YouVersion Logo
Search Icon

හෙබ්‍රෙව් 5

5
1මිනිසුන් අතරින් තෝරාගනු ලබන හැම උත්තම පූජකයකු ම, පඬුරුත්, පාප උදෙසා යාග පූජාත් ඔප්පු කිරීමට මිනිසුන් උදෙසා දෙවියන්වහන්සේට අදාළ කාරණා සම්බන්ධ ව පත් කර ගනු ලබන්නෙකි. 2ඔහු ද දුබලතාවනට හසුව සිටින්නකු බැවින්, දැනුවත් නො වූවන් හා මුළා වූවන් වෙත මෘදුකමින් කටයුතු කිරීමට ඔහුට පුළුවන. 3ජනයාගේ පාප උදෙසා මෙන් ම, තමාගේ ම පාප උදෙසාත් පාප පූජා යාග කිරීමට ඔහුට යුතු ව ඇත්තේ එබැවිනි. 4ආරොන් කැඳවනු ලැබූ පරිදි, දෙවියන්වහන්සේ කැඳවනු ලැබුවොත් මිස, කිසිවකු මෙම ගෞරවය තමන්ට ම පවරා ගන්නේ නැත.
5එලෙස ම ක්‍රිස්තුස්වහන්සේත් තමා උත්තම පූජකයකු කරනු ලැබීමේ ගෞරවය, තමාට ම ගත්තේ නැත. උන්වහන්සේ පත් කරනු ලැබුවේ උන්වහන්සේට මෙසේ කී තැනැන්වහන්සේ ය,
“ඔබ මගේ පුත්‍රයාණන් ය;
අද මම ඔබ ජනිත කළෙමි.”#5:5 ගීතා 2;7
6තවත් තැනක උන්වහන්සේ මෙසේ පවසන සේක,
“මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව,
ඔබ සදහට ම පූජකයෙක් ය.”#5:6 ගීතා 110;4
7යේසුස්වහන්සේ මාංසයේ විසූ දවස්හි, තමන් මරණින් ගැලවීමට සමත් තැනැන්වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුළින් යුතු ව, යාච්ඤා හා අයැදුම් ඔප්පු කළ සේක්, උන්වහන්සේගේ දේව ගරු බිය හේතුවෙන් එය අසනු ලැබිණ. 8උන්වහන්සේ පුත්‍රයකු වුව ද, තමන් වින්ද දෙයින් කීකරුකම උගත් සේක. 9තවද සම්පූර්ණත්වයට පත් කරනු ලැබ, උන්වහන්සේ තමන්ට කීකරු වන සියල්ලනට සදාතන ගැලවීමේ උල්පත බවට පත් වූයේ, 10මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව උත්තම පූජක නිලයට දෙවියන්වහන්සේ විසින් නම් කරනු ලැබීමෙනි.
ඇදහිල්ලෙන් වැටී යෑම ගැන අනතුරු ඇඟවීම
11මේ සම්බන්ධ ව කියන්නට අපට බොහෝ දෑ ඇතත්, අසන්නට ඔබ අලස බැවින් ඒවා පැහැදිලි කිරීම දුෂ්කර ය. 12මේ වන විට ඔබ ගුරුවරුන් ව සිටිය යුතු වුව ද, දෙවියන්වහන්සේගේ කියමන්වල මූලික ප්‍රතිපත්ති ඔබට ඉගැන්විය යුතු ව තිබේ. ඔබට ඕනෑ කිරි ය; ඝන ආහාර නො වේ. 13කිරි බීමෙන් ජීවත් වන කවුරුන් වුවත් ඔහු දරුවකු බැවින්, ධර්මිෂ්ඨකමේ වචනයෙහි ඔහු නිපුණ නැත. 14එහෙත් ඝන ආහාර, හොඳ-නරක තෝරා බේරා ගැනීමට පුරුද්දෙන් නිති පුහුණු වූ මේරූ අය සඳහා ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in