YouVersion Logo
Search Icon

යෙසායා 31

31
ඊජිප්තුවේ නිෂ්ඵල භාවය
1උපකාර සඳහා ඊජිප්තුවට පල්ලම් බසින,
අශ්වයින් කෙරේ විශ්වාසය තබන,
මහත් සංඛ්‍යාවක් ඇති බැවින් අශ්ව-රථ තුළ ද
බොහෝ ශක්තිමත් බැවින් අසරුවන් තුළ ද විශ්වාසය තබන,
එහෙත් ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ දෙස නො බලන
ස්වාමින්වහන්සේ නො විමසන අයට දුක් වේ!
2එහෙත් උන්වහන්සේ ද ප්‍රඥාවත් බැවින් විපත්ති ගෙනෙයි.
උන්වහන්සේ තම වචන, අස්කර නො ගන්නා සේක.
එහෙත් දුෂ්ටයින්ගේ වංශයට එරෙහිව, දුෂ්ටකම් කරන්නන්ට
සහයෝගය දෙන්නවුන්ට එරෙහිව උන්වහන්සේ නැගී සිටින සේක.
3ඊජිප්තුවරුන්, මිනිසුන් ය. දෙවියන්වහන්සේ නො වේ.
ඔවුන්ගේ අශ්වයින්, මාංසය ය. ආත්මය නො වේ.
ස්වාමින්වහන්සේ ස්වකීය හස්තය දිගු කළ කල්හි,
උපකාර කරන්නා පැකිළෙනු ඇත.
උපකාර ලබන්නා වැටී යනු ඇත.
දෙගොල්ල එකට වැනසී යනු ඇත.
4 ස්වාමින්වහන්සේ මට පැවසුවේ මෙයයි:
“සිංහයකු, සිංහ නාම්බකු,
උගේ ගොදුරක් ඩැහැගෙන, ගොරවන කල,
මුළු එඬේර සමූහයා
ඌට එරෙහිව කැඳවනු ලැබ,
ඔවුන්ගේ කෑ-කෝ ගෑමට, ඌ නො බියවන්නේ යම් සේ ද,
ඔවුන්ගේ ගාලගෝට්ටියට ඌ නො කැලඹෙන්නේ යම් සේ ද,
එලෙසින් ම සේනාංකවල ස්වාමින්වහන්සේ සියොන් කන්දේ,
එහි කඳු මුදුන් වෙත යුද්ධ කරනු සඳහා බැස එන සේක.
5කුරුල්ලන් පියාපත් විදහා ඉහළින් සරණ සේ
සේනාංකවල ස්වාමින්වහන්සේ යෙරුසලම රක්ෂා කරන සේක.
උන්වහන්සේ එය සුරකින සේක; එය මුදන සේක.
උන්වහන්සේ එය පසු කර යමින්, එය ගලවන සේක.”
6එම්බා ඉශ්‍රායෙල්වරුනි, නුඹලා ඒ සා මහත් සේ කැරලි ගසමින්, විරෝධය පෑ තැනැන්වහන්සේ වෙත ආපසු හැරී එනු. 7මන්ද ඔබගේ පව්කාර අත්වලින් සාදා තිබූ රිදීයෙන් කළ පිළිම හා රනින් කළ පිළිම, ඒ දවසේ ඔබ හැම කෙනකු ම ඉවත දමනු ඇත.
8“අසිරියාව මිනිසුන්ගේ නො වන අසිපතෙකින් වැටී යනු ඇත.
මානව නො වන අසිපතක් ඔවුන් වනසාලනු ඇත.
ඒ අසිපත හමුවේ ඔවුන් පලා යනු ඇත.
ඔවුන්ගේ තරුණයින් වහල් වැඩට යොදවනු ලබනු ඇත.
9ඔවුන්ගේ පර්වතය භීතියෙන් පලා යනු ඇත.
ඔවුන්ගේ අණ දෙන්නන් කලබල වී තම ධජය හැර දා යනු ඇතැ” යි
තම ගින්න සියොනෙහි ඇති
තම උදුන යෙරුසලමෙහි ඇති
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

Currently Selected:

යෙසායා 31: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in