳු-උරුමකරගන්නන් යූදා වෙතින් ද ගෙනෙන්නෙමි.
තෝරාගත් මගේ ජනයා ඒවා උරුම කර ගනු ඇත.
මගේ සේවකයින් වාසය කරනු ඇත්තේ එහි ය.
10මා සෙවූ මගේ ජනයා උදෙසා
ෂාරොන් මිටියාවත එළු බැටළු රැළවලට තණ බිමක් ද
ආකොර් මිටියාවත ගව රංචුවලට ලැගුම් පොළක් ද වෙයි.
11“එහෙත්, ස්වාමින්වහන්සේ අතහැර,
මගේ ශුද්ධ කන්ද අමතක කර,
වාසනා දේවතාවියට භෝජන පිළියෙල කරන,
ඉරණම් දෙව්දුවට මිදි යුෂ බඳුන් පුරවන ඔබ ගැන කියතොත්,
12මම කඩුවට ඔබ නියම කරමි.
ඔබ සැම මැරුම්කෑමට නැමී යනු ඇත.
මන්ද මම හඬ ගැසුවෙමි; ඔබ උත්තර දුන්නේ නැත.
මම කතා කළෙමි; ඔබ සවන් දුන්නේ නැත.
ඔබ මගේ ඇස් හමුවෙහි කළේ දුෂ්ටකම් ය;
මා ප්‍රමෝද නැති දේ ඔබ තෝරා ගත්තේ ය.”
13එබැවින් පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“මෙන්න! මගේ සේවකයින් ආහාර භුක්ති විඳිද්දී,
ඔබ සාගින්නෙන් පෙළෙනු ඇත.
මෙන්න! මගේ සේවකයින් පානය කරද්දී,
ඔබ පිපාසයෙන් පෙළෙනු ඇත.
මෙන්න! මගේ සේවකයින් ප්‍රීති ප්‍රමෝද වෙද්දී,
ඔබ ලජ්ජාවට පත් කෙරෙනු ඇත.
14මෙන්න! මගේ සේවකයින්
ඔවුන්ගේ හදේ ප්‍රීතියෙන් ගී ගයද්දී,
ඔබ, හද-සන්තාපයෙන් හඬා වැටෙමින්,
බිඳුණු ආත්මයෙන්,
විලාප නගනු ඇත.
15මගේ තෝරාගත්තවුනට ශාපයක් වශයෙන් භාවිතයට
ඔබ ඔබගේ නාමය තබා යනු ඇත.
පරමාධිපති ස්වාමින්වහන්සේ ඔබ මරණයට පත් කරන සේක්,
උන්වහන්සේගේ සේවකයනට වෙනත් නාමයක් දෙනු ඇත.
16දේශය තුළ ආශිර්වාදයක් අයදින කවරකු වුව,
එසේ කරනු ඇත්තේ, සත්‍යතාවේ දෙවියන්වහන්සේගේ නාමයෙනි.
දේශය තුළ දිවුරුම් දෙන අය දිවුරනු ඇත්තේ,
සත්‍යතාවේ දෙවියන්වහන්සේගේ නාමයෙනි.
මන්ද මගේ ඇස් හමුවෙන් සඟවනු ලබන බැවින්,
පසුගිය කරදර අමතක ව යනු ඇත.
අලුත් අහසක් අලුත් පොළොවක්
17“මෙන්න! මම අලුත් අහස් හා අලුත්
පොළොවක් මවන්නෙමි.
පළමු දේවල් මතක් කරනු ලබන්නේවත්,
ඒවා සිහියට නැගෙන්නේවත් නැත.
18එහෙත් මා විසින් මවනු ලබන දෑ තුළ
සදහට ම ප්‍රීති වන්න; ප්‍රමෝද වන්න.
මෙන්න, මම යෙරුසලම ප්රමෝදයක් ද
එහි ජනයා ප්‍රීතියක් ද කර මවන්නෙමි.
19මම යෙරුසලම ගැන ප්‍රීති ප්‍රමෝද වන්නෙමි;
මගේ ජනයා තුළෙහි ප්‍රමෝද වන්නෙමි.
වැලපීමේ හඬක් හා විපත්තියේ විලාපයක්
ඒ තුළ තවත් ඇසෙනු නැත.
20“ටික දිනකින් අකාලයේ මියැදෙන
ළදරුවකු මෙන් ම
පරම ආයුෂ නො විඳ මියැදෙන මහල්ලකු යළි එහි නො වනු ඇත.
සිය වන වයසේ මියයන්නා ගණන් ගැනෙන්නේ
යෞවනයකු කියා ය.
සිය වන වියට පා නො තැබූ කෙනකු ගණන් ගැනෙන්නේ
ශාප ලද්දකු කියා ය.
21ඔවුන් ගෙවල් තනා, ඒවායේ වාසය කරනු ඇත.
ඔවුන් මිදි වතු වවා, එහි පල භුක්ති විඳිනු ඇත.
22අනුන්ගේ පදිංචියට ඔවුන් ගෙවල් තනන්නේ නැත.
අනුන්ගේ පරිභෝජනයට ඔවුන් වගා කරන්නේ නැත.
මගේ ජනයාගේ ආයු කාලය,
වෘක්ෂයක ආයු කාලය මෙන් වන්නේ ය.
මගේ තෝරා ගත්තවුන් තම අත්වල පල
දිගු කල් භුක්ති විඳිනු ඇත.
23ඔවුන් නිරර්ථක ලෙස වෙහෙසවන්නේවත්,
දුක්ඛිත ඉරණමකට දරුවන් බිහි කරන්නේවත් නැත.
මන්ද ඔවුහු ද ඔවුන් සමඟ ඔවුන්ගේ දරු පරපුර ද
ස්වාමින්වහන්සේගෙන් ආශිර්වාද ලද්දෝ වෙති.
24ඔවුන් අයදින්නට පෙර මම උත්තර දෙන්නෙමි.
ඔවුන් කතා කරද්දී ම මම සවන් දෙන්නෙමි.
25වෘකයා හා බැටළු පැටවා එක් ව තණ බුදිනු ඇත.
සිංහයා ගවයකු සේ පිදුරු කනු ඇත.
එහෙත් සර්පයාගේ ආහාරය දූලි ම වන්නේ ය.
මගේ මුළු ශුද්ධ කන්ද මත ඔවුන් කිසි හානියක්,
විනාශයක් කරන්නේ නැතැ” යි
ස්වාමින්වහන්සේ පවසන සේක.
Currently Selected:
යෙසායා 65: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.