YouVersion Logo
Search Icon

යෙසායා 13

13
බබිලෝනියට එරෙහිව ප්‍රකාශය
1ආමෝස්ගේ පුත් යෙසායා, බබිලෝනිය සම්බන්ධයෙන් දුටු දිව්‍ය ප්‍රකාශනයයි මේ:
2පාළු කඳු ගැටයක, ධජයක් ඔසවන්න.
උස් හඬින් ඔවුනට මොර ගසන්න.
වංශවතුන්ගේ දොරටුවලින් ඇතුළු වන පිණිස,
අත වනා ඔවුන් කැඳවන්න.
3මා කැප කර ගත්තවුනට මම අණ කළෙමි;
මගේ උදහස ක්‍රියාත්මක කරනු සඳහා,
උදාරත්වයෙන් ප්‍රීති වන, මගේ රණකාමී මිනිසුන් මම කැඳවීමි.
4මහත් සමූහයක් සේ ගාලගෝට්ටියක්!
ගාලගෝට්ටියක් කඳු මත්තේ;
රාජ්‍යයන්ගේ ද ජාතීන් ද
එකට එක් රැස් වන ඝෝෂාවක්!
සේනාංකවල ස්වාමින්වහන්සේ
යුද්ධයට සේනාවක් රැස් කරන සේක.
5මුළු දේශය විනාශ කර දමන්නට,
ස්වාමින්වහන්සේ සහ උන්වහන්සේගේ උදහසේ අවි
පැමිණෙන්නේ දුර රටවලිනි.
අහස් කෙළවරවලිනි.
6වැලපෙන්න; මන්ද ස්වාමින්වහන්සේගේ දවස ළඟ ය;
එය පැමිණෙන්නේ සර්ව පරාක්‍රමයාණන්#13:6 සර්ව පරාක්‍රමයාණන් හෙබ්‍රෙව් ෂද්දයි වෙතින් එන විනාශයක් පරිද්දෙනි.
7ඒ හේතුවෙන් හැම අතක් ම එල්ලා වැටෙනු ඇත.
හැම මිනිස් හදක් ම දියවී යනු ඇත.
8ඔවුන් භීතියට පත් කෙරේ.
වේදනාව හා සන්තාපය, ඔවුන් ග්‍රහණයට ගනී.
ප්‍රසවයේදී ස්ත්‍රියක සේ ඔවුන් වේදනාවෙන් ඇඹරෙනු ඇත.
තැති ගෙන ඔවුන් එකිනෙකා දෙස බලනු ඇත.
ඔවුන්ගේ මුහුණු ඇවිළේ.
9මෙන්න! ස්වාමින්වහන්සේගේ දවස පැමිණෙන්නේ
සැහැසි ව, උදහසින් හා රුදුරු කෝපයෙන් යුතු ව
දේශය පාළු කර දැමීමට හා
ඒ තුළ සිටින පව්කරුවන් විනාශ කර දැමීමට ය.
10අහස් තරු ද ඒවායේ ග්‍රහ මණ්ඩල ද
ඒවායේ එළිය නො දෙනු ඇත.
හිරු අන්ධකාර ව උදා වනු ඇත.
සඳු ද එහි ආලෝකය වගුරුවනු නැත.
11ලෝකයට එහි දුෂ්ටකම් නිසාත්,
දුෂ්ටයිනට ඔවුන්ගේ අයුතුකම් නිසාත් මම දඬුවම් කරමි.
අහංකාරීන්ගේ මහන්තත්වය, මම නිම කරන්නෙමි.
කුරිරුවූවන්ගේ ආඩම්බරය, මම යටත් කරන්නෙමි.
12මම, අමිශ්‍ර රනට වඩා, ජනයා දුර්ලභ කරන්නෙමි.
ඕෆීර්හි රනට වඩා, මානව වර්ගයා විරල කරන්නෙමි.
13එබැවින් සේනාංකවල ස්වාමින්වහන්සේගේ උදහසේදී,
උන්වහන්සේගේ රුදුරු කෝපයේ දවසේදී,
මම අහස වෙවුලන්නට සලස්වමි.
පොළොව එහි ස්ථානගත තැනින් සොලවනු ලබනු ඇත.
14ලුහුබඳින ලද කුරංග මුවැත්තියක සේ,
ඔවුන් එකතු කරන්නට කිසිවකු නැති බැටළුවන් සේ,
හැම කෙනකු ම ස්වකීය ජනයා වෙත හැරෙනු ඇත.
හැම කෙනකු ම තම මව්-බිමට පලා එනු ඇත.
15අසුවන කවරකු වුව, ඇනුම් කනු ඇත.
අල්ලා ගනු ලබන කවරකු වුව, කඩුවෙන් මැරුම් කනු ඇත.
16ඔවුන්ගේ අත දරුවන්, ඔවුන්ගේ ඇස් ඉදිරිපිටදී ම, බිම ගසා, කැබලි කෙරේ.
ඔවුන්ගේ නිවෙස් කොල්ලකනු ලැබේ. ඔවුන්ගේ අඹුවනට බලහත්කාරකම් කරනු ලැබේ.
17ඔන්න! මම රිදීවලට සැලකිල්ලක් නැති,
රන්වලට මනාපයක් නැති,
මේදවරුන් ඔවුනට එරෙහිව මම පොලඹවන්නෙමි.
18ඔවුන්ගේ දුණු, තරුණයින් හෙළා දමනු ඇත.
ගර්භයේ ඵලයට ඔවුන් වෙත දයාවක් නැත.
ඔවුන්ගේ ඇස්වල දරුවන්ට අනුකම්පාවක් නැත.
19රාජධානිවල තේජස වූ ද
කල්දිවරුන්ගේ අලංකාරය හා විභූතිය වූ ද බබිලෝනිය
දෙවියන්වහන්සේ බිඳ හෙළනු ලැබූ කල,
එය සොදොම් හා ගොමොරා මෙන් වනු ඇත.
20එය කිසි දිනෙක ජනාවාස නො වනු ඇත.
සියලු පරම්පරාහි දී කිසිවකු එහි වෙසෙනු නැත.
අරාබි ජාතිකයකු තම කූඩාරම එහි පිහිටුවන්නේවත්,
කිසි එඬේරකු තම එළු බැටළු රංචු එහි ලග්ගවන්නේවත් නැත.
21එහෙත් කාන්තාර සතුන් එහි ලගිනු ඇත.
එහි ඇති නිවෙස් සිවලුන්ගෙන් පිරෙනු ඇත.
උකුසු බකමූණන් එහි වාසය කරනු ඇත.
වල්-එළුවන් එහි දුව පැන නටනු ඇත.
22එහි බළකොටු තුළ වෘකයින් ද එහි සුඛෝපභෝගී මාලිග තුළ
හිවලුන් ද උඩුබුරලනු ඇත.
ඇගේ කාලය ළං වී ඇත.
ඇගේ ආයු දිගු කරනු නො ලැබේ.

Currently Selected:

යෙසායා 13: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in