YouVersion Logo
Search Icon

එසකියෙල් 3

3
1උන්වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, ඔබට මෙහි හමුවන දෑ අනුභව කරන්න. මේ ඇකුළුම් පොත අනුභව කරන්න. ඉන්පසු ගොස්, ඉශ්‍රායෙල් වංශයට කතා කරන්නැ” යි පැවසූහ. 2එබැවින් මම මගේ මුව විවර කළෙමි. එවිට උන්වහන්සේ ඇකුළුම් පොත අනුභව කරන්නට මට සැලසූ සේක.
3ඉන්පසු උන්වහන්සේ මා අමතමින්, “මනුෂ්‍ය පුත්‍රය, මා ඔබට දෙන මේ ඇකුළුම් පොත අනුභව කොට, එයින් ඔබේ කුස පුරවා ගන්නැ” යි කී සේක. එබැවින් මම එය අනුභව කළෙමි. එය මා මුවෙහි මී පැණි සේ මිහිරි විණි.
4උන්වහන්සේ ඉන්පසු මා අමතමින්, “මනුෂ්‍ය පුත්‍රය, යන්න, ඉශ්‍රායෙල් වංශය වෙත ගොස්, ඔවුන්ට මගේ ම වචනවලින් කතා කරන්න. 5ඔබ යවනු ලබන්නේ අපැහැදිලි කතාවක් හා අමාරු භාෂාවක් ඇති ජනතාවක් වෙත නො වේ. ඉශ්‍රායෙල් වංශය වෙතටයි. 6කියන දෑ ඔබට නො වැටහෙන අපැහැදිලි කතාවක් හා අමාරු භාෂාවක් ඇති ජන කොටස් වෙත නො වේ. යම් හෙයකින් එබන්දන් වෙත මම ඔබ යැවීම් නම්, සැබවින් ම ඔවුන් ඔබට සවන් දෙන්නට තිබිණ. 7එහෙත් ඉශ්‍රායෙල් වංශය ඔබට සවන් දෙන්නට කැමති නැත්තේ, මට සවන් දෙන්නට ඔවුන් නො කැමති නිසා ය. මන්ද මුළු ඉශ්‍රායෙල් වංශය ම තද නළලතක් ඇති නො දැමුණු ඇත්තන් ය. 8දැන් මෙන්න, මම ඔබගේ නළලතත්, ඔවුන්ගේ සේ ම තද කරන්නෙමි. 9මම ඔබේ නළලත, ගිනිගලකටත් වඩා දැඩි, තද ගලක් සේ කරන්නෙමි. ඔවුන් කැරලිකාරී වංශයක් වුවත්, ඔවුන්ගේ වචනවලට හෝ ඔවුන්ගේ පෙනුමට භය නො වන්නැ” යි කී සේක.
10උන්වහන්සේ තවදුරටත් මා අමතමින්, “මනුෂ්‍ය පුත්‍රය, මා ඔබට පවසන සියලු වචනවලට සැලකිල්ලෙන්, සවන් දී, ඒවා හිතට ගන්න. 11දැන් යන්න, පිටුවහල් කරනු ලැබ සිටින ඔබේ ජනයා වෙත ගොස්, ඔවුනට කතා කරන්න. ඔවුන් සවන් දුන්නත්, නැතත්, ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේකැ’ යි ඔවුන්ට කියන්න.”
12ඉන්පසු ආත්මයාණන්වහන්සේ ඉහළට මා එසවූ සේක. එවිට, මහා ගිගුරුම් හඬක් මට පිටුපසින් ඇසිණ. ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය උන්වහන්සේගේ වාස භවනේ සිට ප්‍රශංසාවට පත් වේවා! 13ජීවමාන සත්වයින්ගේ පියාපත්, එකටෙක ඇතිල්ලෙන හඬ ද ඔවුන්ට පසෙකින් වූ රෝදවල හඬ ද මහා ගිගුරුම් හඬක් විණ. 14මෙසේ, ආත්මයාණන්වහන්සේ මා ඔසවාගත් සේක්, මා ඉවත ගෙන ගිය සේක. මා ගියේ දැඩි තික්තකමකින් ද මා ආත්මයේ වූ කෝපයෙන් ද යුතු ව මා පිට තැබූ ස්වාමින්වහන්සේගේ බලවත් හස්තය ද ඇති ව ය. 15කෙබාර් නදිය අසබඩ තේල්-ආබීබ්හි වාසය කළ පිටුවහල් ව සිටි ජනයා වෙත මම පැමිණියෙමි. මම එතැන, ඔවුන් විසූ තැන, ඔවුන් මධ්‍යයේ හිඳ හත් දවසක් වික්ෂිප්ත ව, බලා සිටියෙමි.
