YouVersion Logo
Search Icon

ද්විතීය 4

4
කීකරු වීමට අණක්
1එම්බා ඉශ්‍රායෙල්, මා ඔබට උගන්වන්නට යන නියෝග හා නියමයන්වලට දැන් සවන් දෙන්න; ඔබ ජීවත් වන පිණිසත්, ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයට පිවිස, එය අත්කර ගන්නා පිණිසත්, ඒවා අනුගමන කරන්න. 2මා ඔබට අණ කරන දෑට කිසිවක් එකතු කරන්නේවත්, එයින් කිසිවක් අඩු කරන්නේවත් නැතිව, මා ඔබට නියම කරන ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥා පිළිපදින්න.
3 ස්වාමින්වහන්සේ බාල්-පෙයෝර්හි දී කළ දෑ ඔබේ ම ඇස්වලින් ඔබ දුටුවා. බාල්-පෙයෝර් පසු පස ගිය හැම කෙනකු ම, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ අතරින් විනාශ කර දැමූ හැටි ඔබ දුටුවා. 4එහෙත් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට බැඳී සිටි ඔබ හැම අදත් ජීවත් ව සිටිනවා.
5ඔන්න! මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මට අණ කළ සේ, මා ඔබට මේ නියෝග හා නියමයන් ඉගැන්නුවේ, හිමි කර ගන්නට ඔබ ඇතුළු වන දේශයේදී ඔබ ඒවා අනුගමන කරන පිණිසයි. 6මනා සැලකිල්ලෙන් ඒවා පිළිපදින්න. මන්ද ඔබේ ප්‍රඥාවත්, අවබෝධයත් සෙසු ජාතීනට පෙන්නුම් කරන්නේ එමඟිනි. මෙම නියෝග සියල්ල ගැන අසන්නට ලැබෙන කල, “සැබවින් ම මේ ශ්‍රේෂ්ඨ ජාතිය ප්‍රඥාවත්, බුද්ධිමත් ජනතාවකැ” යි ඔවුන් කියනු ඇත. 7අප අමතන කවර විටෙක වුව, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපට ළං ව සිටින සේ, තමනට ළං ව තමන්ගේ දෙවියන් ව සිටින්නට තරම් ශ්‍රේෂ්ඨ වූ වෙනත් ජාතියක් වේ ද? 8අද මා ඔබ ඉදිරියේ තබන මේ තරම් ධර්මිෂ්ඨ නියෝග හා නියමයන් වැනි නීති සමුදායක් ඇති ව සිටින්නට තරම් ශ්‍රේෂ්ඨ වූ අන් ජාතිය කවුරුන් ද?
9හොඳ පරෙස්සමින් සිටින්න; ඔබේ ම ඇස්වලින් ඔබ දුටු දෑ අමතක වීමට හෝ ඒවා ඔබේ හදින් ගිලිහී යෑමට නො හැකි වන සේ, තමන් ගැන හොඳ සෝදිසියෙන් සිටිමින්, ඔබේ දරුවන්ටත්, ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ දරුවන්ටත් ඒවා කියා දෙන්න. 10මතක ද! හොරේබ්හි දී ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔබ සිටගත් දවස. එවෙලාවේ උන්වහන්සේ මා අමතමින්, “මේ මිහි පිට ඔවුන් ජීවත් වන තාක් මට ගෞරව දැක්වීමට ඔවුන් ඉගෙන ගන්නා පිණිසත්, තම දරුවන්ට ද ඒවා උගන්වන පිණිසත් මගේ වචන අසන්නට ජනයා මා ඉදිරියට එක් රැස් කරවන්නැ” යි කී දවස. 11ඒ අවස්ථාවේ අඳුරු වලාවෙන් හා ඝනාන්ධකාරයෙන් යුතු ව අහස උසට ගිනි දැල් නැගෙමින්, කන්ද ගිනිගෙන ඇවිළෙන අතරේ, නුඹලා ඒ අසලට අවුත්, කඳු පාවුල සිටගත්තා. 12ස්වාමින්වහන්සේ එවිට ඒ ගින්නේ සිට ඔබ ඇමතූ විට, ඒ ඇමතුම් හඬ ඔබට ඇසුණ නමුදු, යම් රූපාකාරයක් ඔබ දුටුවේ නැහැ. එහි වූයේ කටහඬක් පමණයි. 13උන්වහන්සේ ස්වකීය ගිවිසුම වන දස පනත ඔබට ප්‍රකාශ කර, ඒවා අනුගමන කරන ලෙස ඔබට අණ කර, පසුව ගල් පුවරු දෙකක ඒවා ලියා දුන්නා. 14අත්කර ගන්නට යොර්දානෙන් එතෙර ව, ඔබ යන දේශයේදී ඔබ පිළිපැදිය යුතු නියෝග හා නියමයන් ඔබට උගන්වන ලෙස ඒ අවස්ථාවේ ස්වාමින්වහන්සේ මට අණ කළා.
