එසකියෙල් 9
9
පාප-අයුක්තිය-ඝාතනය
1ඉන්පසු උන්වහන්සේ උස් හඬින්, මෙසේ මොර ගසනු මට ඇසිණ. “මෙම පුරවරයට දඬුවම් දීමට පත් බලධාරීන් එකිනෙකා තම තමාගේ ආයුධ අතට ගෙන, මෙහි ළඟා වනු.” 2එවිට, මිනිසුන් හය දෙනකු තම මාරක අවිය අත දරමින්, උතුරට මුහුණ ලා තිබූ ඉහළ දොරටුව දෙසින් පැමිණෙනු මම දුටුවෙමි. හණ පිළි හැඳ, ලිවීමේ උපකරණ ඉඟ බැඳගත් මිනිසෙක් ඔවුන් අතරෙහි විය. ඔවුහු පැමිණ, ලෝකඩ පූජාසනය පසෙකින් සිටගත්හ.
3ඒ අතර ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය, එය පිහිටා තිබූ කෙරුබ්වරුන් වෙතින් ඉහළ නැගී, ගෘහ දොරකඩ වෙතට මෑත් විය. එවිට හණ පිළි හැඳි, ලිවීමේ උපකරණ ඉඟ බැඳි මිනිසාට 4ස්වාමින්වහන්සේ කතා කරමින්, “යෙරුසලම් පුරය මුළුල්ලේ ඇවිද, එහිදී සිදු කෙරෙන සියලු පිළිකුල්කම් ගැන තැවෙන, වැලපෙන අයගේ නළල්හි සලකුණක් තබන්නැ” යි කී සේක.
5මා අසා සිටියදී සෙස්සන් ඇමතූ උන්වහන්සේ, “ඔහු පසු පස්සේ පුරවරය ඔස්සේ ගොස්, අනුකම්පා නො පා, දයා නො කර මරා දමන්න. 6මහල්ලන්, තරුණයින්, කන්‍යා යුවතියන්, ළමයින් හා කාන්තාවන් මරා දමන්න. එහෙත්, සලකුණ ඇති කිසිවකුටත් අත නො තබන්න. මගේ ශුද්ධස්ථානයෙන් ම පටන් ගන්නැ” යි කී සේක. එබැවින් ඔවුහු ගෘහය ඉදිරිපිට සිටි ප්‍රජා මූලිකයින්ගෙන් පටන් ගත්හ.
7එවිට උන්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “ගෘහය අපවිත්‍ර කරනු! මාලිග මළු හැමකක් ම මළ මිනීවලින් පුරවනු! දැන් ම යනු!” යි කී සේක. මෙසේ පිටත් ව ගිය ඔවුහු, පුරවරය මුළුල්ලේ ඝාතනය පටන් ගත්හ. 8ඔවුන් ඝාතනයෙහි යෙදෙද්දී, තනි කරනු ලැබ සිටි මම වැටී, මුහුණ බිමට නමා, හඬා වැටෙමින්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, යෙරුසලම පිට ඔබගේ උදහස මෙසේ වැගිරවීමකදී ඉශ්‍රායෙල් ජනයාගෙන් ඉතිරි ව සිටින ස්වල්ප දෙනා ද මුළුමනින් ම විනාශ කර දමන සේක් දැ” යි ඇසීමි.
9උන්වහන්සේ මට පිළිතුරු දෙමින්, “ඉශ්‍රායෙල් හා යූදා වංශයේ පාප උතුරා යන තරම් ඉමහත් ය. දේශය ලේ වැගිරවීමෙන් පිරිලා ය. පුරවරය අයුක්තියෙන් පිරිලා ය. ඔවුහු කතා කොට, ‘ස්වාමින්වහන්සේ දේශය අත් හළ සේක. ස්වාමින්වහන්සේ දකින්නේ නැතැ’ යි කියති. 10එබැවින් මම අනුකම්පාවෙන් ඔවුන් දෙස නො බලමි. ඔවුන් ඉතිරි නො කරමි. ඔවුන් කළ දෑ මම ඔවුන්ගේ ම හිස් පිට පතිත කරන්නෙමි” යි කී සේක.
11එවිට, හණ පිළි හැඳ, ලිවීමේ උපකරණ ඉඟ බැඳගත් මිනිසා පෙරළා පිළිතුරු දෙමින්, “ඔබ මට අණ කළ පරිද්දෙන් මම කළෙමි” යි කීවේ ය.
Currently Selected:
එසකියෙල් 9: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.