මුරකරුවකු ලෙස එසකියෙල්ගේ වගකීම
16දවස් හතක් අවසානයේ ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය: 17“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශය උදෙසා මම ඔබ මුරකරුවකු කළෙමි. එබැවින් මා පවසන වචන අසා, මා කරන අනතුරු ඇඟවීම ඔවුනට දන්වන්න. 18දුෂ්ට මිනිසකුට මා කතා කොට, ‘ඒකාන්තයෙන් ම නුඹ නසින්නේ යැ’ යි මා කී විටෙක, ඔහුගේ දිවි රැකෙන ලෙස ඔබ ඔහුට අවවාද නො කරන්නේ නම් හෝ ඔහුගේ නපුරු මාර්ග වළක්වා ගැනීමට ඔහුට අනතුරු නො අඟවන්නේ නම්, ඒ දුෂ්ට මිනිසා තමාගේ පාපය නිසා මැරෙනු ඇත. එහෙත් ඔහුගේ ලේ ගැන මම ඔබෙන් අය කරන්නෙමි. 19එහෙත් ඔබ ඒ දුෂ්ට මිනිසාට අවවාද කළ නමුදු, ඔහු තම දුෂ්ටකමින් හෝ තම නපුරු මාර්ගයෙන් ඉවත නො හැරේ නම්, තමාගේ ම පාප නිසා ඔහු මියෙනු ඇත. එහෙත් ඔබ ඔබේ ප්‍රාණය ගලවාගෙන ඇත.
20“තවද, දමිටු මිනිසකු තම දමිටුකමින් ඉවත හැරී, දුෂ්ටකම් කරන කල, මා ඔහු ඉදිරියේ වැටීයෑමේ හේතුවක් තැබීම නිසා, ඔහු මියෙනු ඇත. ඔබ ඔහුට අනතුරු ඇඟවීමක් නො කළ බැවින්, ඔහු ඔහුගේ ම පාපයෙන් මැරෙනු ඇත. ඔහු විසින් කරන ලද දමිටු ක්‍රියා ද සිහි නො කෙරේ. එහෙත්, ඔහුගේ ලේ ගැන මම ඔබෙන් අය කරන්නෙමි. 21එනමුදු, පව් නො කරන්නට දමිටු මිනිසාට ඔබ අවවාද කළෙන්, ඔහු පව් නො කර සිටී නම්, සැබවින් ම ඔහු ජීවත් වන්නේ ය. ඒ, ඔහු අවවාදය පිළිගත් නිසා ය. ඔබත්, ඔබේ දිවි ගලවාගෙන ඇත.”
22 ස්වාමින්වහන්සේගේ හස්තය එහිදී මා පිට විණ. උන්වහන්සේ මා අමතමින්, “නැගිටින්න, පිටත තැනිතලාවට යන්න. එහිදී මා ඔබට කතා කරන්නෙමි” යි කී සේක. 23එබැවින් මම නැගී සිට, තැනිතලාවට පිටත් ව ගියෙමි. එවිට මෙන්න, කෙබාර් නදිය අසබඩ මා දුටු පරිද්දෙන් ම ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය එහි නැගී සිට! මම මුහුණ බිමට නමා වැඳ වැටුණෙමි.
24එවිට ආත්මයාණෝ මා තුළට ඇතුළු ව, මා නැගිට සිට වූ සේක්, මා අමතමින්, “යන්න; ඔබේ ගෙතුළට වැද, දොර වසා ගන්න. 25මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් කඹවලින් ඔබ වෙළා, ජනයා අතරට යා නො හැකි වන සේ, ඔබ බැඳ දමනු ඇත. 26ඔවුනට තරවටු කිරීමට ඔබට නො හැකි වන පරිදි ඔබ නිහඬ කරවමින්, මම ඔබේ දිව ඔබේ උඩු තල්ලේ ඇලෙන්නට සලස්වන්නෙමි. මන්ද, ඔවුන් කැරලිකාරී වංශයකි. 27එහෙත් මා ඔබට කතා කරන විට මම ඔබේ මුව විවර කරමි. එවිට ඔබ ඔවුන්ට කතා කොට, ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේකැ’ යි කිය යුතු ය. ප්‍රතික්ෂේප කරන්නෝ ප්‍රතික්ෂේප කරත්වා! මන්ද, ඔවුන් කැරලිකාරී වංශයකි” යි පැවසූහ.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in