රූප වන්දනාව ගැන
15හොරේබ්හි ගින්නේ සිට ස්වාමින්වහන්සේ ඔබ ඇමතූ දවසේ, කිසි ම ආකාරයක රූපයක් ඔබ දුටුවේ නෑ. එබැවින් ඒ ගැන පරෙස්සම් වීමට වග බලා ගත යුත්තේ, 16මොන යම් හැඩයක ප්‍රතිරූපයක් හෝ පිළිමයක් සාදා ගැනීමෙන් ඔබ දූෂ්‍ය නො වන පිණිසයි; පුරුෂයකුගේ හෝ ස්ත්‍රියකගේ හෝ හැඩරුවෙහි සමානත්වයෙන් හෝ 17පොළොවේ යම් සතකුගේ නැතහොත් අහසේ පියාසරන පක්ෂියකුගේ සමානත්වයෙන් හෝ 18පොළොවේ බඩ ගා ඇදෙන උරගයකුගේ නැතහොත් පහළ ජලයේ සිටින මත්ස්‍යයකුගේ සමානත්වයෙන් හෝ රූපකායක් නො සාදා ගන්නා පිණිස ය. 19අහස දෙස ඉහළ බැලූ කල, හිරු, සඳු, තරු යන අහස් වස්තු පෙළ දැක, ඒවාට නමස්කාර කරන්නට සහ සේවය කරන්නට නො පෙලඹෙන්න; ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඒවා නියම කර ඇත්තේ, අහසින් යට සිටින සියලු ජාතීන් උදෙසා ය. 20එසේ වුව ද ඔබ, අද දවසේ සිටින පරිදි, ස්වකීය උරුම ජනතාව වන පිණිස ස්වාමින්වහන්සේ තෝරා ගෙන, යකඩ ගිනි උදුනක් වැනි ඊජිප්තුවෙන් පිටතට ගෙනා සේක.
21ඔබ නිසා ස්වාමින්වහන්සේ මා සමඟ උරණ වූ සේක්, මා යොර්දානෙන් එතෙරට යන්නේවත්, ඔබගේ උරුමය වශයෙන් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන ඒ සාරවත් දේශයට මා ඇතුළු වන්නේවත් නැතැයි දිවුරා ශපථ කළ සේක. 22මම මේ දේශයෙහි ම මියෙන්නෙමි. මම යොර්දානෙන් එතෙරට නො යන්නෙමි. එනමුදු ඔබ එයින් එතෙර වන්නටත්, ඒ සාරවත් දේශය හිමි කර ගන්නටත් සූදානමිනි. 23ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ කළ ගිවිසුම, අමතක නො කරන්නට පරෙස්සම් වන්න. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට තහනම් කළ පරිදි කිසි ම දෙයක හැඩහුරුකමින් දේව පිළිම ඔබට සාදා නො ගන්න. 24මන්ද ස්වාමින්වහන්සේ වන ඔබේ දෙවියන්වහන්සේ දවාලන ගින්නකි; ඊර්ෂ්‍යා සහගත දෙවියන්වහන්සේ ය.
