YouVersion Logo
Search Icon

දේශනාකරු 5

5
දෙවියන්වහන්සේට භය පක්ෂපාතීත්වය
1දෙවියන්වහන්සේගේ ගෘහයට යන කල සාවධාන ව කටයුතු කරන්න. තමන් කරන්නේ වරදක් වග නො දැන ඔප්පු කරන අඥානයින්ගේ යාග පූජාවකට වඩා සවන් දීමට ළඟාවීම හොඳ ය.
2කතා කරන්නට ඉක්මන් නො වන්න,
දෙවියන්වහන්සේ ඉදිරියේ යමක් කීමට
ඔබේ හදින් කඩිනම් නො වන්න.
දෙවියන්වහන්සේ ස්වර්ගයේ ය;
ඔබ පොළොවේ ය;
එබැවින් ඔබේ වචන ස්වල්ප වේවා!
3වැඩ කටයුතු අධික වූ කල සිහින පෙනෙන්නා සේ
අඥානයාගේ හඬ වචන රාශියකින් යුක්ත ය.
4දෙවියන්වහන්සේට ඔබ බාරයක් වූ කල, එය ඉටු කිරීම පමා නො කරන්න. අඥානයින් ගැන උන්වහන්සේගේ මනාපයක් නැත; ඔබේ බාර ඉෂ්ට කරන්න. 5බාරයක් වී, එය ඉෂ්ට කිරීම පැහැර හරිනවාට වඩා බාරයක් නො වී සිටීම හොඳ ය. 6ඔබ පවට පොලඹවන්නට ඔබේ මුවට ඉඩ නො දෙන්න. “මගේ බාරය අත්වැරැද්දක් ය” කියා පණිවුඩකරුවා#5:6 පණිවුඩකරුවා හෙවත් දේව දූතයා සමඟ තර්ක නො කරන්න. ඔබ පවසන දෑට දෙවියන්වහන්සේ කෝප වී, ඔබගේ දෑතේ වැඩ විනාශ කර දමන්නේ කුමට ද? 7බොහෝ සිහින මැවීම හා බොහෝ වචන දෙඩීම නිරර්ථක ය. එබැවින් දෙවියන්වහන්සේට භය පක්ෂ ව සිටින්න.
ධන සම්පත් ද නිරර්ථක ය
8යම් පළාතක දිළිඳුන් පෙළීමත්, යුක්තිය හා සාධාරණත්වය නො පිට පෙරළීමත් දකින කල ඒවා ගැන පුදුම නො වන්න. මන්ද හැම උසස් නිලධාරියකුට ඉහළින් ඊට වඩා උසස් කෙනකුගේ නිරීක්ෂණයක් ඇත. ඔවුන්ට ඉහළින් ඊටත් වඩා උසස් ඇත්තෝ වෙති. 9දේශයේ පල ප්‍රයෝජන සියල්ලෝ ම ලබා ගනිති; රජු ද කෙත් වත්හි පල ප්‍රයෝජන ලබයි.
10මුදලට ආලය කරන්නා කිසි දා මුදලින් සෑහීමට නො පැමිණේ;
වස්තු සම්පත්වලට ආලය වන්නා කිසි දා තම ආදායමින් සෑහීමට නො පැමිණේ.
මෙය ද නිරර්ථක ය.
11බඩු භාණ්ඩ වැඩි වන කල,
ඒවා පරිහරණ කරන්නෝ ද වැඩි වෙති.
ඒවා බලා, තම ඇස පිනවා ගැනීමට වඩා වැඩි ප්‍රයෝජනයක්
ඒවායේ හිමිකරුවාට වේ ද?
12කම්කරුවා ආහාර අඩුවෙන් ගත්තත්,
වැඩියෙන් ගත්තත් ඔහුගේ නින්ද මිහිරි ය;
එහෙත් ධනවතාගේ ධනස්කන්ධය
ඔහුට නිදාගන්නට ඉඩ නො දෙයි.
13හිරු යට මහා නපුරක් මා දැක ඇත:
වස්තුව ගොඩ ගසා ගැනීමෙන් ඒවායේ අයිතිකරුවාට හානි පැමිණීම,
14නැතහොත් ඒ වස්තුව, යම් අභාග්‍යකින් නැති-භංග වී,
තමා විසින් බිහි කළ පුත්‍රයාට
කිසිවක් ඉතිරි නො වීම ය.
15ඔහු තම මවගේ කුසයෙන් නික්ම එන්නේ නිරුවතිනි;
ඔහු පිටත් ව යන්නේ ඔහු ආ ලෙසින් ම ය;
තමන් වෙහෙස ව හරිහම්බ කර ගත් කිසිවක්
ඔහු තම අතින් ගෙන, රැගෙන යන්නේ නැත.
16මෙය ද බරපතළ නපුරකි:
මනුෂ්‍යයා එන්නේ කෙලෙස ද, ඔහු යන්නේ ද එලෙසින් ම ය,
සුළඟ උදෙසා වෙහෙසීමෙන් ඔහුට අත්වන
ප්‍රයෝජනය කුමක් ද?
17ඔහුගේ ජීවිතයේ සියලු දවස් දැඩි සාංකාවෙන් ද රෝගයෙන් හා කෝපයෙන් ද යුතු ව
ඔහු අන්ධකාරයෙහි වළඳන්නේ ය.
18දෙවියන්වහන්සේ කෙනකුට දෙන ඔහුගේ ජීවිතයේ සියලු දවස්හි දී කා බී සෑහී, හිරු යටදී වෙහෙසී ඔහු කරන වැඩ කටයුතුවලින් සෑහීමට පත්වීම හොඳ ය, සුදුසු ය යන්න මම අවබෝධ කර ගතිමි. ඔහුගේ පංගු කොටස එයයි. 19තවද දෙවියන්වහන්සේ යම් කෙනකුට ධනය හා සම්පත් ද ඒවා භුක්ති විඳීමේ හැකියාව ද තම පංගු කොටස පිළිගෙන, තම වැඩ කටයුතු ගැන ප්‍රීතිවීම ද ලබා දෙන්නේ නම්, එය දෙවියන්වහන්සේගේ දීමනාවකි. 20දෙවියන්වහන්සේ ම ඔහුගේ හදවත ප්‍රමෝදයෙන් පුරවා ඇති බැවින්, තම ජීවිත දවස් ගැන වඩා කල්පනා කිරීමට ඔහුට සිදු නො වේ.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in