YouVersion Logo
Search Icon

යෙසායා 11:1-11

යෙසායා 11:1-11 SCV

යෙස්සේගේ කඳ කොටසෙන් අංකුරයක් පැන නගිනු ඇත. ඔහුගේ මුල්වලින් ශාඛාවක් නැගී, පල හට ගැනෙනු ඇත. ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ එතුමන් මත පිහිටා සිටින සේක. ආත්මයාණෝ ප්‍රඥාවේ ද වටහා ගැනීමේ ද ආත්මයාණන් ය. අනුශාසනාවේ හා බලයේ ද ආත්මයාණන් ය. දැනගැන්මේ ද ස්වාමින්වහන්සේට භය-පක්ෂපාතීත්වයේ ද ආත්මයාණන් ය. ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී වීමෙන්, උන්වහන්සේ ප්‍රමෝදයට පත් වනු ඇත. එතුමන් තම ඇසින් දකින දැයින්, විනිශ්චය නො කරනු ඇත. තම කනින් අසන දැයින්, තීරණයකට නො බසිනු ඇත. එහෙත් එතුමන් දමිටුකමින් දුප්පතුන් විනිශ්චය කරනු ඇත. පොළොවේ පීඩිතයින් සඳහා එතුමන් යුක්ති සහගත තීරණ දෙනු ඇත. එතුමන් තම මුවෙහි ඉපලෙන් පොළොවට පහර දෙනු ඇත. එතුමන් තම තොල්වල හුස්මෙන් දුෂ්ටයින් මරා දමනු ඇත. දමිටුකම එතුමන්ගේ ඉඟ පටියයි. විශ්වාසවන්තකම එතුමන්ගේ බඳ පටියයි. වෘකයා, බැටළු පැටවා සමඟ වෙසෙනු ඇත. දිවියා, එළු පැටවා සමඟ ලගිනු ඇත. වහු පැටවා හා සිංහ පැටවා එකට අහර බුදිනු ඇත. කුඩා දරුවකු උන් දක්කාගෙන යනු ඇත. එළදෙන, වැලහින්න හා සමඟ තණ බුදිනු ඇත. උන්ගේ පැටවුන් එකට එක් වී ලගිනු ඇත. සිංහයා, ගවයා මෙන් පිදුරු කනු ඇත. ළදරුවා, නාගයාගේ බෙනය අසල සෙල්ලම් කරනු ඇත. බාල දරුවා, පොළඟාගේ බිලය තුළට තම අත දමනු ඇත. මගේ මුළු මහත් ශුද්ධ කන්ද මත ඔවුන් කිසි හානියක් හෝ විනාශයක් හෝ කරන්නේ නැත. මන්ද මුහුද, ජලයෙන් වැසී තිබෙන්නාක් මෙන්, ස්වාමින්වහන්සේ ගැන දැනගැනීමෙන් පොළොව පිරී යනු ඇත. ඒ දවසේ යෙස්සේගේ මුල, ජනයින්ට සංඥාවක් වශයෙන් සිටගනු ඇත. ජාතීන් එතුමන්ගෙන් විමසනු ඇත. එතුමාණන්ගේ විවේක ස්ථානය තේජවත් වෙයි. ඒ දවසේ ස්වාමින්වහන්සේ අසිරියාව ද පහළ ඊජිප්තුව ද ඉහළ ඊජිප්තුව ද කූෂ් ද ඒලාම් ද ෂිනාර් ද හමාත් ද මුහුදු දිවයින් ද වෙතින් ස්වකීය ජනතාවගෙන් ඉතිරි ව සිටින ඉතිරි ස්වල්ප දෙනා බේරාගනු පිණිස දෙවන වරට ද ස්වකීය හස්තය දිගු කරනු ඇත.