එසකියෙල් 17
17
රාජාලි දෙදෙනා හා මිදි වැල
1 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ, 2“මනුෂ්‍ය පුත්‍රය, තේරවිල්ලක් ගෙන හැර පා, ඉශ්‍රායෙල් වංශයට උපමා කතාවක් පවසන්න. 3ඔවුන්ට මෙසේ කියන්න. ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: දිගු පිහාටුවලින් හා නන් වර්ණිත පිල් කළඹින් ගැවසී ගත් සවිමත් පියාපත් සහිත මහා රාජාලියෙක් ලෙබනොනයට අවුත්, දේවදාර ගසක මුඳුන අල්ලාගෙන, 4එහි මුඳුන් රිකිල්ල කඩා, වාණිජ දේශයට එය රැගෙන ගොස්, වෙළඳුන්ගේ පුරවරයක එය සිටුවී ය.
5“ ‘ඔහු දේශයෙන් බීජයක් රැගෙන, සරු පසෙහි ඒවා ඉන්දවී ය. ඔහු යහමින් දිය ඇති තැනක විලෝ ගසක් පරිද්දෙන් එය සිටුවී ය. 6එය දළු ලා වැඩී, පැතිරුණු මිදි වැලක් බවට පත් විය. එහි අතු ඔහු දෙසට හැරුණු නමුදු, එහි මුල් ඊට යටින් ම පැවතිණ. මෙසේ එය වැලක් වී, අතු-රිකිලි දමා, කොළ-ඉති හට ගත්තේ ය.
7“ ‘එහෙත්, සවිමත් පියාපත් හා සම්පූර්ණ අත්තටුවලින් යුත් තවත් මහා රාජාලියෙක් විය. එවිට එම වැල, තමා හිඳුවා තිබූ තැන් සිට තම මුල් ඔහු දෙසට යැවී ය. ජලය අපේක්ෂාවෙන් තම අතු ද ඔහු දෙසට විහිදවී ය. 8අතු ඉති දමා පල හට ගැන්වී, උදාර වැලක් වනු පිණිස, එය සිටුවා තිබුණේ ජල බහුල සරු පසෙක ය.’
9“ඔවුන්ට මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: එය සඵලවත් වේ ද? එය වියළී යන පරිදි එය මුලින් උදුරා දමනු ලැබ, එහි පල සිඳ දමනු නො ලබන්නේ ද? එහි අලුත වැඩුණු හැම දෙයක් ම වියළී යන්නේ ය. මුල්වලින් ඇද එය උදුරා දමන්නට ප්‍රබල හස්තයක් හෝ බොහෝ ජනයා හෝ අවැසි වන්නේ නැත. 10එය සිටුවන ලැබුවත් සඵල වේ ද? පෙරදිග සුළඟින් පහර වදින කල, එය මුළුමනින් ම වියළී නො යා ද? එය වැඩුණු බිම් කොටසෙහි ම එය වියළී නො යා’ ද?”
11ඉන්පසු ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: 12“කැරලිකාරී මෙම වංශයට මෙසේ කියන්න. ‘එහි තේරුම කුමක් දැයි නුඹ දන්නේ නැති ද?’ ඔවුනට මෙසේ පවසන්න: ‘බබිලෝනි රජු යෙරුසලමට ගොස්, එහි රජු හා අධිපතීන් අල්ලා, තමා කැටිව ඔවුන් බබිලෝනියට ගෙන ආවේ ය. 13ඉන්පසු ඔහු රජ පවුලේ ම කෙනකු කැඳවා, ඔහු සමඟ ගිවිසුමක් කර, ඔහුගෙන් දිවුරුම් ගත්තේ ය. තවද ඔහු දේශයේ ප්‍රබලයින් ද කැටිව, පිටත් ව ගියේ ය. 14එසේ කළේ එම රාජ්‍යය, තත්වයෙන් පහත් කෙරෙන පිණිසත්, යළි එය උසස් බවට නො නැගී, ඔහුගේ ගිවිසුමෙහි පමණක් බැඳී පවතින පිණිසත් ය. 15එහෙත්, රාජකීයයා, අශ්වයින් ද මහ හමුදාවක් ද ගෙන්වා ගනු පිණිස ඊජිප්තුවට රාජ දූතයින් යැවීමෙන් ඔහුට එරෙහිව කැරලි ගැසී ය. ඔහු සඵලවත් වේ ද? එබඳු දෑ කරන්නා ගැල වේ ද? ගිවිසුම කැඩූ පසුත් ඔහු ගැල වේ ද?
