YouVersion Logo
Search Icon

යෙසායා 33

33
බලාපොරොත්තු හා උපකාර
1එම්බා විනාශකය,
මේ තාක් විනාශයට හසු නො වූ නුඹ,
එම්බා ද්‍රෝහිය,
මේ තාක් පාවා දීමට හසු නො වූ නුඹ,
නුඹේ විනාශ කිරීම් නැවතූ කල,
නුඹ විනාශයට පත් කෙරේ.
නුඹේ පාවාදීම් නැවතූ කල,
නුඹ පාවා දෙනු ලැබේ.
2අහෝ ස්වාමින්වහන්ස, අපට දයා පෑ මැනව.
අපි ඔබ ගැන බලා සිටින්නෙමු.
හැම උදයේ ම අපේ ශක්තිය වුව මැනව.
විපත් කල්හි දී අපේ ගැලවීම වුව මැනව.
3ඔබේ ගාලගෝට්ටි ශබ්දයට ජනයා පලා දුවති.
ඔබ නැගිට සිටින කල, ජාතීහු විසිර යති.
4පළඟැටියා එකතු කරන්නා සේ නුඹේ කොල්ලය, එක්කාසු කරනු ලැබේ;
පළඟැටි පනින්නා සේ ඒ මත කඩා පනිනු ලැබේ.
5 ස්වාමින්වහන්සේ උතුම් බවට පත් කෙරේ; මන්ද උන්වහන්සේගේ වාසය ඉහළ ස්වර්ගයෙහි ය.
උන්වහන්සේ යුක්තියෙන් හා දමිටුකමින් සියොන පුරවන සේක.
6ඔබේ කාලවල ස්ථාවරත්වය ද
ගැලවීමේ, ප්‍රඥාවේ හා දැනගැන්මේ බහුලත්වය ද උන්වහන්සේ ය.
ස්වාමින්වහන්සේට භය පක්ෂවීම උන්වහන්සේගේ ධනය ය.
7මෙන්න! ඔවුන්ගේ වීරයෝ වීදිවල සිට හඬා වැටෙති.
සාම නියෝජිතයෝ අතිශයෙන් වැලපෙති.
8මහ මාවත් පාළුවට ගොසිනි;
ගමන් ගන්නවුන් නැවතී ඇත.
ගිවිසුම් කඩා දැමේ.
එහි පුරවර#33:8 පුරවර පුරාණ හෙබ්‍රෙව් අත් පිටපතෙහි සාක්ෂිකරුවන් ගර්හාවට පත් කෙරේ.
මිනිසකුට ගරු-සරුවක් නැත.
9දේශය වියළෙයි. මැලවී යයි.
ලෙබනොනය ලජ්ජාවට පත් වේ. වියළී යයි.
ෂාරොන්, අරාබා කතර මෙන් වේ.
බාෂාන්හි හා කර්මෙල්හි ගහ කොළ හැලේ.
10“මම දැන් නැගී සිටින්නෙමි” යි ස්වාමින්වහන්සේ කියන සේක.
“දැන් මම, මා උසස් කර ගන්නෙමි;
දැන් මම ඔසවනු ලබන්නෙමි.
11නුඹලා බොල් පිළිසිඳ, පිදුරු බිහි කරනු ඇත.
ඔබගේ හුස්ම ගින්නකි.
එයින් ඔබ ම දැවී යැවේ.
12ජනයා හුණු මෙන් වන්නට පුළුස්සනු ලබති.
කපා දැමූ කටු පඳුරුවලට මෙන් ඔවුනට ගිනි තියනු ලැබේ.”
13දුර සිටින්නෙනි, මා කර ඇති දෑ අසනු.
ළඟ සිටින්නෙනි, මගේ බලය ඒත්තු ගනු.
14සියොනෙහි පව්කරුවන් භීතියට පත් ව ඇත.
අභක්තික ජනයා වෙවුළුමට හසු වී ඇත.
දැවෙන ගින්නෙහි විසිය හැක්කේ අප අතරින් කවුරුන්ට ද?
