එසකියෙල් 18
18
පව් කරන තැනැත්තා මියෙන්නේ ය
1 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ:
2“පියවරු ඇඹුල් මිදි පල කන්නාහ;
දරුවන්ගේ දත් හිරිවැටී යත.”
යන ප්‍රස්තාව පිරුළ ඉශ්‍රායෙල් දේශය සම්බන්ධයෙන් උපුටා දැක්වීමෙන් නුඹලා අදහස් කරන්නේ කුමක් ද?
3“පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කර සිටින්නේ, මා ජීවත් වන වග සැබෑ සේ ම, මෙම ප්‍රස්තාව පිරුළ මින් මතු ඉශ්‍රායෙල්හි දී උපුටා දක්වන්නේ නැති වගයි. 4මෙන්න! සෑම ජීවයක් ම මගේ ය. පියාගේ ජීවය මෙන් ම පුතාගේ ජීවය ද යන දෙදෙනා ම එක ලෙස අයිති මට ය. පව් කරන ජීවය මියෙනු ඇත.
5“යුක්තියත්, සාධාරණයත් කරන
දමිටු මිනිසකු සිටින්නට පුළුවන.
6ඔහු කඳු උඩ දෙවොල්හි කැවිලි අහරට ගන්නේ නැත.
ඉශ්‍රායෙල් වංශයේ දේව පිළිම වෙත ඔහුගේ සැලකිල්ලක් නැත.
ඔහු තම අසල්වැසියාගේ බිරිඳ කෙලෙසන්නේ නැත;
කාන්තාවකගේ ඔසප් දවස්හි ඇය හා එක්වන්නේ ද නැත.
7ඔහු කිසිවකුත් පීඩාවට පත් නො කරයි.
දුන් ණය සඳහා වූ උගස ද ඔහු ආපසු දෙයි.
ඔහු සොරකම් නො කරයි.
සාගිනි වූවන්ට අහර සපයා දෙයි.
ඇඳුම් නැති අයට ඇඳුම් දෙයි.
8ඔහු පොලී අය කර ණය දෙන්නේවත්,
පොලී එකතු කර ණය අය කරන්නේවත් නැත.
ඔහු වැරදි කිරීමෙන් වළකියි.
ඔහු දෙදෙනකු අතරේ අපක්ෂපාතී ව විනිශ්චය කරයි.
9ඔහු මගේ නියෝග පිළිපදියි.
මගේ නියමයන්, විශ්වාසවන්ත ව පවත්වයි.
ඔහු ධර්මිෂ්ඨයෙකි.
සැබවින් ම ඔහු ජීවත් වේ යැයි
පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
10“ඇතැම් විට, සැහැසි පුතකු ඔහුට සිටින්නට පුළුවන. ඔහු ලේ වගුරුවන්නකු හෝ ඉහත කී යම් නපුරක් කරන්නකු හෝ විය හැක. 11ඔහුගේ පියා මෙම දෑ නො කළ ද
“ඔහු කඳු උඩ දෙවොල්හි පිදුම් අහරට ගනියි.
තම අසල්වැසියාගේ බිරිඳ කෙලෙසයි.
12ඔහු දුප්පතුන් හා අසරණයින් පීඩාවට පත් කරයි.
සොරකම් කරයි.
ගත් උගස ආපසු නො දෙයි.
ඔහු දේව පිළිම දෙස බැලුම් හෙළා,
පිළිකුල් සහගත දෑ කරයි.
13ඔහු පොලී අය කර ණය දෙයි, පොලී එකතු කර ණය අය කර ගනියි.
එබඳු මිනිසකු ජීවත් වේ ද? ඔහු ජීවත් නො වේ! මේ හැම පිළිකුල්කම් ඔහු කළ නිසා, නියතයෙන් ම ඔහු මරණයට පත් කෙරේ. ඔහුගේ ලේ ඔහුගේ හිස පිටට ම ඒ.
14“ඇතැම් විට ඔහුට ද පුතකු සිටින්නට පුළුවන. මෙම පුතු, තම පියා විසින් කරන ලද එම සියලු පාප දැක තිබුණ ද ඒ කිසිවක් නො කරන්නෙකි.
15“ඔහු කඳු උඩ දෙවොල්හි පිදවිලි-කැවිලි අහරට නො ගනී.
ඉශ්‍රායෙල් වංශයේ දේව පිළිම දෙස සැලකිලි නො දක්වයි.
ඔහු තම අසල්වැසියාගේ බිරිඳ නො කෙලෙසයි.
16ඔහු කිසිවකුත් පීඩාවට පත් නො කරයි.
ණයක් සඳහා උගසක් නො ගනියි.
ඔහු සොරකම් නො කරයි.
සාගිනි වූවන්ට තම ආහාර දෙයි.
ඇඳුම් නැතියවුන්ට ඇඳුම් සපයා දෙයි.
17ඔහු පවින් වළකියි.
ඔහු පොලී අය කර හෝ පොලී එකතු කර ණයට නො දෙයි.
ඔහු මගේ නියමයන් පිළිපදිමින්, මගේ නියෝග රක්ෂා කරයි.
