YouVersion Logo
Search Icon

යෙසායා 34

34
ජාතීන්ට විනිශ්චය
1එම්බා ජාතීනී, අසන්නට ළංවනු.
එම්බා ජනයිනි, අවධානය යොමනු.
පොළොවත්, එය පුරවන සියල්ලත්,
ලෝකයත්, ඉන් නික්මෙන සියල්ලත් සවන් දෙත්වා!
2 ස්වාමින්වහන්සේ සියලු ජාතීන් සමඟ ප්‍රකෝපයෙන් ය.
උන්වහන්සේගේ දැඩි කෝපය, ඔවුන්ගේ මුළු සේනාංක මත්තෙහි ය.
උන්වහන්සේ ඔවුන් විනාශයට කැප කර ඇත.
උන්වහන්සේ සාගතයට ඔවුන් බාර දෙන සේක.
3ඔවුන්ගේ මැරුම් කෑවුන් ඉවත හෙළනු ලැබේ.
ඔවුන්ගේ මළ-සිරුරු දුගඳ නික්මවයි.
ඔවුන්ගේ ලෙයින් කඳු පෙඟී යනු ඇත.
4අහස් සේනා සියල්ල, දිරාපත් වේ.
ඇකුළුම් පොතක් සේ අහස් අකුළනු ලැබේ.
මිදි වැලක වියළුණු කොළ හැලෙන පරිද්දෙන්,
අත්තික්කා ගසක වියළි කොළ වැටෙන පරිද්දෙන්
ග්‍රහ-තරු මඩුළු වැටී යනු ඇත.
5මගේ අසිපත අහස්හි දී තෘප්තියට ම පත් වී ඇත.
මෙන්න, මා විසින් විනාශයට කැප කරන ලද ජනයා වන ඒදොම්වරුන් පිට
විනිශ්චය ගෙන, එය බැස එනු ඇත.
6 ස්වාමින්වහන්සේට අසිපතක් ඇත.
එය ලෙයින් නාවනු ලැබ ඇත. එය තෙලින් වැසී ඇත.
ඒ, බැටළු පැටවුන්ගේ හා එළුවන්ගේ ලෙයිනි;
බැටළුවන්ගේ වකුගඩුවල මේදයෙනි.
මන්ද ස්වාමින්වහන්සේට බොස්රාහි පූජාවක් ද
ඒදොම්හි මහා ඝාතනයක් ද ඇත.
7වල් හරක් ද ගොන් නාම්බන් හා
මහ ගවයින් ද ඔවුන් සමඟ වැටී යන්නෝ ය,
ඔවුන්ගේ දේශය ලෙයින් පෙඟී යනු ඇත.
ඔවුන්ගේ භූමිය තෙල්-මේදයෙන්, නෑවී යනු ඇත.
8මන්ද ස්වාමින්වහන්සේට පළිගැනීමේ දවසක් ද
සියොන උදෙසා පල විපාක දෙන වසරක් ද ඇත.
9ඒදොම්හි ඇළදොළ, දිය ලාටු බවට ද
එහි පස, ගෙන්දගම් බවට ද පත් ව,
ඇගේ දේශය ගිනි ඇවිළෙන ලාටු බවට පත් වේ.
10රෑ දාවල් එය නිවනු නො ලැබේ.
එහි දුම් සදහට ම නැගෙනු ඇත.
පරපුරින්, පරපුරට එය පාළුවට හැර තිබෙනු ඇත.
සදාතනයට ම ඒ මැදින් කිසිවකුත් ගමන් කරනු නැත.
11කාන්තාර බස්සා හා බකමූණා එය හිමි කර ගනු ඇත.
කෙටි කන්-බකමූණා සහ කපුටා එහි වාසය කරනු ඇත.
වියවුලේ මිනුම් කෝදුවත්,
පාළුවේ ලඹයත්,
උන්වහන්සේ ඊට ඉහළින් දිගු කරනු ඇත.
12රාජධානියකැයි කියනු ලබන්නට, එහි වංශවතුනට කිසිවකු හෝ නො වනු ඇත.
එහි සියලු අධිපතීන් ශූන්‍ය ව ගොසිනි.
13බළකොටු වසා කටු පඳුරු වැවී,
මහ බළකොටු කහඹිලියා හා වල් ඇඹිල්ල වැනි පඳුරුවලින් වැසී යනු ඇත.
එය සිවලුන්ට තිප්පොළක් ද
උකුසු බකමූණන්ට වාඩියක් ද වනු ඇත.
14කාන්තාර සතුන් හා වෘකයින් එහිදී උනුන් හමු වනු ඇත.
වල්-එළුවන්, එකිනෙකාට කෑ ගසනු ඇත.
නිශාචර සතුන් ද එහි ලැගුම් ගෙන,
තමනට විවේක ස්ථානයක් සොයා ගනු ඇත.
15බස්සිය එහි කැදලි තනා, බිජු ලනු ඇත;
ඈ බිජු රැක තම පියාපත් සෙවණේ
තම පැටවුන් බලා ගනු ඇත.
ඇත්තෙන් ම උකුස්සන් එකිනෙකා ද
තම කිරිල්ල සමඟ එහි එක් රැස්වනු ඇත.
16 ස්වාමින්වහන්සේගේ පොත බලා, කියවන්න:
මුන්ගෙන් එකකුදු නැති නො වනු ඇත.
ඉන් එකකුටවත් ගැහැනු සතකු අඩු නො වනු ඇත.
මන්ද ඒ නියෝගය, ස්වාමින්වහන්සේගේ මුවින් දෙන ලද්දක් බැවිනි.
උන්වහන්සේගේ ආත්මයාණන් උන් එකට එක් රැස් කරනු ඇත.
17උන්වහන්සේ උන්ගේ කොටස වෙන් කර දෙන සේක්,
උන්වහන්සේගේ අතින් ම මැන, බෙදා දෙන සේක.
සදහට ම ඔවුන් එය හිමි කර ගෙන,
පරපුරින්, පරපුරට එහි වාසය කරනු ඇත.

Currently Selected:

යෙසායා 34: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in