යෙසායා 45
45
1“ස්වකීය අභිෂේක ලද්දාණන්ට, ඔහු ඉදිරියේ ජාතීන් යටත් කරවන්නටත්,
රජුන් නිරායුධ කරන්නටත්,
ගේට්ටු වසා නො තබන පිණිස
ඔහු ඉදිරියේ දොරටු විවර කරන්නටත්
මවිසින් දකුණතින් අල්ලා ගත් තැනැත්තාට, කෝරෙෂ්ට,
ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
2මම ඔබට පෙරටුව යමින්,
කඳු සමතලා කරන්නෙමි.
මම ලෝකඩ දොරටු බිඳ,
යකඩ දොර පොලු කපා දමන්නෙමි.
3අන්ධකාරයෙහි නිධාන සහ
රහස් තැන්වල නිධන්ගත ධනය මම ඔබට දෙන්නේ,
ඔබේ නම කියා ඔබ කැඳවන මා ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන
ස්වාමින්වහන්සේ වග ඔබ දැනගන්නා පිණිස ය.
4මන්ද මගේ සේවකයා වන යාකොබ් උදෙසා,
මා තෝරාගත් ඉශ්‍රායෙල් උදෙසා,
මම ඔබේ නමින් ඔබ අමතමි.
ඔබ, මා දැන-හැඳින නො සිටිය ද,
මම ඔබට ගරු නමක් දුනිමි.
5 ස්වාමින්වහන්සේ මම ය; වෙනත් කෙනකු නැත.
මා මිස, අන් දෙවියන්වහන්සේ කෙනකු නැත.
ඔබ, මා දැන-හැඳින නො සිටිය ද,
මම ඔබ සන්නද්ධ කරන්නෙමි.
6එසේ කරන්නේ, හිරු නැගෙනා තැන පටන් සහ
බස්නාහිර පටන් ජනයා,
මා හැර අන් කිසිවකු නැති වග දැනගන්නා පිණිස ය.
ස්වාමින්වහන්සේ මම ය. මා මිස අන් කෙනකු නැත.
7මම එළිය තනන්නෙමි; අඳුර මවන්නෙමි.
මම සමෘද්ධිය ගෙනෙන්නෙමි: විපත මවන්නෙමි.
මේ හැම දෑ කරන්නේ ස්වාමින්වහන්සේ වන මා ය.
8“එම්බා අහස, ඉහළ සිට වසිනු;
වලාකුළු ද දමිටුකමේ වැසි බිම වගුරුවත්වා!
පොළොව සපුරා විවෘත වේවා!
එය ගැලවීම සහ දමිටුකම ලියලන්නට සලස්වත්වා!
ඒවා ලිය ලා පල දරත්වා!
ඒවා මැවුවේ ස්වාමින්වහන්සේ වන මා ය.
9“තම නිමැවුම්කරුවාණන් සමඟ දබර කරන්නාට දුක් වේ.
ඔහු, පොළොවේ මැටි බඳුන් අතරේ
එක් බඳුනක් පමණි.
‘කුමක් ද ඔබ සාදන්නේ?’ යි
මැටි පිඩ එය හැඩගැන් වූ තැනැත්තාට කියයි ද?
නැතහොත් ‘ඔබගේ වැඩවල
හැඩයක් නැතැ’ යි කියයි ද?
10පියකු අමතා,
‘කුමක් ද ඔබ ජනිත කරන්නේ?’ යි කියන්නාට ද
මවක අමතා,
‘කුමක් ද ඔබ බිහි කරන්නේ?’ යි කියන්නාට ද දුක් වේ!
11“ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ ද එහි නිමැවුම්කරුවාණන් ද වන
ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
මතු පැමිණෙන දෑ සම්බන්ධයෙන්,
මගේ දරුවන් ගැන ඔබ මගෙන් ප්‍රශ්න කරනවා ද?
නැතහොත්, මගේ අත්වල වැඩ ගැන මට නියෝග දෙනවා ද?
12මේ පොළොව සෑදුවේත්,
ඒ මත මිනිසා මැවුවේත් මම ය.
අහස් කුස විහිදා හැරියේ මගේ ම අත්වලිනි.
එහි තරු මඩුළු පිළියෙල කළේත් මම ය.
13මගේ දමිටුකමින්, මම කෝරෙෂ් නැගුටුවන්නෙමි.
ඔහුගේ හැම මාර්ගයක් ම මම ඇද නැති කරවන්නෙමි.
ඔහු, මගේ පුරවරය යළි ගොඩ නගනු ඇත;
පිටුවහල් ව සිටින මගේ ජනයා නිදහස් කරනු ඇත.
එහෙත් ඒ, කිසිදු ගෙවීමකට හෝ පාරිතෝෂයකට නො වේ යැ” යි
සේනාංකවල ස්වාමින්වහන්සේ කියන සේක.
14 ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“ඊජිප්තුවේ ධනය ද කූෂ්හි වෙළඳ භාණ්ඩ ද
උස මිනිසුන් වන සෙබාවරුන් ද
ඔබ වෙත පැමිණ,
ඔබට අයිති වනු ඇත.