තම පියාගේ පාප නිසා ඔහු මියෙන්නේ නැත. සැබවින් ම ඔහු ජීවත් වෙයි. 18එහෙත් ඔහුගේ පියා, තමන්ගේ ම පව් නිසා මියෙන්නේ ය. මන්ද ඔහු බලහත්කාරයෙන් පැහැරගත්තේ ය. තම සහෝදරයාගෙන් සොරා ගත්තේ ය. තම ජනයා අතරෙහි නොකටයුතු දෑ කළේ ය.
19“එසේ වුව ද, ‘පියාගේ අයුතුකමට පුතාට දඬුවමක් නැත්තේ කුමක් නිසා දැ?’ යි ඔබ අසයි. එසේ වන්නේ එම පුතු යුක්තියත්, සාධාරණයත් කළ නිසා ය. මගේ සියලු නියමයන් රක්ෂා කළ නිසා ය. සැබවින් ම ඔහු ජීවත් වන්නේ ය. 20පව් කරන ජීවය මියෙන්නේ ය. පියාගේ අයුතුකමට පුතාට දඬුවම් නො දේ. පුතාගේ අයුතුකමට පියාට දඬුවම් නො දේ. දමිටු මිනිසාට, ඔහුගේ දමිටුකම අනුව ඉටු විපාක දෙනු ලැබේ; දුෂ්ට මිනිසාට, දුෂ්ටකමට අනුව අනිටු විපාක දෙනු ලැබේ.
21“එහෙත් දුෂ්ට කෙනකු තමන් කළ සියලු පව්වලින් ඉවත හැරී, මගේ නියමයන් සියල්ල රක්ෂා කරන්නේ නම් හා යුක්තියත් සාධාරණයත් කරන්නේ නම්, ඔහු සැබවින් ම ජීවත් වෙයි. ඔහු මියෙන්නේ නැත. 22ඔහු විසින් කරන ලද පාප අපරාධ කිසිවක් ඔහුට එරෙහිව සිහි නො කෙරේ. ඔහු කර ඇති දමිටුකම් හේතුවෙන් ඔහු ජීවත් වෙයි. 23දුෂ්ටයින්ගේ මරණයේදී මම සතුටුවන්නෙම් දැ? යි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. එසේ නො ව, ඔවුන් තමන්ගේ මාර්ගවලින් ඉවත හැරී, ජීවත් වන කල මම සතුටු නො වෙම් ද?
24“එසේ ම, දමිටු කෙනකු තම දමිටුකමින් ඉවත හැරී, පව් කරන්නේ නම් හා දුෂ්ට කෙනා කරන සියලු පිළිකුල් කටයුතු ම කරන්නේ නම්, ඔහු ජීවත් වේ ද? ඔහු විසින් කරන ලද දමිටු ක්‍රියා එකකුදු සිහි නො කෙරේ. ඔහුගේ ද්‍රෝහිකම නිසා ද ඔහු කළ පව් නිසා ද ඔහු මියැදේ.
25“එහෙත් ඔබ කියන්නේ, ‘ස්වාමින්වහන්සේගේ මාර්ගය යුක්ති සහගත නැත කියා’ ය. එම්බා ඉශ්‍රායෙල් වංශය, මේ අසනු! මගේ මාර්ග අයුක්ති සහගත ද? අයුක්ති සහගත ව ඇත්තේ නුඹලාගේ මාර්ග ම නො වේ ද? 26දමිටු කෙනකු තම දමිටුකමින් ඉවත හැරී, පව් කළොත්, ඒ නිසා ඔහු මියෙන්නේ ය. ඔහු මියෙන්නේ ඔහු කළ පාපය නිසා ය. 27එහෙත් දුෂ්ට කෙනකු ඔහු කළ දුෂ්ටකමින් ඉවත හැරී, යුක්තියත්, සාධාරණයත් කරයි නම්, ඔහු තම ජීවිතය ගලවා ගනියි. 28තමා කළ පාප අපරාධ සැලකිල්ලට ගෙන, ඒවායින් ඔහු ඉවත හැරෙන නිසා, සැබවින් ම ඔහු ජීවත් වෙයි. ඔහු මියෙන්නේ නැත. 29එසේ වුවත් ඉශ්‍රායෙල් වංශය පවසන්නේ, ‘ස්වාමින්වහන්සේගේ මාර්ගය යුක්ති සහගත නැත’ කියා ය. මගේ මාර්ග අයුක්ති සහගත ද එම්බා ඉශ්‍රායෙල් වංශය? අයුක්ති සහගත ව ඇත්තේ නුඹලාගේ මාර්ග ම නො වේ ද?
30“එබැවින්, එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලා එකිනෙකාගේ මාර්ගවලට අනුකූලව මම නුඹලා විනිශ්චය කරන්නෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ පවසන සේක. පසුතැවිලි වනු! නුඹලාගේ පාප අපරාධ සියල්ලෙන් ඉවත හැරෙනු. එවිට නුඹලා පාපයෙන් විනාශ නො වනු ඇත. 31නුඹලා කළ පාප අපරාධ සියල්ල පහ කර දමා, අලුත් හදවතක් හා අලුත් ආත්මයක් ලබා ගන්න. එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලා මැරී යන්නේ කුමට ද? 32මන්ද කිසිවකුගේ මරණය ගැන මම සතුටු නො වෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ පවසන සේක. එබැවින් පසුතැවිලි වී, ජීවත් වන්න!
Currently Selected:
එසකියෙල් 18: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.