යෙසායා 60
60
සියොනෙහි තේජස
1නැගිටින්න; බැබළෙන්න; මන්ද ඔබේ ආලෝකය පැමිණ ඇත.
ස්වාමින්වහන්සේගේ තේජස ද ඔබ මත උදා වී ඇත.
2ඔන්න! අන්ධකාරයෙන් පොළොව ද
ඝන අන්ධකාරයෙන් ජනයා ද වසා ගැනේ.
එහෙත් ස්වාමින්වහන්සේ ඔබ මත උදා වන සේක්,
උන්වහන්සේගේ තේජස ඔබ වෙතින් දිස් වන්නේ ය.
3ඔබේ එළිය වෙත ජාතීන් ද
ඔබේ උදාවේ දීප්තිය වෙත රජුන් ද එනු ඇත.
4ඔබේ ඇස් ඇර, අවට බලන්න.
ඔවුහු සැවොම එක් රැස් ව, ඔබ වෙත එන්නෝ ය.
ඔබේ පුත්තු දුර ඈත සිට පැමිණෙති.
ඔබේ දූවරු උකුළේ වඩාගෙන ගෙන එනු ලබන්නෝ ය.
5එවිට ඔබ එය බලා, ප්‍රීතියෙන් පිනා යනු ඇත.
ඔබේ හද පිබිද, ප්‍රීතියෙන් ඔකඳ වනු ඇත.
මන්ද මුහුදේ ඉසුරු ද
ජාතීන්ගේ වස්තුව ද ඔබ කරා ගලා එන්නේ ය.
6රංචු රංචු ඔටුවන්ගෙන්,
මිදියන්හි හා ඒෆාහි නාඹර ඔටුවන්ගෙන්, ඔබ වැසී යනු ඇත.
ෂෙබාහි සියල්ලෝ ඔබ වෙත එනු ඇත.
ඔවුන් පැමිණෙන්නේ රත්රන් හා සුවඳ ද්‍රව්‍ය රැගෙන
ශුභ ආරංචිය ද ස්වාමින්වහන්සේගේ ප්‍රශංසාව ද රැගෙන ය.
7කේදාර්හි එළු බැටළු රංචු සියල්ල ඔබ වෙතට එක් රැස් කෙරේ.
නෙබායොත්හි බැටළුවන් ඔබට මෙහෙ කරනු ඇත.
මගේ පූජාසනය මත පඬුරු පූජා වශයෙන් උන් පිළිගැනේ;
මගේ තේජවත් ගෘහය මම අලංකාර කරන්නෙමි.
8“වලාවක් ලෙසින් පියාසලා යන,
පරෙවියන් ලෙසින් තම කවුළු වෙත යන මොවුහු කවරහු ද?
9මන්ද මුහුදුබඩ දිවයින් මා දෙස බලා හිඳිනු ඇත.
තර්ෂිෂ්හි නෞකා පෙරමුණ ගෙන,
තම රන් ද රිදී ද රැගෙන,
ඔබේ පුතුන්, දුර-බැහැරින් කැඳවාගෙන එන්නේ,
ඔබේ දෙවියන්වහන්සේ ද වන ස්වාමින්වහන්සේගේ සහ
ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේගේ නාමය උදෙසා ය.
මන්ද උන්වහන්සේ ඔබ අලංකාර කර ඇති බැවිනි.
10“විදේශිකයින් ඔබේ පවුරු ගොඩ නගනු ඇත.
ඔවුන්ගේ රජවරුන්, ඔබට මෙහෙ කරනු ඇත.
මන්ද උදහසින් යුතු ව මා ඔබට පහර දුන් නමුදු,
ප්‍රසාදයෙන් යුතු ව මම ඔබට අනුකම්පා කරමි.
11ඔබේ දොරටු, හැම විට විවර ව තිබෙනු ඇත.
දිවා රැයේ ඒවා වසනු නො ලැබේ.
එසේ වන්නේ, ජනයා ජාතීන්ගේ සම්පත් ඔබ වෙත ගෙනෙනු ලබන පිණිස ය.
එහි පෙරමුණ ගෙන එන්නේ ඔවුන්ගේ රජවරුන් ය.
12මන්ද ඔබට මෙහෙ නො කරන ජාතිය හා රාජ්‍ය විනාශ වේ.
