YouVersion Logo
Search Icon

නික්මයාම 4:1-17

නික්මයාම 4:1-17 SCV

එවිට මෝසෙස් පිළිතුරු දෙමින්, “ඇතැම් විට ඔවුන් මා විශ්වාස නො කර, මා කියන දේ නො අසා, ‘ඔබට ස්වාමින්වහන්සේ පෙනුණේ නැත’ කියා පවසනු ඇතැ” යි කී ය. එවිට ස්වාමින්වහන්සේ ඔහු අමතා, “ඔබේ අතේ ඔය තියෙන්නේ කුමක් දැ?” යි ඇසූ සේක. “සැරයටියකැ” යි ඔහු පැවසී ය. “එය බිම හෙළන්නැ” යි ස්වාමින්වහන්සේ කී සේක. මෝසෙස් එය බිම දැමී ය. එය සර්පයකු බවට පත් විය. මෝසෙස් එයින් ඉවතට දිව්වේ ය. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතා, “ඔබේ අත දිගු කොට, වලිගයෙන් ඌ අල්ලා ගන්නැ” යි කී සේක. මෝසෙස් තම අත දිගු කොට, ඌ අල්ලා ගත්තේ ය. ඔහුගේ අතේ යළි එය සැරයටියක් බවට පත් විය. එවිට ස්වාමින්වහන්සේ, “මෙය, ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ද ඊසාක්ගේ දෙවියන්වහන්සේ ද යාකොබ්ගේ දෙවියන්වහන්සේ ද වූ ඔවුන්ගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට පෙනුණු වග ඔවුන් විශ්වාස කරන පිණිස යැ” යි කී සේක. ස්වාමින්වහන්සේ යළි මෝසෙස් අමතමින්, “ඔබේ අත, කබාය ඇතුළතින් ඔබේ ළයේ තබන්නැ” යි කී සේක. එවිට ඔහු තම අත, කබාය අස්සෙන් ළයේ තැබී ය. ඔහු එය යළි පිටතට ගත් කල, මෙන්න! ඔහුගේ අතේ කුෂ්ඨය වැලදී, හිම මෙන් සුදු වී තිබුණේ ය. “දැන් ඔබේ අත නැවතත් ළයේ තබන්නැ” යි උන්වහන්සේ පැවසූහ. ඔහු යළිත් තම අත, කබාය තුළින් ළයෙහි තැබී ය. ඔහු අත පිටතට ගත් කල, මෙන්න! එය ඔහුගේ සිරුරේ සෙසු මාංසය මෙන් ප්‍රකෘතිමත් ව තිබිණ. එවිට උන්වහන්සේ, “ඔවුන් ඔබ විශ්වාස නො කළත්, පළමු හාස්කම් ලකුණ ගැන නො සැලකුවත් දෙවැන්න විශ්වාස කරනු ඇත. එහෙත් මේ ලකුණු දෙක ම ඔවුහු විශ්වාස නො කරත් නම්, ඔබ කියන දේ නො අසත් නම්, නයිල් ගඟේ වතුර, ටිකක් ගෙන වියළි බිමෙහි වත් කරන්න. එවිට ගඟින් ඔබ ගත් වතුර වියළි බිම මත ලේ බවට පත් වනු ඇතැ” යි පැවසූ සේක. එවිට මෝසෙස් ස්වාමින්වහන්සේ අමතමින්, “අහෝ මා ස්වාමිනි, මීට ඉස්සර හෝ ඔබගේ සේවක මා සමඟ ඔබ කතා කළ පසුව හෝ කිසි දිනෙක මා කතාවෙහි දක්ෂයකු නො වේ. කීමෙහි-බිණීමෙහි මම අදක්ෂයෙක්මි” යි කීවේ ය. ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “මිනිසාගේ මුඛය සෑදුවේ කවුරු ද? ඔහු ගොළු හෝ බිහිරි කරවන්නේ කවුරු ද? ඔහුට පෙනීම දෙන්නේ හෝ අන්ධවීමට සලසන්නේ කවුරු ද? ස්වාමින්වහන්සේ වන මම නො වෙම් ද? එබැවින් දැන් යන්න; කතාවට මම ඔබට උපකාර කරන්නෙමි. ඔබ කිය යුත්තේ මොනවාදැයි කියා දෙන්නෙමි” යි කී සේක. එහෙත් මෝසෙස්, “අහෝ ස්වාමිනි, කරුණාකර වෙන කෙනකු යවනු මැනවි” යි කීවේ ය. එවිට ස්වාමින්වහන්සේගේ කෝපය, මෝසෙස්ට එරෙහිව ඇවුළුණේ ය. උන්වහන්සේ කතා කරමින්, “ලෙවී වංශික ඔබේ සහෝදර ආරොන් ගැන කෙසේ ද? ඔහු චතුර ලෙස කතා කරන වග මම දනිමි. ඔහු දැනටමත් ඔබ හමුවට එමින් සිටියි. ඔබ දකින කල, ඔහුගේ හද පිනා යනු ඇත. ඔබ ඔහු අමතා, ඔහුගේ මුවට වචන දිය යුතු ය. මම ඔබ දෙදෙනාට කතාවට උපකාර කරමින්, කළ යුතු දෑ කියා දෙන්නෙමි. ඔබ වෙනුවට ඔහු ජනතාවට කතා කරනු ඇත. එය හරියට ඔහු, ඔබගේ මුඛය වීම ද ඔබ, ඔහුගේ දෙවියන්වහන්සේ මෙන් වීම ද වැනි ය. එහෙත් මේ සැරයටිය, ඔබගේ අතේ ගෙන යන්න. එමඟින් ඔබ අනුහස් ලකුණු පානු ඇතැ” යි කී සේක.