YouVersion Logo
Search Icon

යෙසායා 32

32
ධර්මිෂ්ඨ රාජ්‍යය
1මෙන්න! රජකු දැහැමෙන් රජකම් කරනු ඇත.
පාලකයින් යුක්ති සහගත ව පාලනයෙහි යෙදෙනු ඇත.
2හැම කෙනකු ම සුළඟට සැඟවුම් පොළක් සේ ද
කුණාටුවට රැකවරණයක් සේ ද
කාන්තාර පෙදෙසක දිය පාර සේ ද
වෙහෙස වූ දේශයක වූ මහා පර්වතයක සෙවණ සේ ද වනු ඇත.
3එවිට දකින අයගේ ඇස්, වසනු නො ලැබේ.
ඇසෙන අයගේ කන්, සවන් දෙනු ඇත.
4ඉක්මන්කාර හදවතට වැටහීමත්, දැනගැන්මත් ලැබෙනු ඇත.
ගොත ගසන දිව චතුර ලෙසත්, පැහැදිලිවත් කතා කරනු ඇත.
5අඥානයා උත්තමයකැ යි තවත් කියනු නො ලැබේ.
අධමයා, තවදුරටත් ගරු කටයුතු ලෙස නො සැලකේ.
6මන්ද අඥානයා, මෝඩ කතා කියයි.
ඔහුගේ හදවත, දුෂ්ටකමෙහි ම ය:
ඔහු අභක්තික ක්‍රියා කරමින්
ස්වාමින්වහන්සේ ගැන මුසා පතුරුවයි.
කුස ගිනිවූවන් හාමතේ තබන ඔහු,
පිපාසවූවන් වෙතින් ජලය වළක්වයි.
7අධමයාගේ මාධ්‍යය දුෂ්ටකම ය.
දුගියාගේ අයැදුම සාධාරණ වුව ද,
දුප්පතුන් විනාශ කරන පිණිස,
ඔහු මුසා පවසමින්, නපුරු උපා යොදයි.
8එහෙත් උත්තමයා උත්තම දේ සැලසුම් කර,
උත්තම වැඩ හේතු කොට, ස්ථිර ව පිහිටා සිටියි.
යෙරුසලම් කාන්තාවෝ
9නිවිසැනසිල්ලේ සිටින කාන්තාවනි,
පිබිද, මගේ කටහඬ අසන්න.
ආරක්ෂිත යැයි සිතාගෙන සිටින දූවරුනි,
මගේ කතාවට කන් දෙන්න.
10ආරක්ෂිත යැයි සිතාගෙන සිටින වනිතාවනි,
නුඹලා අවුරුද්දකුත් ටික දවසකින් වෙවුලනු ඇත.
මන්ද, මිදි අස්වැන්න නිසරු වනු ඇත.
නෙළන්නට පලතුරු හට ගන්නේ නැත.
11සැප සේ සිටින වනිතාවනි, තැති ගන්න.
ආරක්ෂිත යැයි සිතාගෙන සිටින ඇත්තියනි, වෙවුලන්න.
ඔබේ ඇඳුම් උනා,
ඉඟ වටා ගෝණි රෙදි දවටා ගන්න.
12පියකරු කෙත් වතු ගැනත්,
පලබර මිදි වැල් ගැනත්, ඔබේ ළයට ගසා ගන්න.
13කටු ගස් හා ගොකටු සරුවට වැවී ගිය
මගේ ජනයාගේ දේශය ගැනත්,
කෙළි දෙලෙන් යුත් පුරවරයේ
ප්‍රමුදිත සියලු නිවෙස් ගැනත් එසේ කරන්න.
14මන්ද මාලිගය අතැර දමනු ලැබේ;
ඝෝෂාකාරී පුරවරය පාළුවට යැවේ.
කඳු මුඳුන හා මුර ටැඹ සදා නාස්තියට හැර දමනු ලදුව,
කැලෑ බූරුවන්ට ක්‍රීඩා පිටියක් ද එළු බැටළු රංචුවලට තණ බිමක් ද වනු ඇත.
15එසේ වන්නේ, ඉහළ ස්වර්ගයෙන් ආත්මයාණන් අප පිට වගුරුවනු ලබන තෙක් ය.
එවිට කාන්තාරය, සාරවත් බිමක් බවට පත් වනු ඇත.
සාරවත් බිම, වනාන්තරයක් සේ දිස් වනු ඇත.
16එකල යුක්තිය, කාන්තාරයෙහි වෙසෙනු ඇත.
දමිටුකම සාර-බිමට බැඳෙනු ඇත.
17දමිටුකමේ පලය, සාමය වනු ඇත.
දමිටුකමේ ප්‍රතිඵලය, සදහට ම සාමය හා විශ්වාසය වනු ඇත.
18මගේ ජනයා සාමකාමී ලැගුම් පොළවල,
සුරක්ෂිත නිවෙස්වල,
නිසංසල විවේක නිකේතනවල දිවි ගෙවනු ඇත.
19ගල් වැස්සෙන් වනාන්තරය, පිට්ටනියක් කළත්,
නගරය මුළුමනින් බිමට සමතලා කරනු ලැබුවත්,
20හැම දිය පාරක් අයිනේ ඔබේ බීජ වපුරමින් ද
ඔබේ ගව හා බූරු රංචුවලට නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ හරිමින් ද
සිටිනු ඇති ඔබ කොතරම් භාග්‍යවත් ද!

Currently Selected:

යෙසායා 32: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in