25නුඹලා දරුවන් ද දරුවන්ගේ දරුවන් ද ලැබ, දිගු කලක් දේශයෙහි වාසය කළ පසු, කිසියම් ආකාරයක පිළිම රූප සාදා ගැනීමෙන් දූෂ්‍ය වී, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකමක් කරමින්, උන්වහන්සේගේ කෝපය ඇවුළුවහොත්, 26අත්කර ගැනීමට යොර්දානෙන් එතෙරට ඔබ යන දේශයෙන් ඔබ වහා වැනසී යන පිණිස, ඔබට එරෙහිව සාක්ෂි දෙන්නට මේ අද දවසේ අහසටත්, පොළොවටත් මම හඬ ගසමි. එවිට ඔබ වැඩි කල් එහි වෙසෙන්නේ නැත; මුළුමනින් ම විනාශ ව යනු ඇත. 27ස්වාමින්වහන්සේ ජාතීන් අතරේ ඔබ විසුරුවා හරිනු ඇත. ස්වාමින්වහන්සේ විසින් එසේ ඔබ පලවා හරින ලද ජාතීන් අතර ජීවත් ව ඉතිරි ව සිටිනු ඇත්තේ ඔබෙන් ස්වල්ප දෙනකු පමණි. 28එහිදී ඔබ මිනිස් අතින් සෑදූ දෙවිවරුනට, එනම් දකින්නට, අසන්නට, වළඳන්නට හෝ ගඳ-සුවඳ විඳින්නට බැරි, දැවයෙන් හෝ ගලින් හෝ තැනූ දෙවි දේවතාවුනට නමස්කාර කරනු ඇත. 29එහෙත් එහිදී ඔබ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සොයා ගියහොත්, ඔබේ මුළු හදවතින් ද ඔබේ මුළු ජීවයෙන් ද සැබවින් ම උන්වහන්සේ සෙව්වහොත්, ඔබට උන්වහන්සේ සම්භ වනු ඇත. 30ඔබ විපතට පත් ව, ඒ හැම දේ ඔබට සිදු වූ පසු, කලක් ගත වී ඔබ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත ආපසු අවුත්, උන්වහන්සේට කීකරු ව සිටිනු ඇත. 31මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ දයාවෙන් පූර්ණ දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ ඔබ අත්හැර දමන්නේවත්, ඔබ විනාශ කර දමන්නේවත් නැත. උන්වහන්සේ ඔබේ ආදි පියවරුනට දිවුරා ශපථ කළ ගිවිසුම, අමතක කරන්නේ ද නැත.
ස්වාමින්වහන්සේ දෙවියන්වහන්සේ ය
32ඔබේ කාලයට බොහෝ ඉහත, පුරාණ දවස්හි දෙවියන්වහන්සේ මිහි පිට මිනිසා මැවූ දා පටන්, අහසේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා මේ සා ශ්‍රේෂ්ඨ වූ අන් දෙයක් කෙදිනකවත් සිදු වී ද; ඒ හා සමාන දෙයක් සිදු වී යැයි කෙදිනකවත් අසන්නට ලැබුණේදැයි අසා බලන්න. 33දෙවියන්වහන්සේ ගින්නේ සිට කතා කළ විට ඔබට අසන්නට ලැබුණු පරිදි, අන් කවර ජනතාවක් උන්වහන්සේගේ කටහඬ ඇසූ පසුත්, ජීවත් ව සිටිත් ද? 34පරීක්ෂා මගින් ද අනුහස් ලකුණු හා හාස්කම් මගින් ද යුද්ධයෙන් ද බලවත් හස්තයකින් හා දිගු කළ බාහුවකින් ද උදාර වූත්, භයානක වූත් ක්‍රියා මගින් ද ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ ඔබ උදෙසා කළ සියලු දෑ හා සමාන දෙයක් මගින් ජාතියක් වෙතින් ජාතියක් තමන්ට ම අත්කර ගන්නට කවර දෙවියකු කවරදා හෝ උත්සාහ කර ඇද්ද?
35මේ දෑ නුඹලාට පෙන්වන ලද්දේ ස්වාමින්වහන්සේ, දෙවියන්වහන්සේ වග නුඹලා දැනගන්නා පිණිස ය. උන්වහන්සේ හැර, වෙන අන් දෙවියන්වහන්සේ කෙනකු නැත. 36නුඹලා හික්මවන පිණිස උන්වහන්සේ ස්වර්ගයේ සිට නුඹලාට ස්වකීය කටහඬ ඇසෙන්නට සැලසූ සේක; පොළොවේදී උන්වහන්සේ ස්වකීය මහා ගින්න නුඹලාට පෙන් වූ සේක. ඒ ගින්නේ සිට ආ උන්වහන්සේගේ වචන නුඹලා ඇසූහ. 37මන්ද ඔබගේ ආදි පියවරුනට ප්‍රේම කළ උන්වහන්සේ ඔවුන්ගෙන් පසු, ඔවුන්ගෙන් පැවත එන්නන් තෝරාගත් සේක. උන්වහන්සේ ඊජිප්තුවෙන් පිටතට නුඹලා ගෙන ආවේ ස්වකීය අභිමුඛය ඇති ව, ස්වකීය මහා ශක්තියෙනි. 38එසේ කළේ ඔබට වඩා බලයෙන් හා ශක්තියෙන් යුතු ජාතීන් ඔබ ඉදිරිපිටින් පන්නා දමන පිණිසත්, අද දවසේ තිබෙන පරිදි ඔවුන්ගේ දේශයට ඔබ ගෙන අවුත්, එය නුඹලාට උරුමයක් කර දෙන පිණිසත් ය.