එම ජාතීන් සහමුලින් ම නැති නාස්ති කර දැමේ.
13“මගේ ශුද්ධස්ථානය පිහිටි තැන අලංකාර කරන්නට,
ලෙබනොන්හි තේජස වන,
සයිප්‍රස්, පයින් හා තෂ්ෂූර් ගස් ද එක් ව ඔබ වෙත එයි.
මගේ පාදස්ථානය මම තේජවත් කරන්නෙමි.
14ඔබට පීඩාකළවුන්ගේ පුතුන්, ඔබ ඉදිරියේ පහතට නැමි නැමී, එනු ඇත.
ඔබට අවමන් කළවුන්, ඔබේ පාමුල වැඳ වැටෙනු ඇත.
ඔවුන් ඔබට, ස්වාමින්වහන්සේගේ නගරය ය,
ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේගේ සියොන යැයි කියනු ඇත.
15“අත්හැර දමනු ලැබ, වෛර කරනු ලැබ,
කිසිවකුත් ඔබ මැදින් ගමන් කරනු නො ලැබ,
ඔබ සිටි නමුදු, මම ඔබ සදාතනික ආඩම්බරයක් ද
යුගයෙන්-යුගයට ප්‍රීතියක් ද කරන්නෙමි.
16ජාතීන්ගේ කිරි උරා බොන ඔබ
රාජකීය ළය මඬලින් පෝෂණය ලබනු ඇත.
එවිට ස්වාමින්වහන්සේ වන මා, ඔබේ ගැලවුම්කරුවාණන් වග,
ඔබේ මිදුම්කරුවාණන් වග, යාකොබ්ගේ බලවන්තයාණන් වග ඔබ දැනගනු ඇත.
17ලෝකඩ වෙනුවට මම ඔබට රත්රන් ගෙනෙන්නෙමි.
යකඩ වෙනුවට රිදී ද
ලී වෙනුවට ලෝකඩ ද
ගල් වෙනුවට යකඩ ද මම ඔබට ගෙනෙන්නෙමි.
මම, ඔබේ පරීක්ෂකයින් සාමය වන්නට ද
ඔබේ වැඩ ප්‍රධානීන් ධර්මිෂ්ඨකම වන්නට ද සලස්වන්නෙමි.
18සැහැසිකම ගැන, ඔබේ දේශයෙහි තවත් අසන්නට ලැබෙන්නේ නැත.
වැනසීම හා විනාශය ගැන, ඔබේ සීමා ඇතුළත ඇසෙනු නැත.
ඔබේ පවුරු ගැලවීම කියා ද
ඔබේ දොරටු ප්‍රශංසාව කියා ද ඔබ පවසනු ඇත.
19තවදුරටත් ඔබේ දහවලේ එළිය හිරු නො වේ.
සඳුගේ දීප්තිය ද ඔබට එළිය ගෙන නො දේ.
එහෙත් ස්වාමින්වහන්සේ ඔබේ සදාතනික එළිය වන සේක.
ඔබේ දෙවියන්වහන්සේ ඔබේ තේජස වන සේක.
20ඔබේ හිරු යළි කිසි දින බැස යන්නේ නැත.
ඔබේ සඳු තවදුරටත් අවපසට යන්නේ නැත.
ඔබේ සදාතනික එළිය වන්නේ ස්වාමින්වහන්සේ ය.
ඔබේ සෝ-දුක් දවස් නිමාවට පත් වන්නේ ය.
21ඔබේ සියලු ජනයා ධර්මිෂ්ඨ වන්නෝ ය.
ඔවුහු සදහට ම දේශය උරුම කර ගන්නෝ ය.
මා තේජසට පත් වන පිණිස,
මගේ දෑතේ කාරිය වන
මවිසින් හිඳුවන ලද පැළෑටිය ඔවුන් ය.
22ඔබේ ඉතාම සුළු තැනැත්තා දහසක් ද
ඉතාම කුඩා තැනැත්තා බලවත් ජාතියක් ද වනු ඇත.
මම ස්වාමින්වහන්සේ ය;
නිසි කල ආ කල, මම විගසින් මෙය සිදු කරන්නෙමි.”
Currently Selected:
යෙසායා 60: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.