සදාතනික ගිනි දළු සමඟ විසිය හැක්කේ අප අතරින් කවුරුන්ට ද?
15දමිටු ලෙස දිවි ගෙවන,
කෙළින් කතා කරන,
පීඩිතයින්ගේ අයුතු වාසි පිළිකුල් කරන,
අල්ලස් ගැනීමෙන් තම අත වළක්වාගන්න,
මිනීමරු කුමන්ත්‍රණවලට තම කන් වසා ගන්න,
නපුර දෙසට තම ඇස් යොමු නො කරන, යමෙක් වේ ද,
16උසස් තැන්හි වාසය කරනු ඇත්තේ ඔහු ය.
ඔහුගේ ආරක්ෂා ස්ථානය වනු ඇත්තේ පර්වත බළකොටු ය.
ඔහුගේ ආහාර ඔහුට සපයනු ලැබේ.
ඔහුට ජලය හිඟ වන්නේ නැත.
17ඔබේ ඇස්වලින් ස්වකීය ශෝභාවෙන් යුත් රජු දකිනු ඇත;
ඒවා ඈතට විහිදෙන දේශය දකිනු ඇත.
18මුලින් තිබූ භීතිය ගැන ඔබ සිතින් ආවර්ජන කරනු ඇත:
“කොහේ ද ඒ ගණන් ගන්නා?
කොහේ ද ඒ කප්පම් ගන්නා?
කොහේ ද ඒ මුර ටැඹ ගණන් කරන්නා?”
19ඔබට නො වැටහෙන අමුතු බසක්
අපැහැදිලි හා තේරුම් ගත නො හැකි සරින් කතා කරන
ඒ අහංකාර ජනතාව තවදුරටත් ඔබ දකින්නේ නැත.
20අන්න! සියොන; අපේ නියමිත උත්සව පුරවරය!
ඔබේ ඇස් යෙරුසලම දකිනු ඇත.
ඒ නිස්කලංක නිවස්නය, නො සෙලවෙන කූඩාරමකි.
එහි කූඤ්ඤ ඉදිරී යන්නේ නැත;
එක් ලණුවකදු කැඩී යන්නේ නැත.
21මන්ද එහි මහානුභාසම්පන්න ස්වාමින්වහන්සේ අප උදෙසා
පුළුල් ගංගා හා ඇළදොළින් යුත් තැනක් සේ වන සේක.
හබල් සහිත යුද නැව් ඒවායේ පැදවෙන්නේ නැත.
මහා නෞකා ද ඒවායේ යාත්‍රා නො කෙරේ.
22මන්ද ස්වාමින්වහන්සේ අපේ විනිසුරුවාණන් ය.
ස්වාමින්වහන්සේ අපේ නීතිදායකයාණන් ය.
ස්වාමින්වහන්සේ අපේ රජ්ජුරුවන් ය.
අප ගලවන තැනැත්තාණන් උන්වහන්සේ ය.
23ඔබේ නැව් ආම්පන්න එල්ලා වැටේ:
කුඹ ගස නිසි සේ කෙළින් තබා ගැනීමට ඔවුනට නො හැක.
රුවල දිග නො හැරේ#33:23 හෙවත් ඔබේ ලණු ලිහිල් ව එල්ලා වැටේ; කුඹ ගසේ පාදම ඔවුන් ස්ථිර කරන්නේ නැත; ධජය දිග නො හැරේ..
එබැවින් අධික වූ කොල්ලය බෙදා ගනු ලැබේ.
කොරුන් පවා කොල්ලය ගෙන යනු ඇත.
24සියොනෙහි වෙසෙන කිසිවකු, “මා අසනීපයෙනැ” යි කියන්නේ නැත.
එහි දිවි ගෙවන අයගේ පාප, කමා කරනු ලැබේ.

Currently Selected:

යෙසායා 33: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in