39එබැවින් ඉහළ ස්වර්ගයේත්, පහළ පොළොවේත් ස්වාමින්වහන්සේ දෙවියන්වහන්සේ ම වග, අන් කෙනකු නැති වග අද දවසේ ඒත්තු ගෙන, එය සිතේ ධාරණය කර ගන්න. 40ඔබගේ ද ඔබගෙන් පසු ඔබේ දරු පරපුරේ ද ශුභ සිද්ධිය පිණිසත්, ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ සදහට ම ඔබට දෙන දේශයේ දිගු කල් ඔබ ජීවත් වන පිණිසත්, අද දවසේ මා ඔබට දෙන උන්වහන්සේගේ මෙම නියෝග හා ආඥා පිළිපදින්න.
අභය නගර
41ඉන්පසු මෝසෙස්, යොර්දානෙන් එතෙර නැගෙනහිර දෙසට නගර තුනක් වෙන් කළේ ය. 42එසේ කළේ, යමෙක් කලින් සිතා මතා ද්වේෂ සහගත ව නො ව, අත්වැරැද්දකින් තම අසල්වැසියකු මැරුවහොත්, එවැනි මිනී මරුවකුට සැඟවී පලා යා හැකි වන පිණිස ය. එම නගරවලින් එකකට පලා ගොස්, තම දිවි රැක ගැනීමට ඔහුට පුළුවන. 43රූබෙන්වරුන් සඳහා පාළුකර තැන්නේ පිහිටි බෙසෙර්, ගාද්වරුන් සඳහා ගිලියාද්හි පිහිටි රාමොත් හා මනස්සේවරුන් සඳහා බාෂාන්හි පිහිටි ගෝලාන් එම අභය නගර වේ.
නීතිය හඳුන්වාදීම
44මෝසෙස් ඉශ්‍රායෙල්වරුන් හමුවේ තැබූ ව්‍යවස්ථාව මෙසේ ය. 45ඉශ්‍රායෙල්වරුනට මෝසෙස් දුන් පනත් ද නියෝග ද නියමයන් ද මෙසේ වෙයි; ඊජිප්තුවෙන් පිටතට පැමිණි ඔවුහු, 46ඒ වන විට යොර්දානයට නැගෙනහිරින් බෙත්-පෙයෝර් අසල තැන්නට පැමිණ සිටියහ. එය පිහිටියේ අමෝරිවරුන්ගේ රජු වූ හෙෂ්බෝන්හි රජකම් කළ සීහොන්ගේ දේශයේ ය. මෝසෙස් හා ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ සිට පිටත් ව එද්දී, ඔවුන් අතින් සීහොන් පරාජයට පත් විය. 47ඔහුගේ දේශයත්, බාෂාන්හි රජු වූ ඕග්ගේ දේශයත් යන වශයෙන් යොර්දානයට නැගෙනහිරින් වූ අමෝරි රජුන් දෙදෙනාගේ දේශ, ඔවුහු අල්ලා ගත්හ. 48මෙම දේශය, අර්ණොන් දොරුව අද්දර පිහිටි අරෝයෙර් පටන් සිරියොන්#4:48 සිරියොන් හෙබ්‍රෙව් සීයොන් හෙවත් හෙර්මොන් කන්ද දක්වා දිවෙයි. 49පිස්ගා කඳු බෑවුම පහළින් පිහිටි අරාබා මුහුද#4:49 අරාබා මුහුද හෙවත් මළ මුහුද තෙක් යොර්දාන් ගඟට නැගෙනහිරින් වූ මුළු අරාබා නිම්නය ද ඊට අයත් වේ.

Currently Selected:

ද්විතීය 4: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in