ඔවුහු ඔබ පසු පස ඇදෙනු ඇත.
යදමින් බැඳි ඔවුන් ඔබ වෙත අවුත්,
ඔබ ඉදිරියේ වැඳ වැටී,
ඔබට ආයාචන කරමින්,
‘සැබවින් ම දෙවියන්වහන්සේ ඔබ තුළ ය. වෙනත් දෙවි කෙනකු නැත.
වෙනත් කිසි කෙනකු නැතැ’ යි කියනු ඇත.”
15සැබවින් ම ඔබ, තමා ම සැඟවෙන දෙවියන්වහන්සේ කෙනෙක.
අහෝ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ගැලවුම්කරුවාණන්වහන්ස;
16ඒ සියල්ලෝ ලජ්ජාවටත්, නින්දාවටත් පමුණුවනු ලබති.
පිළිම හදන ඔවුන් එක් ව, වියවුල්කමට යනු ඇත.
17එහෙත් ඉශ්‍රායෙල් ස්වාමින්වහන්සේ විසින්
සදාතන ගැලවීමකින් ගලවනු ලබන්නෝ ය.
ඔබ ලජ්ජාවට හෝ නින්දාවට හෝ
පත් කරනු ලබන්නේ නැත සදහට ම.
18මන්ද ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක;
ස්වර්ග මැවූ තැනැන්වහන්සේ උන්වහන්සේ ය.
දෙවියන්වහන්සේ ය.
පොළොව නිර්මාණ කළේත්, සෑදුවේත් උන්වහන්සේ ය.
උන්වහන්සේ එය ස්ථාපන කළ සේක.
උන්වහන්සේ එය මැවුවේ, පාළු ව, හිස් ව තිබෙන්නට නො වේ;
ජනාවාස වනු පිණිස ය.
උන්වහන්සේ මෙසේ කියන සේක:
“ස්වාමින්වහන්සේ මම ය.
වෙනත් කෙනකු නැත.
19මා කතා කළේ අන්ධකාර දේශයක සිට
රහසින් නො වේ.
‘අහේතුක ව මා සොයන්නැ’ යි
යාකොබ්ගෙන් පැවත එන්නන්ට මා කීවේ නැත.
මම, ස්වාමින්වහන්සේ සත්‍යය පවසමි:
හරි දේ ප්‍රකාශ කරමි.
20“නුඹලා ම එකට එක් රැස් වී, එන්න.
එක් ව ළඟා වන්න, ජාතීන් අතර දිවි ගලවා ගත්තවුනි.
තමන්ගේ ලී දේව පිළිම රැගෙන යන-එන්නන්ට,
ගලවන්නට බැරි දෙවියන්ට එක දිගට යදින අයට දැනගැන්ම නැත.
21ඔබේ කරුණු ප්‍රකාශ කොට ඉදිරිපත් කරන්න.
ඔවුන් එක් ව අදහස් දැක්වූවා වේ!
බොහෝ ඉහතදී මේ ගැන කලින් කීවේ කවුරු ද?
ඈත අතීතයේ පටන් මෙය ප්‍රකාශ කළේ කවුරු ද?
එසේ කළේ, ස්වාමින්වහන්සේ වන මම නො වෙම් ද?
මා මිස අන් දෙවියන්වහන්සේ කෙනෙක් නැත.
ධර්මිෂ්ඨ දෙවියන්වහන්සේ කෙනෙක්මි මම;
ගැලවුම්කරුවෙක්මි. මා මිස අන් කෙනකු නැත.
22“පොළෝ සීමාන්තවල සිටින සියල්ලෙනි,
මා වෙත හැරී, ගැලවීම ලබන්න.
මන්ද මම දෙවියන්වහන්සේ වෙමි. වෙනත් කෙනකු නැත.
23මා ගැන ම මම දිවුළෙමි;
වෙනස් කළ නො හැකි වදනක්,
පූර්ණ දමිටුකමින් යුතු ව මා මුවින් නික්ම ඇත.
එනම්, හැම දණක් ම, මා ඉදිරියෙහි නමනු ඇත.
හැම දිවක් ම, මා ගැන දිවුරනු ඇත.
24මා ගැන කියනු ඇත්තේ ‘දමිටුකමත්, සවියත් ඇත්තේ
ස්වාමින්වහන්සේ තුළ පමණ’ ය කියා ය.”
උන්වහන්සේට එරෙහිව ක්‍රෝධයෙන් පසු වූ අය,
උන්වහන්සේ වෙත අවුත්, ලජ්ජාවට පත් වනු ඇත.
25ඉශ්‍රායෙල්ගෙන් පැවත එන සියලු දෙනා,
ස්වාමින්වහන්සේ තුළ ධර්මිෂ්ඨ කරනු ලැබ,
උදාරම් වනු ඇත.
Currently Selected:
යෙසායා 45: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.