යෙසායා 56
56
ජාතීන්ට ගැලවීම
1 ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“යුක්තියෙහි පවතින්න.
ධර්මිෂ්ඨකම කරන්න.
මන්ද ඉක්මනින් මගේ ගැලවීම පැමිණේ.
මගේ ධර්මිෂ්ඨකම ඉක්මනින් හෙළි කෙරේ.
2මෙසේ කරන මිනිසා,
එය තදින් අල්ලාගෙන සිටින මනුෂ්‍ය පුත්‍රයා,
සබත පවත්වන, එය නො කෙලෙසන,
දුෂ්ටකම් කිරීමෙන්, තම අත වළක්වාගන්න මිනිසා භාග්‍යවත් ය.”
3 ස්වාමින්වහන්සේට තමන් ම බැඳුණු විදේශිකයා,
“ස්වාමින්වහන්සේ තම ජනයා වෙතින් සැබවින් ම මා වෙන් කළ සේකැ” යි නො කියත්වා.
තවද නපුංසකයා,
“බලන්න, මා වියළි ගසක් පමණි” යි නො කියත්වා!
4මන්ද ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“මගේ සබත් පවත්වමින්,
මට ප්‍රිය දෑ තෝරා ගනිමින්,
මගේ ගිවිසුම තදින් අල්ලාගෙන, සිටින නපුංසකයින්ට,
5මගේ මාලිගාව හා මගේ පවුරු ඇතුළත
අනගි සිහිවීමක් හා නාමයක් මම ප්‍රදානය කරමි.
එය දූ පුතුනටත් වඩා අනගි එකකි.
කිසි දිනෙකත් සිඳලනු නො ලබන
සදාතනික නාමයක් මම ඔවුනට දෙන්නෙමි.
6තවද තමන් ම ස්වාමින්වහන්සේට බැඳෙන විදෙස්සන්,
උන්වහන්සේට මෙහෙකිරීමටත්,
ස්වාමින්වහන්සේගේ නාමයට ප්‍රේම කිරීමටත්,
උන්වහන්සේගේ සේවකයන් වීමටත්,
සබත පවත්වන සියල්ලන්, එය නො කෙලෙසන්නන් හා
මගේ ගිවිසුම තදින් ම අල්ලාගත්තවුන්–
7මම ඔවුන් මගේ ශුද්ධ කන්දට ගෙන ගොස්,
මගේ යාච්ඤා ගෘහය තුළ ඔවුනට ප්‍රීතිය දෙන්නෙමි.
ඔවුන්ගේ දවන යාග ද පූජා ද,
මගේ පූජාසනය මතදී පිළිගනු ලැබේ.
මන්ද ‘මගේ ගෘහය,
සියලු ජනයින්ට උදෙසා යාච්ඤා ගෘහයකි’ යි හඳුන්වනු ලබනු ඇත.”
8ඉශ්‍රායෙල් පිටුවහලුන් එක් රැස් කරන
පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක:
“දැනටමත් එක් රැස් කරන ලද්දවුනට අමතරව
මම තවත් ඔවුන් අතරට එක් රැස් කරන්නෙමි.”
දුෂ්ටයන්ට එරෙහිව දෙවියන්වහන්සේගේ වරද තැබීම
9සියලු වන මෘගයිනි, එනු.
කැලෑවේ සියලු සත්වයෙනි, අවුත්, කා දමනු.
10මොවුන්ගේ මුරකරුවෝ අන්ධයෝ ය.
ඔවුන් හැමට දැනගැන්ම නැත.
ඔවුන් සැවොම ගොළු වූ බල්ලෝ ය.
ඔවුනට බුරන්නට බැරි ය.
සිහින දකිමින්, වැතිර සිටින ඔවුහු
නිදන්නට රිස්සෝ ය.
11මහත් ගිජු බල්ලන් වන ඔවුහු,
කිසි කලෙක සෑහීමට පත් නො වෙති.
ඔවුහු වැටහීමක් නැති එඬේරු ය.
ඔවුහු සියල්ලෝ තම තමන්ගේ ම මාර්ගයට හැරී යති;
එකිනෙකා තම වාසිය ම සොයති.
12“එන්න, මම මිදි යුෂ ගෙනෙන්නම්;
අපි හොඳ පදමට සැර බීමක් බොමු.
හෙටත් අද දවස වගේ වේවි.
ඇතැම් විට ඊටත් වඩා හොඳ වේවි” යි ඔවුහු එකිනෙකා කෑ ගසා කියති.
Currently Selected:
යෙසායා 56: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.