නික්මයාම 4
4
සැරයටිය සර්පයා වීම
1එවිට මෝසෙස් පිළිතුරු දෙමින්, “ඇතැම් විට ඔවුන් මා විශ්වාස නො කර, මා කියන දේ නො අසා, ‘ඔබට ස්වාමින්වහන්සේ පෙනුණේ නැත’ කියා පවසනු ඇතැ” යි කී ය.
2එවිට ස්වාමින්වහන්සේ ඔහු අමතා, “ඔබේ අතේ ඔය තියෙන්නේ කුමක් දැ?” යි ඇසූ සේක.
“සැරයටියකැ” යි ඔහු පැවසී ය.
3“එය බිම හෙළන්නැ” යි ස්වාමින්වහන්සේ කී සේක.
මෝසෙස් එය බිම දැමී ය. එය සර්පයකු බවට පත් විය. මෝසෙස් එයින් ඉවතට දිව්වේ ය. 4එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතා, “ඔබේ අත දිගු කොට, වලිගයෙන් ඌ අල්ලා ගන්නැ” යි කී සේක. මෝසෙස් තම අත දිගු කොට, ඌ අල්ලා ගත්තේ ය. ඔහුගේ අතේ යළි එය සැරයටියක් බවට පත් විය. 5එවිට ස්වාමින්වහන්සේ, “මෙය, ආබ්රහම්ගේ දෙවියන්වහන්සේ ද ඊසාක්ගේ දෙවියන්වහන්සේ ද යාකොබ්ගේ දෙවියන්වහන්සේ ද වූ ඔවුන්ගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට පෙනුණු වග ඔවුන් විශ්වාස කරන පිණිස යැ” යි කී සේක.
6 ස්වාමින්වහන්සේ යළි මෝසෙස් අමතමින්, “ඔබේ අත, කබාය ඇතුළතින් ඔබේ ළයේ තබන්නැ” යි කී සේක. එවිට ඔහු තම අත, කබාය අස්සෙන් ළයේ තැබී ය. ඔහු එය යළි පිටතට ගත් කල, මෙන්න! ඔහුගේ අතේ කුෂ්ඨය වැලදී, හිම මෙන් සුදු වී තිබුණේ ය.
7“දැන් ඔබේ අත නැවතත් ළයේ තබන්නැ” යි උන්වහන්සේ පැවසූහ. ඔහු යළිත් තම අත, කබාය තුළින් ළයෙහි තැබී ය. ඔහු අත පිටතට ගත් කල, මෙන්න! එය ඔහුගේ සිරුරේ සෙසු මාංසය මෙන් ප්රකෘතිමත් ව තිබිණ.
8එවිට උන්වහන්සේ, “ඔවුන් ඔබ විශ්වාස නො කළත්, පළමු හාස්කම් ලකුණ ගැන නො සැලකුවත් දෙවැන්න විශ්වාස කරනු ඇත. 9එහෙත් මේ ලකුණු දෙක ම ඔවුහු විශ්වාස නො කරත් නම්, ඔබ කියන දේ නො අසත් නම්, නයිල් ගඟේ වතුර, ටිකක් ගෙන වියළි බිමෙහි වත් කරන්න. එවිට ගඟින් ඔබ ගත් වතුර වියළි බිම මත ලේ බවට පත් වනු ඇතැ” යි පැවසූ සේක.
10එවිට මෝසෙස් ස්වාමින්වහන්සේ අමතමින්, “අහෝ මා ස්වාමිනි, මීට ඉස්සර හෝ ඔබගේ සේවක මා සමඟ ඔබ කතා කළ පසුව හෝ කිසි දිනෙක මා කතාවෙහි දක්ෂයකු නො වේ. කීමෙහි-බිණීමෙහි මම අදක්ෂයෙක්මි” යි කීවේ ය.
11 ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “මිනිසාගේ මුඛය සෑදුවේ කවුරු ද? ඔහු ගොළු හෝ බිහිරි කරවන්නේ කවුරු ද? ඔහුට පෙනීම දෙන්නේ හෝ අන්ධවීමට සලසන්නේ කවුරු ද? ස්වාමින්වහන්සේ වන මම නො වෙම් ද? 12එබැවින් දැන් යන්න; කතාවට මම ඔබට උපකාර කරන්නෙමි. ඔබ කිය යුත්තේ මොනවාදැයි කියා දෙන්නෙමි” යි කී සේක.
13එහෙත් මෝසෙස්, “අහෝ ස්වාමිනි, කරුණාකර වෙන කෙනකු යවනු මැනවි” යි කීවේ ය.
14එවිට ස්වාමින්වහන්සේගේ කෝපය, මෝසෙස්ට එරෙහිව ඇවුළුණේ ය. උන්වහන්සේ කතා කරමින්, “ලෙවී වංශික ඔබේ සහෝදර ආරොන් ගැන කෙසේ ද? ඔහු චතුර ලෙස කතා කරන වග මම දනිමි. ඔහු දැනටමත් ඔබ හමුවට එමින් සිටියි. ඔබ දකින කල, ඔහුගේ හද පිනා යනු ඇත. 15ඔබ ඔහු අමතා, ඔහුගේ මුවට වචන දිය යුතු ය. මම ඔබ දෙදෙනාට කතාවට උපකාර කරමින්, කළ යුතු දෑ කියා දෙන්නෙමි. 16ඔබ වෙනුවට ඔහු ජනතාවට කතා කරනු ඇත. එය හරියට ඔහු, ඔබගේ මුඛය වීම ද ඔබ, ඔහුගේ දෙවියන්වහන්සේ මෙන් වීම ද වැනි ය. 17එහෙත් මේ සැරයටිය, ඔබගේ අතේ ගෙන යන්න. එමඟින් ඔබ අනුහස් ලකුණු පානු ඇතැ” යි කී සේක.