16“ ‘මා ජීවත් වන වග සැබෑ සේ ම, පරමාධිපති ස්වාමින්වහන්සේ වන මා ප්‍රකාශ කර සිටින්නේ, සිහසුනෙහි ඔහු හිඳ වූ, ඔහු විසින් දිවුරුම ගර්හාවට ලක් කරනු ලැබූ, ඔහු විසින් ගිවිසුම කඩ කරනු ලැබූ තැනැත්තා වන රජ්ජුරුවන්ගේ දේශය වන බබිලෝනියේදී ඔහු මරුමුවට පත් වන වග ය. 17ජීවිත බොහොමයක් විනාශ කරන්නට ගොඩැලි කැණැවී, වැටලුම් පවුරු ඉදි කළ කල, බලගතු හමුදාවක් හා විශාල සේනාවක් සමඟ වූ පාරාවෝගේ යුද්ධයට අදාළ කිසිදු ආධාර-උපකාරයක් ඔහුට නො ලැබේ. 18ගිවිසුම කඩ කිරීමෙන් ඔහු දිවුරුමට ගර්හා කළේ ය. ඔහු පොරොන්දුවකින් අත-හිත දී තිබූ නමුදු මේ සියල්ල කළ බැවින් ඔහු ගැලවෙන්නේ නැත.
19“ ‘එබැවින් පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මා ජීවත් වන වග සැබෑ සේ ම, ඔහු ගර්හා කළ මගේ දිවුරුමත්, ඔහු කඩ කළ මගේ ගිවිසුමත් මම ඔහුගේ හිස පිටට පමුණුවමි. 20මම ඔහු පිට මගේ දැල එළමි. ඔහු මගේ උගුලට හසුවනු ඇත. මම බබිලෝනියට ඔහු ගෙනවුත්, ඔහු මට අවිශ්වාසවන්ත වූ බැවින්, ඔහු පිටට විනිශ්චය පමුණුවමි. 21පලා යන ඔහුගේ සියලු සෙබළුන් කඩුවෙන් වැටී යනු ඇත. ජීවත් ව ඉතිරිවන්නෝ හැම දෙසට ම විසුරුවනු ලබන්නෝ ය. ස්වාමින්වහන්සේ වන මම කතා කළ වග එවිට ඔබ දැනගන්නවා ඇත.
22“ ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මම, දේවදාර ගසක හරි මුඳුනින් රිකිල්ලක් ගෙන එය පැළ කරන්නෙමි. මම එහි මුඳුන් රිකිලිවලින් ළපටි ඉත්තක් කඩා ගෙන, ඉහළ උස කන්දක් මත එය සිටුවන්නෙමි. 23ඉශ්‍රායෙල්හි කඳු මුඳුනේ මම එය සිටුවන්නෙමි. එය අතු දමා, පල ගැන්වී, විශිෂ්ට දේවදාර ගසක් වනු ඇත. සියලු වර්ගවල කුරුල්ලන් එහි කැදලි තනනු ඇත. එහි අතුවල සෙවණෙහි ඔවුන් රැකවරණ ලබනු ඇත. 24ස්වාමින්වහන්සේ වන මම, උස ගහ පහත් කරන වගත්, පහත් ගහ උසස් කරන වගත්, මම අමු ගහ වියළවා, වියළි ගහ සශ්‍රීක කරන වගත්, බැද්දේ සියලු ගස් එවිට දැනගන්නවා ඇත.
“ ‘ස්වාමින්වහන්සේ වන මම පැවසුවෙමි. මම එය කරන්නෙමි.’ ”
Currently Selected:
එසකියෙල් 17: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.