මෝසෙස්, ඊජිප්තුව වෙත යළි පැමිණීම
18ඉන්පසු මෝසෙස් තම මාමණ්ඩිය වූ යෙත්රෝ වෙත ආපසු ගොස්, ඔහුට කතා කොට, “ඊජිප්තුවේ සිටින මගේ සහෝදර ජනයා වෙත ආපසු ගොස්, ඔවුන් තාමත් ජීවත් ව සිටීදැයි දැක බලාගන්නට යන්නට දෙන්නැ” යි ඉල්ලී ය.
යෙත්රෝ මෝසෙස්ට උත්තර දෙමින්, “හොඳයි, සමාදානයෙන් යන්නැ” යි පැවසී ය.
19 ස්වාමින්වහන්සේ මිදියන්හි දී මෝසෙස්ට කතා කොට, “ඊජිප්තුවට ආපසු යන්න; ඔබේ ජීවිතය නසන්නට සෙවූ සියලු දෙනා දැන් මිය ගොසිනැ” යි කියා තිබිණි. 20එබැවින් මෝසෙස් තම බිරිඳ හා තම පුතුන් බූරුවකු පිට නංවාගෙන, ඊජිප්තුව බලා ආපසු ගමන් ඇරඹී ය. මෝසෙස් තම අතේ දෙවියන්වහන්සේගේ සැරයටිය ගෙන ගියේ ය.
21 ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කළ සේක්, “ඔබ ඊජිප්තුවට ආපසු ගිය විට, කරන්නට මා ඔබට බලය දුන් හාස්කම් සියල්ල, පාරාවෝ ඉදිරියේ සිදු කරන්නට වග බලා ගන්න. එහෙත් ජනයාට යන්නට නො දෙන අයුරින් මම ඔහුගේ හද දැඩි කරන්නෙමි. 22එවිට නුඹ පාරාවෝට කතා කොට, ‘ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ඉශ්රායෙල් මගේ කුලුඳුල් පුත්රයායි. 23“මට නමස්කාර කරන පිණිස, මා පුතුට යන්නට දෙන්නැ” යි මම ඔබට කීවෙමි. එහෙත් ඔහුට යන්නට හැරීම ඔබ ප්රතික්ෂේප කර ඇත. එබැවින් මම ඔබේ කුලුඳුල් පුත්රයා මරා දමන්නෙමි කියා කියන්නැ’ යි” කී සේක.
24අතර මග නවාතැන් පොළකදී ස්වාමින්වහන්සේ ඔහුට හමු වී, ඔහු මරන්නට සැදූ සේක. 25එහෙත් සිප්පොරා ගල් පතුරු පිහියක් ගෙන, තම පුතුගේ චර්මාග්රය ඡේදනය කර, එයින් ඔහුගේ පා ස්පර්ශ කරමින්, “සැබවින් ම ඔබ මට ලෙයේ මනමාලයෙකැ” යි කීවා ය. 26එවිට උන්වහන්සේ මෝසෙස්ට ඉන්නට ඉඩ දුන් සේක. “ලෙයේ මනමාලයෙකැ” යි චර්මඡේදයට අදාළ ව ඇය පැවසුවේ එවේලේ ය.
27මේ අතර ස්වාමින්වහන්සේ ආරොන්ට කතා කොට, “මෝසෙස් හමු වන්නට පාළුකරයට යන්නැ” යි කී සේක. එසේ ගිය ඔහුට දෙවියන්වහන්සේගේ කන්දේදී මෝසෙස් හමු වී, ඔහු සිප ගත්තේ ය. 28එවිට මෝසෙස්, පැවසීමට ස්වාමින්වහන්සේ තමා යැවූ මෙහෙවරේ සියලු වචන ද උන්වහන්සේ තමාට සිදුකිරීමට අණ කළ සියලු අනුහස් ලකුණු ද ආරොන්ට පැවසී ය.
29ඉන්පසු මෝසෙස් හා ආරොන් ගොස්, ඉශ්රායෙල් ජනයාගේ වැඩිහිටි සියල්ලන් එක් රැස් කරවූහ. 30එවිට ආරොන්, ස්වාමින්වහන්සේ මෝසෙස්ට පවසා තිබූ සියලු වචන ඔවුන්ට පැවසී ය. ඔහු ජනයා ඉදිරියෙහි ඒ අනුහස් ලකුණු පෑයේ ය. 31ඔවුහු විශ්වාස කළහ. ස්වාමින්වහන්සේ තමන් ගැන සැලකූ වග ද තමන්ගේ දුක්ඛිතභාවය ගැන බැලූ වග ද ඇසූ කල, ඔවුහු හිස් බිමට නමා, නමස්කාර කළහ.
Currently Selected:
නික්මයාම 4: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.